නිහඬ මාරයා පරදන ක්‍රමය

නොවැම්බර් 14 ට යෙදුණු ලෝක දියවැඩියා දිනය නිමිත්තෙනි
නොවැම්බර් 15, 2024

මේ වන විට ලොව පුරා මිලියන හාරසිය විසිදෙකක පමණ ජනතාවක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව සංඛ්‍යාලේඛන මඟින් පෙන්වාදී ඇත. සෑම වසරකම ලොව පුරා සිදුවන මරණ මිලියන එකහමාරක් සිදුවන්නේ දියවැඩියා රෝගයෙන් බවටත් තහවුරු වී ඇත. එකදාස් නවසිය අනූ එක වසරේ සිට ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම නොවැම්බර් 14වැනිදා ලෝක දියවැඩියා දිනය ලෙස නම් කර ඇත.

රුධිරයේ සීනි ප්‍රමාණය තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩිවීම හෙවත් දියවැඩියාව කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා කාලයක් පුරාම ශරීරය තුළ තිබිය හැකි රෝගයකි. ශරීරයේ සෑම අවයවයක්ම අඩපණ කළ හැකි දියවැඩියාව ඇස් අන්ධ කරවීම, අංශභාගය, හෘදයාබාධ, වකුගඩු දුර්වල කරවීම, පා අහිමි කරවීම, ආබාධිත තත්ත්වයට පත් කරවීම ආදී බොහෝ දුක්ඛිත තත්ත්වයට පත්කරවන්නකි. ඕනෑම අවස්ථාවක දී වයස් භේදයකින් තොරව වැලඳිය හැකි දියවැඩියාව, කෙරෙහි සෑම දෙනාගේම අවධානය යොමු කළ යුතු වේ. නිතර පිපාසය ඇතිවීම වරින් වර අධික ලෙස මුත්‍රා පිටවීම, ශරීරය කඩිනමින් දුර්වලවීම, කෙට්ටුවීම, අධික ආහාර අරුචිය, වෙහෙස මහන්සිය දැනීම, තුවාල සුවනොවීම, ඇස් පෙනීමේ දුර්වලතාවය ඇතිවීම, අත්පාවල වේදනාව ආදී මූලික රෝග ඇතිවීමෙන් රෝගය දැනගත හැකි ය.

දියවැඩියා රෝගය වැලඳීමෙන් වඩාත්ම ප්‍රවේසම් විය යුතු වන්නේ පැවැත්ම පිළිබඳවයි. බොහෝ විට දියවැඩියාව තමාට වැලඳී ඇතත් ඒ බව නොදැන සිටීම මෙහි ඇති භයානක තත්ත්වයයි. මේ රෝගීන්ට සමහරවිට හෘද රෝග, ආඝාතය, වකුගඩු රෝග ආබාධ වැනි සංකූලතාවයන්ට ගොදුරුවීමේ ඉඩකඩ පවා වැඩිය. ස්ථුලතාවය, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් අධිකවීම ද මෙයට හේතුවේ.

දියවැඩියාව නොහොත් මධුමේහය සඳහා කළ යුතු පරීක්ෂණ

නිරාහාරව සිට ගන්නා රුධිර පරීක්ෂණය Fasting blood sugar FBST- 7 - 0 MM01/1  හෝ 126MG/D1 වඩා අඩුවීම රුධිරයේ ග්ලුකෝස් බලා ගැනීම, ආහාර ගැනීමේදී වඩාත්ම සැලකිලිමත් වී සුදුසු නුසුදුසු ආහාර තෝරාගෙන කෑමට ගන්නේ නම් පැණිරස ආහාර අඩුකොට කෙඳි සහිත ආහාර වැඩියෙන් ආහාරයට ගැනීමටත්, රතු සහල් බත්, නිවුඩු හාලේ බත්, කුරක්කන්, මුං ඇට වැනි පෝෂ්‍යදායි ආහාරවලට යොමුවීමටත්, කොළ, එළවළු, පලා වර්ග, කවුපි, කඩල, මුං ඇට වැනි පෝෂ්‍යදායි ආහාරවලට දැඩි කැමැත්තක් ඇතිකර ගැනීමටත් පියවරගත යුතු ය.

උඳු, සෝයා, කුරක්කන්, එළවළු, සුප්, කොළකැඳ, සීනි රහිත පලතුරු යුෂ, කැඳ, බිත්තර සුදු මදය වැනි ආහාර ද එක්කර ගත යුතු ය. ආහාර වේල් ප්‍රමාණය වැඩිකොට ආහාර ගන්නා ප්‍රමාණය අඩුකළ යුතු ය. ආහාර ගෙන විවේකීව සිටීම හෝ නිදා ගැනීම ඉතාම අහිතකරය. අනිවාර්යයෙන්ම ඇඟපත වෙහෙසන ක්‍රියාවක යෙදී සිටීමත් නිරෝගීතාවයට හේතුවකි. ගෙවත්තේ කුමක් හෝ වැඩක යෙදීම, ඇවිදීම ආදී කාර්යයන්හි යෙදීම. එසේ ව්‍යායාමයක යෙදී සිටීමෙන් හෘද රෝග ඇතිවීමේ අවදානම අඩුවේ. දුම්පානය මෙන්ම මද්‍යසාර පානයෙන්ද වැළකී සිටිය යුතු ය. දුම්පානය කිරීමෙන් දියවැඩියා රෝගීන්ගේ වකුගඩු දුර්වල වීම හා අංශභාගය ඇතිවීමේ තත්ත්වය ඉක්මන් වේ. එබැවින් මේ ආහාර ගැනීමෙන්ද වැළකී සිටිය යුතු ය. සීනි, හකුරු පැණි, පැණිබීම, පුඩින්, වටලප්පන්, අයිස්ක්‍රීම්, චොක්ලට්, ජෑම්, ජෙලි, පැණි රස බිස්කට්, රටඉඳි, වියළි මිදි, බිත්තර කහමදය, තෙල් බැදුම් කෑම, ක්ෂණික ආහාර, පේස්ට්‍රි වර්ග, මෝල්ටඩ් මිල්ක්, බටර් හා චීස් ද ආහාරයට නොගත යුතු ය.

