අජීර්ණය වළක්වා ගනිමු

පෙබරවාරි 24, 2023

මිනිසාට ජීවත්වීම සඳහා ආහාරය අත්‍යවශ්‍ය වේ. සුදුසු කාලයෙහි ගනු ලබන ප්‍රමාණවත් ආහාරය නිසා දීර්ඝායුෂ ලබයි. සමේ පැහැය ඇතිවේ. ශරීර ශක්තිය ඇතිවේ. නුවණ වැඩේ. ආහාරය වැඩියෙන් හෝ අඩුවෙන් ගැනීම අහිතකරය. වැළඳූ ආහාරය හොඳින් නොදිරවීම අජීර්ණයයි. එය ලෙඩ රෝග රැසකට මුල් වේ.

 

අජීර්ණය ඇතිවිය හැකි හේතු

 

කලින් ගන්නා ලද ආහාරය දිරවීමට පෙර නැවත ආහාර ගැනීම.

මල මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වූ විට එසේ නොකර සිටීම.

පිළුණු ආහාර (කල්ගත වූ ආහාර) කිරි හා මස් වර්ග ගැනීම.

එකිනෙකට විරුද්ධ ආහාර (කිරි හා මස්වර්ග) ගැනීම

පමණට වඩා ආහාර ගැනීම.

දිවා කාලයේ බොහෝ වේලා නිදා ගැනීම.

පුරුදු ආහාර වෙනස් වීම.

ආහාර දිරවීම වෙනස් වීම.

පිසීමේ දී හොඳින් නොතැම්බුණු ආහාර ගැනීම

ආහාර ප්‍රමාණය වෙනස් වීම.

මානසික හේතු (ක්‍රෝධ කිරීම, ශෝක වීම, බයෙන් තැති ගැනීම, අනුන්ගේ ගුණය හෝ දියුණුව නොඉවසීම, සතුරුකම් කිරීම ආදිය වේ.)

මේ හේතු නිසා ආහාරය හොඳින් නොදිරවයි. මල බුරුල්ව පිටවේ. නැතහොත් පිට නොවේ. එවිට බඩ පිපීම හටගනී. නිතර උගුරට එනවා යැයි රෝගියා පවසයි. සමහර කුඩා ළමයින්ට පරිප්පු ඇට වැනි වියළි මලපහ පිට වනුයේ ආහාර හොඳින් නොදිරවීම නිසාය.

ඇතැම් විට දිවේ ඉරි තැළීම්ද ඇතිවේ. දිවේ මැලියම් බැඳේ. තදබල හිසරදයක් ඇතිවිය හැකිය.

 

අජීර්ණය ඇතිවිට පහළ වන රෝග ලක්ෂණ

 

ඇඹුල් රස උගුරට ඒම (වමනයට යොමු වීම)

උදරයේ වේදනාව

කැරකිල්ල

ආහාර අරුචිය

අජීර්ණය බලවත් නම් මල බුරුල්ව පිටවීම හා වමනය ඇතිවේ.

ඇඟපතේ වේදනාව

 

වළක්වා ගැනීමට උපදෙස්

 

අජීර්ණය ඇති වූ විගසම උණුදිය පානය කරන්න.

දෙහි ඉස්ම, ලුණු කැඳ, තැම්බුම් හොදි පානය කරන්න.

අජීර්ණයේ මුල් අවස්ථාවේදීම දිරවීමට පහසු ආහාරයක් ගන්න.

බිය, ශෝක වීම, ක්‍රෝධ කිරීම ආදී මනසට පීඩාවන සිතුවිලිවලින් වළකින්න.

නියමිත කාලය තුළ නිදා ගැනීමටත් අවදිවීමටත් පුරුදු වන්න.

විවේකීව සිටින්න.

නියමිත ආහාරය නියමිත කාලය නියමිත ප්‍රමාණ යන මේවා ගැන ආහාර ගැනීමේදී සැලකිලිමත් වන්න. තැම්බුම් හොදි ආහාරයට එකතුකර ගන්න. ආහාර ගැනීමට පෙර හෝ ආහාර සමඟ අමු ඉඟුරු, ලුණුදෙහි, සුදුලූනු, පෙරුම්කායම්, අසමෝදගම් වැනි දේවල් ගැනීම සුදුසු ය.

 

අජීර්ණ අවස්ථාවලට සුදුසු අත්බෙහෙත්

 

සුදුලූනු බික් 2 - 3ක් පුලුස්සා කන්න.

වැඩිහිටි අයට සීතාරාම ගුළි 2ක් මඳ රස්නෙ උණුවතුරෙන් බීමට දෙන්න.

සූදුරු බැද කුඩුකර කෝපි සාදන ක්‍රමයට බීමට දෙන්න.

තද තේ කහට අඬු කෝප්ප 1/2ක් ගෙන හොඳට නිවුණාට පසු දෙහි ගෙඩියක ඉස්ම දමා බීමට දෙන්න.

වැඩිහිටි අය සඳහා නවරත්න කල්කය මදටිය ඇට දෙකක ප්‍රමාණයක් ගෙන ඉඟුරු ඉස්ම සහ මී පැණි දමා බීමට දීම. ඉරිවේරිය, අමු ඉඟුරු කොටා ඉස්ම ගෙන පානයට දීම.

සාදික්කා ගෙඩියක් දෙහි යුෂින් ගලගා දියකර වරින් වර පානය කරන්න. මෙම අත්බෙහෙත්වලින් අජීර්ණය සුව නොවන්නේ නම් වෛද්‍යවරයකු හමුවී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

 

අජීර්ණාබාධ කල්ගත වීම නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ මොනවාද?

 

අජීර්ණය කල්ගතවීම නිසා ආහාර නිසි පරිදි නොදිරවීමෙන් පසුකලෙක විවිධ රෝග ඇතිවේ. එය විෂ තත්ත්වයකි. එම විෂ තත්ත්වය සන්ධිගතවීමෙන් සන්ධිවල ඉදිමුම වේදනාව ආදිය ඇතිවේ.

ආහාර හොඳින් නොදිරවීමෙන් ඇතිවන ආමය හෘදයට බලපෑමෙන් හෘද රෝග පවා ඇතිවිය හැකි ය.

ආහාර නොදිරවීමෙන් ආහාර රසය හොඳින් ශරීරයට උරා නොගැනීමෙන් මන්දපෝෂණය ඇතිවේ. ශරීර ශක්තිය හීන වී දුර්වල වී කෘෂ වී ශාරීරික හා මානසික දුර්වලතා ද ඇතිවිය හැකිය.

 

අජීර්ණය අවස්ථාවේදී අගුණ දේවල්

 

දහවල් නිදාගැනීම, රාත්‍රී කාලයේ නිදි වැරීම.

දිරවීමට අපහසු කිරි, මස්වර්ග එක්වර ආහාරයට ගැනීම.

උදාහරණ - ඌරුමස්, මිදුණු කිරි, මඤ්ඤොක්කා ආහාරයට ගැනීම.

ආහාර ගැනීමෙන් පසු නෑම.

පරණ වූ ආහාර ගැනීම.

වැළඳූ ආහාර දිරවීමට පෙර නැවත ආහාර ගැනීම.

ආහාර වැළඳීමට පෙර හා පසු වැඩිපුර ජලය පානය කිරීම.

 

උපදෙස් - වෛද්‍ය නන්දා කස්තුරිආරච්චි

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.