කාන්තාවන් අතර සුලබ මැණික් කටුවේ වේදනාව

ජූලි 19, 2024

අරාස්ථිය සහ අන්වරාස්ථිය (Radius & Ulnar) සමග හස්තකුර්චාස්ථි (Carpals)  සම්බන්ධ වීමෙන් නිර්මාණයවන මැණික් කටුව සන්ධිය,සන්ධි වර්ග කිරීම යටතට ගැනෙන්නේ කොර සන්ධියක් ලෙසටයි.

දෑත්වල ක්‍රියාකාරීත්වයට විශාල බලපෑමක් ඇති කරන මේ සන්ධිය සියුම් චලන (Fine Movements )  ඇති කිරීමට සහ පවත්වා ගැනීම දායක වෙනවා. ඉහළට පහළට නැමීම ,දිගහැරීම, වමට සහ දකුණට නැවීම සහ කරකැවීමේ හැකියාව මේ සන්ධියට ලැබී තිබෙන නිසා රැකියාව හෝ ගෘහාශ්‍රිත වැඩ කටයුතුවලදී මේ සන්ධියට අධික පීඩනයක් ඇතිවන්නට පුළුවන්. මේ අධික ක්‍රියාකාරීත්වය නිසා අද වර්තමානයේ කාන්තාවන් බොහෝ දෙනෙක් මැණික් කටුව සන්ධියේ වේදනාවෙන් පීඩා විඳීනවා. අද අපි ඒ පිළිබඳව විමසා බලමු.

මැණික් කටුවේ වේදනාවට බලපාන හේතු

මැණික් කටුවට කෙළින්ම සිදුවන අනතුරු:

වැටීම් වැදීම් සහ තැලීම් ආකාරයට මැණික් කටුවට එක එල්ලේ ඇතිවන පීඩනයක් නිසා මැණික් කටු ආශ්‍රිතව මාංශ පේශි තැලීම හෝ ඉරියාම, බන්ධනි අනවශ්‍ය පරිදි ආතතියකට ලක් වීම හෝ ඉරී යාම සහ අස්ථි බිඳීමට ලක්වීම හෝ පුපුරා යාම සිදුවන්නට පුළුවන්. මෙහිදී දැඩි වේදනාවක් සහ ඉදිමීමක් ඇති විය හැකිය. ඉතා ඉක්මනින් ප්‍රතිකාරවලට යොමු විය යුතු අවස්ථා ලෙස සැලකෙන මේවා කිසිදු විටෙක නොසලකා හැරීම හෝ නිවසේදී අත් බෙහෙත් වලින් ප්‍රතිකාර කිරීම නොකළ යුතුයි.

නැවත නැවත මැණික් කටුවට එල්ල වන පීඩනය:

රැකියා ස්ථානයේදී හෝ නිවසේදී සිදුකරන ක්‍රියාකාරකම් නිසා නැවීම, දිගෑරීම සහ කරකැවීම වැනි මැණික් කටුවේ චලන දීර්ඝ කාලයක් තිස්සේ ටිකින් සිදු කිරීමෙන් මැණික් කටුව සන්ධිය අනවශ්‍ය ආතතියකට ලක්වනවා. මේ නිසා සන්ධි වේදනාව මෙන්ම Quervain Tenosynovitis වැනි මාංශපේශි කන්ඩරා ආශ්‍රිත ගැටලු ඇති වන්නටත් පුළුවන්.පරිගණක ආශ්‍රිතව රැකියා කරන පුද්ගලයන්, ගුරුවරුන් සහ ගෘහණියන් අතර ඇතිවන මැණික් කටුවේ වේදනාවට ප්‍රධානම හේතුව වන්නේ මේ ආකාරයට අනවශ්‍ය පීඩනයක් දිගින් දිගටම මැණික් කටුවට එල්ල වීමයි.

මැණික් කටුවට වැලඳෙන ආතරයිටිස් තත්ත්වය :

අධික ක්‍රියාකාරීත්වය සහ වෙනත් විවිධ හේතු නිසා මැණික් කටුව ආශ්‍රිතව Osteoarthritis හෝ Rheumatoid Arthritis වැනි සන්ධි ප්‍රදායික රෝගයන් ඇතිවන්නට පුළුවන්. මේ රෝගවලද ප්‍රධාන ලක්ෂණය වන්නේ වේදනාවයි.ඊට අමතරව මැණික් කටුව සන්ධියේ තද ස්වභාවය සහ චලන අවහිරතාවය ඇතිවන්නට පුළුවන්.

