බහු මූත්‍ර රෝගයට හා විවිධ මූත්‍ර රෝග සඳහා ප්‍රතිකාර විධි

පෙබරවාරි 12, 2021

වර්තමානයේ ජීවත්වන වයස් භේදයකින් තොරව ලොකු කුඩා විශාල පිරිසකට වැළඳෙන රෝගයක් ලෙසින් හැඳින්විය හැකි දියවැඩියා රෝග ඇතුළු මූත්‍ර රෝග පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ නිසි ආහාරපාන අනුභව නොකිරීම හා සුදුසු විහරණ නොමැතිවීම ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.

 

විශේෂයෙන්ම පැණිරස භාවිතය, අධික ලෙස සීනි පරිභෝජනයට ගැනීම, බේකරි කෑම වර්ග නිරන්තර ආහාරයට ගැනීම, නිසි ව්‍යායාම පද්ධතියක් අනුගමනය නොකිරීම , දියවැඩියාවට ප්‍රධාන වශයෙන් බලපාන ලබන අතර එහි අවශේෂ ක්‍රියාවලියක් වශයෙන් විවිධාකර මූත්‍ර ආබාධ ද හටගැනීම වැළැක්විය නොහැකි තත්ත්වයක පවතී.

පිරිසුදු ජලය පානය නොකිරීම, සිරුරට අවශ්‍ය තරම් ජලය පානය නොකිරීම, අපිරිසුදු ආහාර ගැනීම අවධිමත් ඇවතුම් පැවතුම්, අධික ලෙස කැල්සියම් බහුල ආහාර ගැනීම. පැණි රසැති බීම වර්ග වැඩියෙන් පානය කිරීම ආදිය හේතුවෙන් විවිධ මූත්‍ර රෝග එනම් මූත්‍ර ගල් හෙවත් අශ්මරි රෝගය වැලඳිය හැකි අතර ඒ හේතුවෙන් ජීවිතය පවා අහිමි කරවිය හැකි බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

ලොකු කුඩා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මූත්‍ර ගල් හෙවත් අශ්මරි රෝගය ඇති කෙරේ. වකුගඩුවල පිත්තාශයේ හා මූත්‍රාශයේ මෙම ගල් හට ගන්නා අතර ඒවා කුඩා අවදියේම දියකර හැරීම හෝ හැලීම නොකළ හොත් පසුව මහත් පීඩාකාරි තත්ත්වයකට පමුණුවයි.

බොහෝවිට වකුගඩුව තුළ මෙම ගල් 20 ක් දක්වා වර්ධනය වුවහොත් ජීවිත අවදානමකට පවා ගොදුරු විය හැකි ය. මූත්‍ර ගල් හේතුවෙන් වමනය, වකුගඩුවල අධික වේදනාව, මූත්‍රාශය කොටසේ අධික වේදනාව, මූත්‍රා පහ නොවීම, ආදි නොයෙකුත් ආසාදන ඇති කරවයි.

ඊට අමතර වශයෙන් ඇතැම් පිරිසකට දිවා රාතී‍්‍ර මූත්‍ර බහුල වශයෙන් දිනකට වැඩි වාර කිහිපයක් මූත්‍ර පිටවන අවස්ථා ඇති රෝගීහු අප අතර සිටිති. එම හේතුව නිසා ඔවුනට දෛනික රාජකාරි ගමන් බිමන් ආදිය සිදු කිරීමේදී විවිධ දුෂ්කරතාවලට හා අපහසුතාවලට මුහුණපෑමට සිදුවීම බරපතළ ප්‍රශ්නය ඇත.

බහුමූත්‍ර රෝගයට ප්‍රතිකාර

1.අත්තික්කා මුල කපා වෑස්සෙන යුෂ මේස හැඳි 2 කට මී පැණි තේ හැඳි 01 ක් මිශ්‍රකර පානය කරන්න.

02.මාදං ඇට කුඩුකර මංචාඩි 05 ක් ගෙන මී පැණි දමා බොන්න.

03.කොතළ හිඹුටු කොළ යුෂ මේස හැඳි 02 ක් මී පැණි සමඟ බොන්න.

04.කටු ඉඹුල් මුල් කුඩුකර මංචාඩි 05 ක් ගෙන මී පැණි සමඟ ටික දිනක් බොන්න.

05.පේර කොළ කොටා යුෂ වතුර පත භාගයකට රාත්‍රී කාලයේ දමා පසුව උදේ එය පෙරා බොන්න. දින කිහිපයක් කිරීමෙන් රෝගය සුව වෙයි. මෙය රුධිරයේ සීනි ඇති අයට ද ගුණදායක වේ.

06 .උණ කොළ කෂාය උදේ, සවස බොන්න .

07.රණවරා මුල් තම්බා බොන්න.

