භද්‍රා යෝගය දෙන බුධ ග්‍රහයා හඳුනා ගනිමු

අගෝස්තු 23, 2024

බුධ ග්‍රහයා බුධ දිනට අධිපති ග්‍රහයා වේ. එලෙසම බුධ ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ සිටින ළාබාලම ග්‍රහයාද වේ. බුධහුට රවි ග්‍රහයා ගෙන් එක් රාශියකට වඩා ඈත් විය නොහැකිය.

තවත් පැහැදිලි කළහොත් රවි සමඟ බුධ සිටිය හැකිය. රවිගෙන් 2 වැන්නේද සිටිය හැකිය. එමෙන්ම රවිගෙන් 12 වැන්නේද බුධ සිටිය හැකිය. ඒ හැර වෙනත් ස්ථානයක බුධට සිටිය නොහැකිය.

බුධහුට නැකැත් තුනක් හිමිය. ඒවා නම්,

අස්ලිස, දෙට, රේවතී යන නැකැත් තුන වේ. අස්ලිස නැකත සංස්කෘත භාෂාවෙන් බුධ ලෙස හඳුන්වයි. ආෂිලේෂා අස්ලිස නැකතේ දේවතාවා වෙයි. දෙට නැකැත සංස්කෘත භාෂාවේ දී ජ්‍යෙෂ්ඨ ලෙස හඳුන්වයි. එයි අධිපතියා වන්නේ ඉන්ද්‍ර දේවතාවාය. රේවතී නැකැත සංස්කෘත භාෂාවෙන් හඳුන්වන්නේ පූෂා නමිනි. දේවතාවා වන්නේ රේවතීය.

බුධහුට මිත්‍ර ග්‍රහයන් වන්නේ, රවි, ශුක්‍ර , රාහු වේ. සමග්‍රහයින් වන්නේ කුජ, ගුරු, ශනි රාහු, කේතු වේ. සතුරු ග්‍රහයා වන්නේ චන්ද්‍රයා වේ. බුධ නපුංශක ග්‍රහයෙකි. බුධ ගේ ලක්ෂණය වන්නේ සුබ අසුබ මිශ්‍රඵල ලබාදීමයි.

බුධ නරක් වීමෙන් යම් පුද්ගලයකුගේ වචන උච්චාරණය අපැහැදිලි වේ. සමහර විට හොඳ බවට ද පත්විය හැකිය. බුධ බලවත් වීමෙන් හොඳ අධ්‍යාපනයක්, කතිකත්වයක් ජන්මියා තුළ ඇති වේ. බුධහු මිථුන රාශියේ ස්වක්ෂේත්‍ර වෙයි.

කන්‍යා රාශියට මූල ත්‍රිකෝණ වන අතර උච්ච ද වේ. ධනු ලග්නයට හිමි ධර්මකර්මාධිපති යෝගයට බුධ උපයෝගී වේ. සරසවි යෝගයටද බුධ ඉවහල් වේ.

මේෂය රාශියට බුධ සම ග්‍රහයෙකි. වෘෂභ රාශියට බුධ මිත්‍ර ග්‍රහයෙකි. කටක රාශියට බුධ සතුරු වේ. සිංහයට මිත්‍ර වේ. කන්‍යාවට උච්ච සහ මුල ත්‍රිකෝණ වේ. තුලාවට මිත්‍ර වේ. වෘශ්චික රාශියට මිත්‍ර වේ. ධනු, මකර, කුම්භ රාශි තුනට ද මිත්‍ර වේ. ධනු, මීන රාශි දෙකට බාධක ග්‍රහයාද වන්නේ බුධහුය. මීන රාශියේ දී බුධ නීච වේ. අස්ලිස, දෙට, රේවතී නැකැත් තුන ගත් කල 1 පාදය ධනුය 2 මකරය 3 කුම්භය 4 මීනය වේ. බුධ ගේ මහ දසාවට වසර 17ක් අයත් වේ.

බුධ හිමි මිථුන රාශිය තුලාවේ සිට ද කන්‍යා රාශිය මකරයේ සිටද නවාංශක ගණන් කරනු ලැබේ. බුධගෙන් යෙදෙන පංච මහා පුරුෂ යෝගය භද්‍රා නම් වේ. බුධගේ පිහිටීම ඒ ඒ රාශිවලදී ජන්මියාට බලපාන අයුරු මෙසේය.

මේෂ

මේෂ රාශියට බුධහු තුන්වැන්න හා 6 වැන්න අධිපති වේ. 3 වැන්න වික්‍රමස්ථානයට ද සහෝදර පක්ෂයටද නෑකම් කියයි. 6 වැන්න සතුරු ස්ථානය වගේම මව්ගේ සහෝදරයන් නියෝජනය කරන ස්ථානය වේ. බුධ නරක් වුවහොත් රෝග පීඩාදිය මෙන්ම මව්පස ඥාතීන් විරුද්ධ වීම සිදුවිය හැකිය.

වෘෂභ

වෘෂභයට දෙවැන්න සහ පස්වැන්නාධිපතියා වේ. දෙවැන්න ධනස්ථානය හා පස්වැන්න විද්‍යාස්ථානය වේ. වෘෂභ රාශියේ සිකුරු ග්‍රහයා සමඟ බුධ මිතුරු බැවින් සුබපල දීමේදී ප්‍රමුඛතාවය ලැබේ.

මිථුන

මිථුන රාශියේ ලග්නාධිපතියා වේ. බුධ දික්බල රාශියද ලග්නය වේ. 4 වැන්නාධිපතියා සහ ලග්නාධිපතියා බැවින් සැප සම්පත් දීමේදී මුල්තැන ගනී. ඉඩකඩම්, ගෙවල්, දොරවල්, වාහන හිමිකම්, අධ්‍යාපනය ලැබීම් අතින් හතරවැන්නාධිපතියා නිසා සුබ පල ලැබේ.

