නිරෝගී දිවි පෙවෙතකට ආයුර්වේදීය දින කළමනාකරණය

ජූලි 12, 2024

 

ආයුර්වේදය යනු ආයුෂය පිළිබඳ වූ විද්‍යාවකි. ජීවිතය හෙවත් ආයුෂය රැක ගැනීම පිළිබඳව අවබෝධ කරවන හෙයින් ආයුර්‌වේදය නම් වෙයි. ආයුෂයට හිතකර හා අහිත කර වූ ද්‍රව්‍යයන්, ගුණයන් හා ක‍‍්‍රියාවන් පිළිබඳව වූ සියල්ලක්ම ආයුර්වේදයෙහි විස්තර වී ඇත.

මිනිසත් බව ලබා උපත ලැබීම කෙතරම් භාග්‍යයක් වුවද එම මිනිස් ජීවිතය සුඛිත මුදිත ලෙස දීඝායු විදීමට හැකියාව ලබන්නේ අතළොස්සක් පමණි. එයට හේතුව වන්නේ සමාජයේ බහුතරයක් දිවි ගමනෙහි අරුත නිසි පරිදි අවබෝධ කොට නොගෙන මවාගත් නිෂ්ඵල අරමුණක් කරා හඹා යාමට උත්සාහ කිරීමයි. ජීවිතය යනු ශාරීරික මානසික හා ආධ්‍යාත්මික සමතුලනය සහිතව වින්දනය කළ යුත්තක් බව ආයුර්වේද දර්ශනය ඔස්සේ පසක් කොට දෙනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගත යුත්තේ හුදෙක් තමා විසින් තමා කෙරෙහි අවධානයක් යොමු කිරීම හා ආත්ම සංයමයකින් යුක්තව කටයුතු කිරීමෙන් පමණකි.

ආයුර්වේදය තුළ සඳහන් වන ආචාර ධර්ම, යහ පැවතුම් හා සමතුලිත ආහාර විහරණයන් සරල හා ප්‍රායෝගික ලෙස පොදු ජනතාව කෙරෙහි හඳුන්වා දීමත්, එමගින් පුද්ගලයා හා සමාජ සෞඛ්‍ය සංවර්ධනය කිරීම, මානසික හා ආධ්‍යාත්මික සංතෘප්තිය ඇතිකර දීමත් වැදගත්වනු ඇත.

ආයුෂය පිළිබඳ විද්‍යාවක් වූ ආයුර්වේදයට අනුව හිතායු, සුඛායු හා දීර්ඝායු භුක්ති වි¼දීම සඳහා ප්‍රාණේෂනා, ධනේෂනා හා පරලෝකේෂනා පෙරදැරිව ස්වස්ථ වෘත හෙවත් නීරෝගී භාවය අපේක්ෂිතව සිදුකරනු ලබන වත් පිළිවෙත් අනුගමනය කළ යුතුය. දින චර්යා, ඍතු චර්යා, රාත්‍රී චර්යා, සද්වෘත්ත, ධාරණීය වේග හා අධාරණීය වේග, ආහාර, පෝෂණය, යෝග අභ්‍යාස මෙහි අන්තර්ගත වේ.

ආයුෂ වර්ගීකරණය

පරමායුෂ -

ඍෂි මතයට අනුව රූප, ශබ්ද ගන්ධ, රස, ස්පර්ෂ ආදී ඉන්ද්‍රියාර්ථ, මනස, බුද්ධිය, සිතිවිලි යන මේවායේ වෙනස්වීමක් දක්නට නොලැබී වසර සියයක කාලයක් ජීවත් වීම.

සුඛායුෂ -

ශාරීරිකවූත් මානසික වුත් රෝගයන්ට ලක් නොවී, විශේෂයෙන් යෞවනයකු ලෙස, බල, වීර්යය, යශස්, පෞරුෂ, පරාක්‍රම යන මේවායෙහි සමත් වූ, බුද්ධියෙන් හා දැනුමෙන් අගතැන් පත් වූ, සියලු සැප සම්පත්වලින් පිරිපුන් වූ යහපත් කර්ම ඵලයන් රිසි සේ භුක්ති විදීම.

හිතායු -

සියලු සත්වයින් කෙරෙහි හිතෛෂී වූ, අන්සතු දේ පැහැර ගැනීමෙන් වැළකුණා වූ, සත්‍යවාදී , සාමකාමී, සමීක්ෂ්‍යකාරී, අප්‍රමාදීව කටයුතු කරන, ධර්මයෙහි හැසිරීම, ධනය ඉපයීම, කම් සැප වි¼දීම යන මේවා මැදිහත් ලෙස පරිහරණය කිරීම.

දුක්ඛායු හා අහිතායු -

හිතායු හා සුඛායු ආකාරයට පටහැනි ආකාරයේ ජීවිතයක් යමෙක් ගත කරයි නම් එම ජීවිතයන් “ දුක්ඛායු” හෝ “අහිතායු” ලෙස විස්තර වෙයි.

සුව දිවියකට මංපෙත

“ස්වස්ථ” යනු යහපත් බවෙහි හා නීරෝගී බවෙහි පිහිටි තැනැත්තාය. “ වෘත්ත ‘’ යනු යහපත් බවෙහි නීරෝගී බවෙහි පිහිටීමට අදාළ වන ශාරීරික, මානසික හැසිරීම්ය. ඒ අනුව පුද්ගලයාට ශාරීරික හා මානසික වශයෙන් නීරෝගීව හා සතුටින් ජීවත් වීමට උපකාරී වන ආචාර, සමාචාර, පුරුදු ආදිය ස්වස්ථ වෘත්ත නම් වේ. මේ සියල්ල ආචාරධර්ම යනුවෙන් ද හැඳින්විය හැකිය.

