බෙල්ල කඩාගෙන ජංගම දුරකථන බලනවා නම් බෝතලයකින් වතුර බොන්න

ජූලි 12, 2024

ස්මාට් ජංගම දුරකථන භාවිත කිරීම බාල මහලු වයස් භේදයකින් තොරව අද සමාජයේ සියලුම දෙනා සිදු කරනවා. සමාජ මාධ්‍යවල පැතිර යාම නිසා තමන්ගේ දෛනික අවශ්‍යතාවලින් එහා ගොස් ජංගම දුරකථන වලට ඇබ්බැහි වීමකුත් සිදුවෙලා තියෙනවා.

මේ විදිහට ස්මාර්ට් ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම නිසා පුද්ගලයකුගේ සෞඛ්‍යමත්භාවයට සැලකිය යුතු හානි පැමිණෙන්නට පුළුවන්. ඉතින් මේ විදිහට ඔබගේ බෙල්ලට සහ උරහිසට සිදුවන එවැනි හානී වීමක් පිළිබඳව අද අපි කතාබහ කරමු.

ස්මාට් ජංගම දුරකථන භාවිත කිරීම සහ එයට ඇබ්බැහි වීම නිසා හටගන්නා සහලක්ෂණ රෝග තත්වයක් වන Text Neck Syndrome  අද වන විට සීඝ්‍රයෙන් ලොව පුරා පැතිර යන සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වෙලා.තරුණයන් සහ මැදි වයසේ පසු වන පුද්ගලයන්ට ප්‍රධාන වශයෙන් බෙල්ලටත් සමහර අවස්ථාවලදී උරහිස සහ පිටේ ඉහළ කොටසටත් වේදනාව ඇති කිරීමට මේ සහලක්ෂණ තත්ත්වය හේතු වෙනවා.

ඔබ දිනකට වැඩි වේලාවක් ජංගම දුරකථන භාවිත කරනවා නම් මේ තත්ත්වය ඔබටත් වැලඳීමේ ප්‍රවණතාවයක් පවතිනවා. ඇස් මට්ටමට පහළින් තබාගෙන ජංගම දුරකථන භාවිත කිරීමේදී එහි තිරය නිවැරදිවම බලා ගැනීමට ඔබ උරහිස හකුලවාගෙන බෙල්ල මඳක් ඉදිරියට නමා ජංගම දුරකථනයේ දෑතේ රඳවාගෙන සිටිය යුතුයි. මෙහිදී ඔබ විසින් පවත්වාගන්නා මේ ඉරියව්ව කිසි විටකත් ශ්‍රමක්ෂමතා මූලධර්ම(Ergonomics  )වලට අදාළ වන්නේ නෑ. මේ ඉරියව්වෙන් දවසේ වැඩි වෙලාවක් සිටින විට ඔබගේ පපුවේ ඉදිරියෙන් තිබෙන මාංශ පේශි සහ බෙල්ලේ පිටුපස තිබෙන මාංශ පේශි අනවශ්‍ය ආතතියට ලක්වෙනවා. මේ ආතතිය දිගු කාලයක් පැවතීම නිසා ඒ මාංශ පේශිවල සහ ඒ ආශ්‍රිතව පවතින Fascia නම් සම්බන්ධක පටක ස්ථරයේ අනවශ්‍ය තද වීම් (Spasms and tightness ) ඇතිවන්නට පුළුවන්. මේ නිසා ඔබගේ බෙල්ල ආශ්‍රිත කොඳු ඇට පේළියේ වක්‍රතාවය අනවශ්‍ය පරිදි වෙනස්වීමකට ද ලක්වනවා. මේ නිසා බෙල්ලේ පහළ ප්‍රදේශයේ තිබෙන ග්‍රවී කශේරුකාවලට අනවශ්‍ය පීඩනයක් එල්ල වේ.

රෝග ලක්ෂණ

බෙල්ලේ,උරහිසේ හෝ පිටේ ඉහළ කොටසේ ඇතිවෙන වේදනාව

මේ වේදනාව ඉහළින් දක්වා ඇති එක ස්ථානයක හෝ ස්ථාන තුනේම එකවිට පවතින්න පුළුවන්. එක් ස්ථානයකට දැනෙන වේදනාව බොහෝ විට ඉදිකටුවකින් අනිනවාක් මෙන් දැනෙන්න අතර සමහර අවස්ථාවලදී බෙල්ල උරහිස සහ පිටේ ඉහළ කොටස යන ස්ථාන තුනම ආවරණය කරමින් සාමාන්‍ය මට්ටමේ වේදනාවක් ලෙසද දැනෙන්නට පුළුවන්කම් පවතිනවා. වේදනාව තැනින් තැනට ගමන් කිරීමද සිදුවන්නට පුළුවන්. ඔබ එදිනෙදා නිවසේ හෝ රාජකාරි ස්ථානයේ සිදු කරන වැඩ කටයුතුවලදී මේ වෙදනාව වඩාත් උත්සන්න වන්නටත් හැකියාව පවතිනවා.