දියවැඩියාවෙන් පෙළෙන බොහෝ දෙනෙක් රෝගය ගැන එතරම් සැලකිල්ලක් නොදක්වා රෝගය උත්සන්න කරන ආහාරපාන ගැනීමට පුරුදුව සිටිති. අන්තිමේදී වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට ගොස් වෛද්‍යවරයා දෙන උපදෙස් හොඳින් අවධාරණය කරගෙන සිට නිවෙසට ආපසු ඒ කිසිත් ගැන නොතකා නොගත යුතු යැයි කී ආහාර පාන ගැනීමට උනන්දු වේ. වෛද්‍ය උපදෙස් නොතකා කටයුතු කිරීමෙන් දියවැඩියාව උත්සන්න වීම වැළැක්විය නොහැකි ය. සීනි වැඩි තෙල් පිටි වැඩි ආහාර ගැනීමෙන් ශරීරයේ විවිධ ස්ථානවල මේද තැන්පත්වීමට පටන් ගනී. වැඩිපුර මේද තැන්පත් වන ස්ථානවල සෛල පහසුවෙන් ක්‍රියාවිරහිත වී පසු කාලයේදී ඒවා විනාශ වී යයි. මේ නිසා රුධිර වාහිනීවල තැන්පත්වන මේදය නිසා රුධිරවාහිනී බිත්ති ඝනත්වයට පත් වී රුධිර පීඩනය වැඩි කිරීමට හේතු වේ.

එසේම වකුගඩුවලට රුධිරය සපයන ධමනි තුළ මේදය තැන්පත් වී පසුකාලීනව රුධිර නාල ඝනත්වයට පත්වීම නිසා වකුගඩුවලට ද රුධිරය සැපයීම අඩුවේ. රුධිර පීඩනය වැඩිවීමටත් වකුගඩු මියයෑමටත් හේතු සාධක වන්නේ එයයි. මෙලෙස හෘදය වස්තුවේ ද සිදුවීම නිසා හෘදයට ද රුධිරය සැපයීමට බාධා ඇති වේ. මේ නිසා මාංශ පේශීන්ද අඩපණ වේ. ඇස්වල හා මොළයේද රුධිර සැපයුම අඩුවේ. ඉන් ඒවාද අකර්මණ්‍ය තත්ත්වයට පත්වේ. මෙය රෝගියාගේ අවසානය ළඟා කරන්නක් විය හැකිය.

බොහෝවිට වෛද්‍යවරුන් දියවැඩියා පාලනය පිළිබඳ රෝගීන්ට නිසි උපදෙස් ලබාදෙයි. වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදිමින් කටයුතු කරන්නේ නම් රෝගියාට නිසි පාලනයක් ඇතිව ජීවත්විය හැකිය. දියවැඩියා පාලනයට දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රම තුළින් ප්‍රතිකාර විධි ලබාදීමෙන් රෝග පාලනය පහසු කර ඇත. දියවැඩියාව හටගැනීමට සමහර විට පාරම්පරික ජානගත කරුණු ද හේතු විය හැකිය. තම පවුලේ ලේ ඥාතියෙකුට දියවැඩියාව තිබේ නම් තමන් ද ඒ පිළිබඳව සැලකිලිමත්ව මේ ලිපියේ සඳහන් රෝග ලක්ෂණ පිළිබඳව සැලකිලිමත්ව රුධිර පරීක්ෂණයක් කරවාගෙන වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීම නුවණට හුරුය. ශරීරයේ උසට සරිලන බර පවත්වා ගැනීම මෙන්ම මානසික ආතතියද හොඳින් විඳ දරා ගැනීම පිළිබඳවද ක්‍රීඩා විනෝදාස්වාදය, විවේකය හා භාවනාව ද දියවැඩියා සුවයට වැදගත් වේ.

දියවැඩියා රෝගයෙන් පීඩා, විඳින්නේ නම් අක්‍රමවත් ආහාර රටාවෙන් ඉවත් විය යුතු ය. ඒ වෙනුවට රතු හාලේ බත්, තම්බන ලද හාලේ බත්, කෙඳි සහිත එළවළු, ඇඹරැල්ල, වැටකොළු, කෙසෙල්මුව, කෙසෙල් බඩ, කොළ මැල්ලුම්, කුඩා මාළු, එළවළු හා පලතුරු ආදියට ද හුරුවිය යුතු ය. තේ බීමට අවශ්‍ය නම් තේ කහට පමණක් බීම ගුණදායකය. ආහාර ගැනීමේ දී වඩාත්ම සුදුසුවන්නේ වරකට ගන්නා බත් ප්‍රමාණයද අඩු කිරීමයි. ප්‍රධාන ආහාර ගත් පසු පලතුරක් කෑම යහපත්ය. ඒ සඳහා ගස්ලබු කෑල්ලක් මඳක් ඉදුණු කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීම ඉතාමත්ම සුදුසු ය.

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.