වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
අටානූවක් රෝග නවානූවක් ව්‍යාධි දෙසිය තුනක් අන්තරා දුරු කරන යක්කු
“කොළඹ හතෙත් යක්කු”
පුවත්පතක ප්‍රවෘත්තියක් අගනුවර ප්‍රධාන වීදියක් කෙළවර පාර අයිනේ බිත්තියක් පාමුලක පිදේනි තට්ටුවක් හසුකරගත් ඡායාරූපයක් සමඟ පළවූ ප්‍රවෘත්තියක්.
“කොළඹ හතේ හැමදාමත් හිටියේ යක්කු තමා”
“ඒ යක්කු තමා අපේ රට ලෙඩ කෙරුවෙත්”
එම ඡායාරූපය සමඟ සමාජයේ සැරිසරන්නට වූ අදහස් කීපයකි. ඒ කොළඹ හත යනු කුරුඳුවත්ත ලෙස එදවස මෙරට ජනතාව මහ ඉහළින් කතා කළ ප්‍රදේශයයි. එසේම මෙරට සිටි ධනකුවේරයන් ජීවත්වූ ප්‍රදේශයයි. ලංකාවේ දුර ඈත කටුමැටි ගෙවල සිටි බොහෝ දුප්පත් මිනිසුන් සිතා සිටි මෙරට සුරපුරයයි. ධනවතුන් මෙන්ම රටේ පාලනයේ බලපුළුවන්කාරයින් විරාජමාන වූ ප්‍රදේශයයි.
තුංමංහන්දියක වැනි තැන් කීපයක පිදේනි තට්ටුව දැමිය යුතු බව පුරාණයේ සිට පැවත ආ විශ්වාසයයි. එක්මංසල දෙමංසල, තුන්මංසල හා සිව්මංසල. එසේම පාළු සොහොන් පිටි, වන ලැහැබ්, දිය කඩිති අසල ඒවා තබන්නේ එම ස්ථානවල පේ‍්‍රතයන්ට ඇති අයිතිය සලකාගෙනය. එය හුදු තනිකිරීමක් හෝ තට්ටුවේ වස් දොස් යැවීමක් නොවේ. අයිතිය හිමිකමට කැප කිරීමකි. එසේම එය ආරක්ෂාවකි. “එය ‘අණ ඉරක් ගැසීම් ලෙස සලකයි. එවිට පේ‍්‍රතයාට තහනම් පැත්ත හැර තවත් පැති කීපයක් විවර කර දෙන්නේ ඔහුගේ නිදහසට ගරුකිරීමක් වශයෙනි. ඒ අනුව සර්පයෙකු ඇල්ලූ කල කැළයට හෝ හුඹසකට දමන්නාක් මෙන් පේ‍්‍රතයාටද යා යුතු මඟ ඉන් විවර කර දෙයි. අද පිදේනි තට්ටුව තබන්නේ බෙරයාග, බලිතොවිල් හඬ පිටතට නෑසෙන පසුබිමකය.
එදා තොවිලයක්, බලියක් යනු අහල ගම් කීපයක්ම සහභාගි වන ශාන්ති කර්මයකි. ඔවුන්ගේ උපකාරයෙන් පණ ගන්වන ශාන්ති කර්මයකි. ඔවුන්ගේ පුර්ණ සහභාගිත්වයෙන් නටන තොවිලයකි. එහෙත් අද ගෙවල් ඇතුළත තනි කාමරයක එක් ඇදුරකු විසින් කරන ශාන්ති කර්මයක් බවට එය පත්ව ඇත.
එය එසේ වූයේ ඇයි?
මේ සමාජ දියුණුව නිසාද? සමාජය නවීකරණය වී ඇති නිසාද? නොඑසේනම් මිනිසාගේ මනස දියුණුව ඇති නිසාද?
එහෙත් භූතාපසරණයට ගැනෙන බලි, තොවිල් සහ අනෙක් සියලුම කටයුතු බිය උපදවන අභිචාර විධි නොවේ. බිය, සංකාව නිසා ඇතිවූ කාංසාව නැති කිරීම උදෙසා ඇතිවූ ප්‍රතිකාර ක්‍රමයකි. එම ප්‍රතිකාරය විටෙක මානසික තෙරපුමකි. ශාන්තියකි. මානසික ශාන්තිය ඇති කරවන්නෙකි. එය මුළු මහත්ම ප්‍රජා සත්කාරයකි. එසේම මානව ක්‍රියාකාරිත්වය මැනවින් හඳුනාගෙන ඒ සමඟ පෙර ගමන් යන්නෙකි. එය තවත් දිගුවක් වන්නේ ප්‍රජා පාලකයන්ද, එම ප්‍රජාවට කිසියම් දැනුමක් හා අධ්‍යාපනයක්ද ලබා දෙන්නක් වීමෙනි. භූතාපසරණය ගැන ඇත්ත වශයෙන්ම ගැඹුරින් සලකන විද්වතකුට දැනී යන්නේ එය කිසියම් ආරක්ෂණ විධි ක්‍රමයක් ලෙසය. එසේම ප්‍රතිජීවනයක් ලෙසය. ප්‍රතිශක්ති කරණයක් ලෙසිනි.
එමඟින් මූලික වශයෙන් කරුණු තුනක් සිදු වෙයි. එම සිදුවීම ඔස්සේ වියත් සමාජ වැසියෙකුට ගැඹුරු නිගමන කීපයකට බැස ගත හැකිය.