උරහිස සහ බෙල්ල ආශ්‍රිතව ඉරියව්වල වෙනස් වීම

බෙල්ල, උරහිස සහ පපු ප්‍රදේශයේ ආශ්‍රිත මාංශ පේශවල අනවශ්‍ය තදවීම නිසා උරහිසට ඉහළින් සිරුරේ ඉදිරිපස සහ පසුපස අතර මාංශ පේශි අසමබරතාවයක් ඇතිවෙනවා. මේ හේතුවෙන් ඔබගේ උරහිස් ඉදිරියට රවුම් වී හැකිලිනු ස්වභාවයක් සහ මඳක් බෙල්ල ඉදිරියට දික්වූ ස්වභාවයක් ගන්නවා. කොඳු ඇට පේළිය කෙලින් තබා ගැනීමේ අපහසුව මෙයත් සමඟ ඔබට ඇතිවන්නට පුළුවන්.

 

චලන හැකියාවන් සහ පරාසයන් අඩුවීම

ඉරියව්වල පවතින ගැටලු නිසා බෙල්ල, උරහිස සහ පිටේ ඉහළ ප්‍රදේශයේ චලන හැකියාවන් අඩුවන්නට පුළුවන්. විශේෂයෙන්ම බෙල්ල හැරවීමේදී වේදනාව සමඟ චලන අවහිරතාවයද ඇතිවන්නට පුළුවන්.

 

හිසරද තත්ත්වය

බෙල්ලේ ඉදිරිපසින් සහ පිටුපසින් පවතින මාංශ පේශීය අසම්බරතාවය නිසා බෙල්ල පිටුපසින් මාංශ පේශි අනවශ්‍ය පරිදි තද වීමකට ලක් වෙනවා. එම නිසා නළලේ සිට හිස් කබල පිටුපස දක්වා දිවෙන Occipito-frontalis නම් මාංශ පේශියද තද වීමකට ලක්වේ. මේ නිසා  Cervicogenicහිසරද තත්ත්වයක් ඇතිවන අතර එහිදී හිස හෝ නළල ආශ්‍රිතව වේදනාවක් ඇතිවී එය ඔළුව පිටුපසට ගමන් කිරීම සිදුවන්නට පුළුවන්.

ඉහතින් දක්වා තිබෙන මූලික රෝග ලක්ෂණ Text Neck Syndrome තත්ත්වයේ ආරම්භයේ සිටම අඩු වැඩි වශයෙන් ඇතිවන්නට පුළුවන්. නිවැරදිව ප්‍රතිකාරවලට යොමු නොවීම සහ රෝගය නොසලකා හැරීම නිසා මේ තත්ත්වය වඩාත් උස්සන්න වීමත් සමග ඉහතින් දක්වා තිබෙන රෝග ලක්ෂණවලට අමතරව පහතින් සඳහන් මේ රෝග ලක්ෂණ ද ඇති වන්නට පුළුවන්

 

උරහිසේ සිට ඇගිලි දක්වා පහළට විහිදෙන වේදනාව හෝ හිරිවැටීම

Text Neck Syndrome  තත්වය නිසා බෙල්ලේ කොඳු ඇට පේලියේ පහළ ප්‍රදේශයට අධික පීඩනයක් එල්ල වෙනවා. ඒ නිසා කාලයත් සමඟ එම කොටසට ආතරයිටිස් තත්ත්වයක් වැලඳීමේ හැකියාව සහ අන්තර් කශේරුක මඬල ආශ්‍රිතව පැනීමේ තත්වයක් ඇතිවන්නට පුළුවන්. මෙහිදී Brachial Plexus නම් ස්නායු ප්‍රථානය ආශ්‍රිතව ස්නායු පීඩනයක් හෝ තෙරපීමක් ඇතිවීමේ හැකියාව පවතිනවා. ඇඟිලි දක්වා පැතිරෙන වේදනාව සහ හිරි වැටීම ඇතිවන්නේ එවිටයි.