Carpal Tunnel Syndrome නම් රෝගී තත්ත්වය:

මැණික් කටුව ආශ්‍රිතව ඇතිවන වේදනාව සහ අතේ මහපට ඇඟිල්ල සහ අනෙක් ඇඟිලි දෙකෙහි ඇතිවන දුර්වලතාවය හෝ හිරිවැටීම එකට අත්විඳීමට සිදුවනවා නම් එය බොහෝ විට ඉහතින් දක්වා තිබෙන Carpal Tunnel Syndrome  තත්ත්වය වන්නට පුළුවන්. මැණික් කටුව සන්ධිය තුළින් ගමන් කරන මධ්‍ය ස්නායුව(Median Nerve ) පීඩනයට ලක් වීම නිසා මේ තත්ත්වය හටගන්නවා. මුලින්ම වේදනාව ඇති වී ඉන්පසුව අතේ ඇඟිලි හිරිවැටීම සහ දුර්වල වීම ඇතිවන්නට පුළුවන්. මැණික් කටුව සන්ධි නැමීම සහ දිගෑරීම් වැනි චලන වේදනාකාරී වන්නටත් පුළුවන්.

ඔබ ගර්භිණී කාන්තාවක් නම්, තරබාරු හෝ අධික දේහ බර සහිත පුද්ගලයකු නම් සහ දියවැඩියාව රෝගයෙන් පෙළෙන්නෙකු නම් මැණික් කටුව ආශ්‍රිත වේදනාවෙන් පීඩා විදින්නට ඔබටත් සිදුවනවා ඇති.

මීට අමතරව මැණික් කටුව සන්ධිය ආශ්‍රිතව පවතින කණ්ඩරාවලට ඇතිවන ප්‍රදාහයික තත්වයන් නිසා ද මැණික් කටුව ආශ්‍රිත වේදනාව ඇතිවන්නට පුළුවන්.

මැණික් කටු ආශ්‍රිත වේදනාව වළක්වා ගැනීමට ඔබට කළ හැකි දේ

රාජකාරී ස්ථානයේදී හෝ ගෙදර දොරේ වැඩ කටයුතුවලදී මැණික් කටුව නැමීම දිගහැරීම සහ කැරකැවීම වැනි චලන සිදු කරන විට, දිගින් දිගටම එම චලන සිදු කිරීමට සිදුවේ නම් සෑම විටම අතරමැද විවේක අවස්ථාවන් ලබාගන්න.

මැණික් කටුව ආශ්‍රිතව සන්ධි ගෙවී යෑම්වලින් ආරක්ෂාවීම සඳහා ප්‍රෝටීන්, කැල්සියම් , පොස්පරස් සහ විටමින් D අඩංගු ආහාර ඔබගේ ආහාර වේලට දිනපතා එකතු කරගන්න.

මැණික්කටුව සන්ධිය සහ ඇඟිලි ආශ්‍රිත මාංශ පේශී සහ අස්ථි ශක්තිමත් කර ගැනීම සඳහා තමාගේ හැකියාව මත තමන්ට ගැළපෙන පරිදි ව්‍යායාමවල නිරත වන්න.

අනවශ්‍ය පරිදි ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කිරීම හා ඒවාට ඇබ්බැහි වීම නිසාද මැණික් කටු සහ ඇඟිලි ආශ්‍රිතව වේදනාවන් ඇති වන්නට පුළුවන්. ඒ පිළිබඳවද ඔබේ සැලකිල්ල දක්වන්න.

මැණික් කටුව සහ ඇඟිලි ආශ්‍රිතව ඇතිවන ආතරයිටිස් තත්ත්වවලදී මුල් අවස්ථාවේ සිටම නිවැරැදි ප්‍රතිකාරවලට යොමුවීම මඟින් රෝගී තත්ත්වය පාලනය වෙනවා මෙන්ම මැණික්කටුව ආශ්‍රිත වේදනාවන්ද අඩු කරගන්නට පුළුවන්.

මැණික් කටු ආශ්‍රිත සුළු හෝ වේදනාවක් පවතින අවස්ථාවලදී කිසිම විටෙක දෑතින් බර එසවීම හෝ දෑතේ සන්ධිවලට පීඩනයක් ඇතිවන වෙනයම් ක්‍රියාකාරකම් හෝ ව්‍යායාම කිරීම හැකිතාක් අවම කරන්න.

මැණික් කටු ආශ්‍රිත ඇතිවන වේදනා තත්ත්වවලදී ප්‍රතිකාරවලට යොමු වීමට කලින් වේදනාව ගෙන දෙන ස්ථානයට මිනිත්තු 15-20ක් අතර කාලයක් දවසට කීප වරක් අයිස් තැබීම සිදු කරන්න.

මේ ආකාරයට වළක්වා ගැනීමේ ක්‍රමවේද අනුගමනය කරමින් හැකිතාක් ඉක්මනින් නිවැරැදි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීම මඟින් මැණික්කටුව ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ ඉතා ඉක්මනින් සුව කර ගැනීමේ හැකියාව තිබෙනවා.

මෙහිදී තෙල් ප්‍රතිකාර, තැවීම් ප්‍රතිකාර සහ පත්තු ප්‍රතිකාර භාවිත කිරීම අදාළ රෝගයට අනුව සිදු සිදුකළ හැකියි. ස්නායු ආශ්‍රිත හෝ වෙනයම් මූලික රෝග තත්ත්වයක් නිසා ඇතිවන මැණික් කටු වේදනාවලදී පාරම්පරික චීන කටු වෛද්‍ය ක්‍රමවේදයද ඉතාම ඵලදායක වේ.

 

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.