කටක

කටක රාශියේදී බුධ තුන්වැන්න සහ 12 වැන්න අධිපතියා වේ. ලග්නාධිපති චන්ද්‍රයා සමඟ සතුරු ග්‍රහයා බැවින් සුබපල දීමේදී මධ්‍යස්ථ ස්වභාවයක් ගනී. එසේ වුවද කටක ලග්නයට බුධ 9 වැන්නේ සිටිය දී විදේශීය සම්පත් ලබා දීමේදී මධ්‍යස්ථ වේ. බුද්ධිමත් සහෝදර පිරිසක් ලබයි.

සිංහ

දෙවැන්න සහ එකොළොස් වැන්නාධිපතියා බුධ වේ. දෙවැන්න ධනස්ථානය හා 11 වැන්න අයස්ථානය බැවින් මේ දෙකෙහිම ආදායම් තත්ත්වය සරු කරයි. මවුගේ උරුමයන්ට හිමිකම් කියයි. ආදායම් මාර්ග වශයෙන් විශේෂිත ව්‍යාපාර, බුද්ධිමය දේපළවලට සුබයි.

කන්‍යා

කන්‍යා රාශියට බුධහු උච්ච රාශිය මෙන්ම මූලත්‍රිකෝණ රාශියද වෙයි. දසවැන්න මිථුන රාශිය බැවින් කර්මස්ථානාධිපතියා ද වෙයි. බුධ කන්‍යාවේ හෝ මිථුන රාශියේ සිටීමෙන් ඒ සිටින කාලය තුළ මිථුන, කන්‍යා, ධනු මීන රාශිවලට භද්‍රා යෝගය යෙදේ. මේ කාලයේ ජන්ම ලාභය ලබන දරු දැරියන්ට මේ යෝගය ක්‍රියාත්මක වේ.

තුලා

නවවැන්න සහ 12 වැන්න අධිපතියා බුධහු වේ. විදේශීය ධනය ලැබීමට විදේශීය රැකියා කටයුතුවලට යෝග්‍ය වේ. වියහියදම් පාලනය කරයි. හොඳ කළමණාකාරීත්වයකට මඟ පාදයි. 9 වැන්න වන භාග්‍යස්ථානාධිපති හා ධර්මස්ථානාධිපති වන බැවින් බුධහු දැහැමිව කටයුතු කරන අයට භාග්‍යය ගෙන දේ.

වෘශ්චික

8 වැන්න සහ 11 වැන්නාධිපතියා බුධ වේ. මාරක ස්ථානය ද 8 වැන්න වේ. එසේ වුවද කන්‍යා රාශිය 11 වැන්න බැවින් ආදායම් තත්ත්වය සරු විය හැකිය. නව වෙළෙඳ ව්‍යාපාරවලින් ජය ලැබේ.

ධනු

ධනු රාශියට 7 වැන්න සහ 10 වැන්නාධිපතියා වේ. ධනු ලග්නයට පමණක් විශේෂිත වු ධර්මකර්මාධිපති රාජයෝගය ඉතා ප්‍රශංසනීයව යෙදේ. වටිනා සරස්වතී යෝගයද මේ තුළින් නිර්මාණය වේ.

බුධහු ධනු ලග්නයට බාධක ග්‍රහයා වන බැවින් ඒ ගැනද දෙවරක් සිතිය යුතුය.

මකර

මකර රාශියේ බුධහු 6 සහ 9 වැන්නාධිපතියා වේ. 6 වැන්න සතුරු ස්ථානය වුවත් භාග්‍යස්ථානය වූ 9 වැන්නේ බලය හේතුවෙන් සුබපල දීමේ ප්‍රවණතාවය වැඩිය. 9 වැන්න කන්‍යා රාශිය වේ. කන්‍යාව ලග්නාධිපති ශනි සමඟ මිත්‍ර නිසා සුබපල ලබාදීමට පසුබට නොවේ.

කුම්භ

කුම්භ රාශියට 5 වැන්න හා 8 වැන්න අධිපතියා වේ. කුම්භ රාශියද සෙනසුරුගේ රාශියක් බැවින් මිත්‍ර බුධ උසස් අධ්‍යාපනය ලැබීමට මුල්තැන දෙයි. 8 වැන්න මාරක ස්ථානය වුවත් බුධ 8 වැන්නේ සිටියි නම් විපරීත රාජයෝගයක් ද ගෙන දෙයි. රවි සමඟ 8 වැන්නේ සිටියත් තම ස්වාමියාට හෝ බිරිඳට අපල ඇතිවිය හැකිය. අඟහරුගේ දෘෂ්ටියට ලක්වුවහොත් එය අනිවාර්යෙන්ම සිදුවේ.

මීන

මීන ලග්නයට බුධ හතරවැන්න සහ 7 වැන්න අධිපතියා වේ. 7 වැන්න විවාහක ස්ථානය වන අතර බාධක ස්ථානය ද වේ. අනුන් සමඟ කරන කටයුතු හවුල් ව්‍යාපාරවලදී දෙවරක් සිතා බලා කටයුතු කිරීම වැදගත් වේ. මීන රාශියේ 4 වැන්නාධිපතියා බුධ නිසා දේපළ ඉඩකඩම්, යානවාහන ලැබීමට ඉඩ ඇත. නීතිමය ගැටලුවලට මැදිවීමට ඉඩකඩ පවතී.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.