දින චර්යා -

දින චර්යාව ලෙස හැඳීන්වෙන්නේ කායික මානසික නිරෝගී බව අපේක්ෂා කරන පුද්ගලයකු විසින් දිනයක් ගත කළ යුතු ආකාරය පිළිබඳව දැක්වෙන සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමකි.

උදෑසන අවදි වීම (බ්‍රහ්ම මුහුර්තය)-

සාර්ථක දිනයක සමාරම්භය ශ්‍රේෂ්ඨතම වේලාව හිරු උදාවට විනාඩි 48 කට පෙර ඇති විනාඩි 48ක කාලය වන වන බ්‍රහ්ම මුහුර්තය නම් කාල සීමාවයි.

මනස ඉතාමත් නැවුම් මේ අවස්ථාව වර්තමාන ඔර්ලෝසු වේලාවෙන් ආසන්න ලෙස පෙරවරු 4.54 සිට 5.42 දක්වා කාලය වනු ඇත.

ඌෂපානය -

අවධියෙන් පසුව මඳ උණුසුම් ජලය පානයට යොමු වීම ආන්ත්‍රික චලන උත්තේජනය කිරීම සඳහා වැදගත් වේ.

දන්තදාවනය -

මුඛය සඳහා නැවුම් බවක් ලබා දීමට දන්ත දාවනය අවශ්‍ය වේ.

මෙමඟින් මුඛයේ දුගඳ බව ඉවත් වී ප්‍රසන්න බවක් ඇති වීම, අනවශ්‍ය සෙම් කොටස් ඉවත් වීම, ආහාර රුචිය ඇතිවීම, සිතේ ප්‍රසන්න බවක් ඇතිවීම සිදු වේ.

ව්‍යායාම -

ආයුර්වේදයෙහි දවස සමාරම්භයේ යෝග ව්‍යායාම වැදගත් වේ. එය ශරීර බලය, ශක්තිය ඇතුළුව කායික මානසික ක්‍රියා උද්දීපනය සඳහා වැදගත් වේ.

තෛල අභ්‍යංගය -

හිස සහ සමස්ත ශරීරයෙහි ඖෂධීය තෛල වර්ග ගල්වා අභ්‍යංග කිරීම ආයුෂ වර්ධනය සඳහා උපකාරී වේ.

සම හා මාංෂ පේශීන් ආශ්‍රිතව රුධිර සංසරණය ඉහළ නැංවීමත්, ඒ ඔස්සේ ඖෂධීය සංඝටකයන් අවශෝෂණය කොට ශරීරයේ අවශ්‍ය ස්ථාන වෙත සැපයීමත් අපේක්ෂා කරයි.

ජලස්නානය -

ජලස්නානය ශරීර බාහිරයෙහි තැන්පත් වී ඇති මළ කොටස් බැහැර කිරීමට මෙන්ම ශරීර උෂ්ණත්ව යාමනය සඳහාත්, ශරීරයට නැවුම් බවක් ලබා දීම සඳහාත් වැදගත් වේ.

ආහාර -

සුදුසු කාලයේදී හිතකර වුත් ප්‍රමාණවත් වූ ආහාරය ගත යුතුය. එමෙන්ම එම ආහාරය තුලිත ආහාරයක් වීම අත්‍යාවශ්‍ය කරුණකි. සප්ත ධාතු වර්ධනය, ශරීරයේ ප්‍රකෘති ස්වභාවය ආරක්ෂා කිරීම, ශරීර වර්ධනය ඇති කිරීම, බාහිර කාර්යය කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දීම, පංච කල්‍යාණය ආරක්ෂා කිරීම, පංච කාම සම්පත්තිය ලබා දීම, රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය වැඩි කිරීම සඳහා දායක වන ආහාරය මතම මිනිසාගේ ජීවය රඳා පවතී.

තාම්බුල භක්ෂණය -

තාම්බුලභක්ෂණය ආයුර්වේදයට අනන්‍ය වූ ස්වස්ථ රක්ෂණ ක්‍රමවේදයක් ලෙස දැක්විය හැකිය. ආහාර අනුභවයෙන් පසු සිදුකළ යුතු වන අතර, බුලත්, එනසාල්, කරාබුනැටි, සාදික්කා, අරත්ත, කුංකුමප්පු, සූදුරු, ඉඟුරු පියලි, වසාවාසි, කොට්ට පොල් භාවිත කළ හැකිය. නිසි පරිදි සිදු කරනු ලබන තාම්බුල භක්ෂණය මඟින් මුඛය පිරිසිදු කරයි, මුඛ සහ ගල රෝග නසයි, ආහාර හොඳීන් ජීරණය කරයි.

නින්ද -

මනස සහ කර්ම ඉන්ද්‍රියයන් විඩාවට පත්වූ විට විවේකයක් ලබා දීම අත්‍යාවශ්‍ය වේ. ශරීරය හා මනස පුනර්ජනනය වීම නින්දේදී සිදුවේ. එක් එක් පුද්ගලයාගේ වයස, වෘත්තිය හා සෞඛ්‍යමය තත්වයන් ආදිය මත ප්‍රමාණවත් නින්දක් ලැබීමට අවශ්‍ය පැය ගණන රඳා පවතී. සාමාන්‍ය වශයෙන් දිනකට පැය 5 - 6ක් හෝ නින්දක් ලැබිය යුතුය. දිවා නින්ද ආයුර්වේදයට අනුව නුසුදුසුය.

 

ආයුර්වේද ජාතික රෝහලේ

වෛද්‍ය එස්.ඒ.ජේ.සී. සමරනායක

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.