 

සමබරතාවය ආශ්‍රිත ගැටලු ඇතිවීම

මේ තත්ත්වයත් සමඟ ඇතිවන හිස ඉහළට කරගෙන සිටීමේ ඉරියව් නිසා සමබරතාවය ආශ්‍රිත ගැටලු ඔබට ඇතිවන්නට පුළුවන්. මෙහිදී ඉරියව් මාරු වන විට ඇතිවන කැරකිලි ස්වභාවය, ඇවිදීමේදී වැටීමේ හැකියාව සහ පඩිපෙළවල් නැගීමේදී පය පැටලී වැටීම් වැනි අනතුරු සිදුවන්නට පුළුවන්කම තිබෙනවා.

 

හක්ක ආශ්‍රිතව ඇති වෙන වේදනාව

බෙල්ල ආශ්‍රිත ඇතිවන මාංශ පේශි අසමබරතාවය සහ කඳුඇට පේළියේ සිදුවන හැඩයේ වෙනස් වීම නිසා හනු සහ හක්ක ආශ්‍රිත Temporomandibular සන්ධි ආශ්‍රිතව වේදනා තත්ත්වය ඇති වන්නට පුළුවන්.

වැරදි ඉරියවු භාවිත කිරීම නිසා ඇතිවන අනෙකුම සියලුම රෝග ලක්ෂණ මෙන්ම Text Neck Syndrome  තත්වයද වැලඳීමට කලින් වළක්වා ගැනීම ඉතාම වැදගත්. මේ සඳහා පහත සරල පියවර ඔබට අනුගමනය කරන්නට පුළුවන්.

ස්මාට් ජංගම දුරකථන භාවිත කරන සෑම අවස්ථාවකදීම නිවැරදිව ඉරියවු පවත්වාගෙන වාඩිවී මුහුණේ මට්ටමට ජංගම දුරකථනය ඔසවා භාවිත කරන්න. ඔබ ජංගම දුරකථන භාවිත කරන සෑම අවස්ථාවකදීම සෑම මිනිත්තු 20කට වරක්ම දුරකථනයෙන් දෙනෙත් ඉවතට ගෙන ඈත පිහිටන වස්තුන් දෙස බලමින් මිනිත්තු 5ක පමණ ගත කරන්න. මෙමගින් බෙල්ල ආශ්‍රිත මාංශ පේශි ලිහිල් වෙනවා මෙන්ම දෙනෙත්වලටද විවේකයක් ලැබෙයි.

ජංගම දුරකථන භාවිත කරන අවස්ථාවේදී විටින් විට ජලය පානය කරන්න. මෙහිදී ජලය පානය කිරීම සඳහා බෝතලයක් භාවිත කරන්න. බෝතලයක් භාවිතයෙන් ජලය පානය කරන විට බෙල්ල සහ හනු ප්‍රදේශයේ ඇදීමකට ලක්වනවා. මෙමගින් මාංශ පේශවලට ඇතිවන ආතතිය අවම කරගන්නට පුළුවන් .

ඉහතින් දක්වා තිබෙන රෝග ලක්ෂණවලින් එකක් හෝ කිහිපයක් ඔබට වැලඳී තිබෙන අවස්ථාවලදී හැකි ඉක්මනින් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත යොමුවීම අත්‍යවශ්‍යයි. එහිදී නිවැරදිව සිදු කරන රෝග විනිශ්චයකින් පසුව ප්‍රතිකාර ලබා දෙනවා. මෙහිදී රෝග විනිශ්චය සඳහා අවශ්‍යතාවය පරිදි X-ray වාර්තා සහ MRI  වාර්තා භාවිත කරන්නට පුළුවන්. පාරම්පරික තෙල් ප්‍රතිකාර සහ පත්තු ප්‍රතිකාර මෙහිදී භාවිත කරන අතර ස්නායු ආශ්‍රිතව ගැටලු පවතින විටදී චීන කටු වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේදය වඩාත් යෝග්‍ය වෙයි. ප්‍රතිකාරවලට අමතරව අවශ්‍ය පරිදි ජංගම දුරකථන භාවිතයෙන් වැළකී සිටීම සහ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම පිළිබඳව රෝගියා දැනුවත් කිරීමද අනිවාර්යනේම කළ යුතු වෙනවා. වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන තෙක් බෙල්ලේ වේදනාව ඇතිවන ප්‍රදේශයට මිනිත්තු 10-15ක් පමණ වේලාවක් ධ්ජඥ තැබීම වඩාත් සුදුසුයි. යෝග්‍යයි.එලෙස දිනකට තුන් වරක් පමණ සිදු කරන්න.

 

පාරම්පරික දේශීය කැඩුම් බිදුම් සහ

චීන කටු වෛද්‍ය

ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.