1.පැමිණිය හැකි උවදුරු දුරු කරවා ගැනීම
2. පැමිණි උවදුරුවලින් නිදහස්වීම
3.පැමිණිය හැකි උවදුරුවලින් ආරක්ෂා වීම.
එය ගැඹුරු ක්‍රියාවලියකි. තුන්කල් දැකීමක් සේ මානවයා ආරක්ෂා කිරීමකි. භූතාපසරණ ශිල්පියා අර නූගත් ගැමි අභිචාරිකයා, කට්ටඩියා, ඇදුරා කොතරම් ගැඹුරින් මිනිසාට ආදරය කළ පුද්ගලයෙක්ද? ඔහු ඒ අනුව මානව විද්‍යාඥයෙකි. ඔහු සිය ශිල්පය අළෙවි කිරීමට සූදානම් කළ අයෙකු හෝ ප්‍රගුණ කළ අයෙකු හෝ නොවේ. සිය ශාස්ත්‍රය ඔහු ත්‍රිවිධ රත්නය සේ සැලකීමේ සංකේතය ඉන් පෙන්නුම් කරවයි.
ඖෂධ නිපදවා එයම ලෙඩ රෝග නිර්මාණය කරන මේ දියුණු ලෝකයේ මිනිසා, වැලඳුණු රෝග හා පැමිණි කරදර නැතිකර ගැනීම වෙනුවට වර්තමානයේදී එය නඩත්තු කිරීමට මං සොයන දියුණු මිනිසා අනාගතයේදි විය හැකි ආබාධ අතුරු ආබාධ දක්වා ඒවාට ආරක්ෂාවීමට උපදෙස්වලට වඩා ඖෂධ හා උපකරණ නිර්මාණය කරන නූතන මිනිසාට වඩා අටපහ දත් එහෙත් ඉහළ විභාග සහතික නොළත් ඒ මානවයා කොතෙක් ගැඹුරු ලෙස තුන්කල් බලා කටයුතු සිදු කර ඇතිද?
මේ ක්‍රමවේදය අපි ගැඹුරින් අධ්‍යයනය කිරීම පමණක්ම ආදි මානවයා විසින් භූතාපසරණයට නැඹුරු වූයේ නූගත්කම හෝ නොදැනුවත්බව නිසාද යන්න අපට අවබෝධ කර දෙයි. මේ අනුව අපි සාකච්ඡා කරන විෂය සමසේ සිතීමේ සීමාව ඉක්මවා මිනිසාගේ පරිකල්පනය තුළින් දැනීම පෙරට ගෙන යන්නක් බව පෙනේ. එය මානසික චිකිත්සාව ඉක්මවා යන අධ්‍යාත්මික වර්ධනය වෙනුවෙන් සාධුකාර චර්යාධර්ම අප වෙත රැගෙන එයි. එය එසේ නොවන්නට නොපෙනෙන බලවේග සමඟ ගැටීමට හෝ ඔවුන් දමනය කිරීමට නොහැකිය. එබැවින් එය අධිමානසික චිත්තාවේග ආශ්‍රයෙන් එම සන්නිවේදනයේ යෙදෙන්නෙකි. එසේ කිරීම උදෙසා ඔහුට ලැබිය හැකි පන්නරය එම ශිල්පය විසින්ම ඔහු පුරා ගත යුත්තකි. ඔබ හා මම ගැඹුරින් එම කරුණ ගැන සලකා බැලුවහොත් වර්තමාන ශිල්පීන් සිය ශිල්පයට ඇවැසි සාධකය වූ සහතික එක්කාසුවට ගත කළ කාලය ඇදුරා සහ යකැදුරා සිය ගුරුන් ඇසුරින් කළ වනපොත් හා අභ්‍යාස සමාන නොවේද? ඒවා පිළිගත් අධ්‍යයන ආයතන හෝ කඩවලින් නිකුත් නොකිරීම නම් එකම වරද ඒ දෙදෙනාම කර ඇත්තේ එකම කැප කිරීමකි.
මේ අනුව භූතාපසරණ විෂය කෙරෙහි සමාජය නුහුරු බැලුම් හෙළන්නේ මේ විද්‍යාර්ථ පැහැය ඔවුන්ට සහතිකවලින් නොමැති හෙයිනි. එය එම ශිල්පයේ වරදක්ද? නොඑසේ නම් අපි පුරුදු වූ සිතීමේ රටාවේ වරදක්ද? භූතාපසරණය සිත ඇසුරේ මානවයාගේ
අටානූවත් රෝග හැරා
නවානූවත් ව්‍යාධි හැරා
දෙසිය තුනක් ආන්තරා
දුරුළා රකු නිරන්තරා
ශාන්තිය වෙනුවෙන් කැප නොවෙනු ඇත. එසේ සිතට උපන් සිතම අරක්ගත් රෝදුක් බිය සිතින්ම පළවා හැරීමේ ශක්ති කලාව රුදුණු මේ ශිල්පය බුදු දහමේ රැදුම වූ සිත ඇසුරෙන්ම නිර්මාණය වී තිබීමෙන් තහවුරු වෙන්නේ මෙය බොහෝ ශිල්පීය ක්‍රම අතික්‍රමණය කරගෙන අවුත් අවසන මිනිසා, මිනිසා තුළින්ම ජය ගැනීමේ ස්වයං නිරෝධනයක් ලබාදෙන උත්තම මානව ක්‍රියාවක් බවය.