08.කොතළ හිඹුටු මුල් තම්බා දිනකට කිහිප වරක් බොන්න. (කොතළ හිඹුටු මුල් කලං 12 ක් ගෙන වතුර 8-1 ට සිඳ පත භාගය බැගින් උදේ, සවස මී පැණි දමා බොන්න.

09.රණවරා කොළ, පොතු, මල්, සහ මුල් කලං 3 බැගින් ගෙන වතුර පත අටකට සීනි,මී පැණි දමා භාගය බැගින් උදේ ,සවස බොන්න.

10.උඳු ටිකක් ගෙන හොඳින් සෝදා රාත්‍රීයේ ඇල්වතුරේ දමා තබා පසුදා උදේ පහට පමණ එය පානය කර ඇට ටික කිතුල් හකුරුත්, පොලුත් සමඟ අනුභව කරන්න.

11.බිංතල් අල, අළු කෙසෙල් අව්වේ වියළා චූර්ණ කොට රට ඉඳි සමඟ කළවම් කර කළන් භාගයක් උදේ සවස අනුභව කොට එළකිරි පානය කිරීමෙන් බහු මූත්‍ර රෝගය සුව කෙරේ.

12.වදමල් දෙක බැගින් දිනකට තුන්වරක් වන සේ වදමල් පාණ්ඨ කර බීමෙන් වාත රක්තජ බහුමූත්‍රතාව ගුණ වේ.

13.හාතාවාරිය, සාරණමුල්, මුරුංගා පොතු, එරබදු පොතු, ඉගිනි ඇට කළන් 02 බැගින් වතුර පත 8-1 ට සිඳ උදේ, සවස සීනි ,මී පැණි දමා බොන්න.

මූත්‍ර මාර්ගයෙන් ලේ යනවාට

කිරිබදු අල, හාතාවාරිය අල, නස්නාරං මුල්, වැල්මී කළන් තුන බැගින් ගෙන වතුර කාල් 8-1 ට සිඳ ගෙන උදේ සවස කාල් භාගය බැගින් බොන්න.

ඊටම හාතාවාරිය අල, ගොකටු කළන් 6 බැගින් ගෙන වතුර කාල් 8-1 ට සිඳ කාල් භාගය බැගින් උදේ ,සවස බොන්න.

ඊටම – ලුණුවරණ පොතු තම්බා පානය කරන්න. අෂ්මරි ගල් දිය වී යයි.

ඊටම – ගස් කරල්හැබ තම්බා පානය කරන්න.

ඊටම – ඇඹුල් කෙසෙල් අලයක් පිරිසුදු කර සෝදා කුඩා කැබලිවලිට කපා වතුර නොදා මිරිකා එම යුෂ සමානව නැවුම් එළකිරි කලවම් කර පානය කරන්න. අෂ්මරි ගල් දියවී යයි.

ඊටම – අක්කපාන කොළ සම්බෝලය වශයෙන් සාදා ආහාරයට ගන්න

ඊටම – නීරමුල්ලිය දළු කොටස කොටා සම්බෝලය මෙන් සාදා ආහාරයට ගන්න

ඊටම – පානය කරන ජලය ප්‍රමාණය වැඩි කරන්න ඊටම – ව්‍යායාම් කටයුතුවල නිසි පරිදි යෙදෙන්න

ඊටම – හාතාවාරිය අල සහ නෙරෙංචි තම්බා උදේ ,සවස පානය කරන්න.

මූත්‍ර මාර්ගයෙන් සැරව යනවාට

ඉගිනි ඇට, සෙංකොට්ටන් ,බිම් දුම්මල, කළුදුරු බැදිහාල් යන මේවා අඹරා රණවරා දළු, සුදුනෙළුම් දළු කඩපිම්මෙන් තම්බා ඇඹරූ බේත් සමඟ එකට අඹරා තබා ගිතෙලින් දෙනු. මූත්‍ර මාර්ගයෙන් සැරව නවතී.

ඊටම – ගුගුල්. අතිවිඩයන්, වියළි ඉඟුරු, අසමෝදගම්, තිප්පිලි, බෙලි මුල්, කෂාය කකාරා පෙරා විළඳ, පොරි, මී පැණි එක්ව කලතා දෙනු. වන සැරව ගුණ වේ.

ඊටම – සුදුහඳුන් ගලගා ගුරුල්ල ගසේ මද ද එම ප්‍රමාණයෙන් ගෙන පොල් කිරෙන් දිය කොට්ටන් දිනක් දෙනු.

මූත්‍රා කෘච්ඡයට (අපහසුවෙන් මූත්‍රා පිටවීම)

පුහුල්දඩු තම්බා සීනි දමා බීමට දෙන්න.

ඊටම – කෙසෙල් අල අඹරා වස්ති මාර්ගයේ ආලේප කිරීමෙන් මනාව මූත්‍ර පිටවේ.

තදින් මූත්‍ර යාමට

ප්‍රමේහයට රණවරා ගසේ පස් පංගුව. වෙනිවැල්ගැට, කළාදුරු අල, අරළු. බුළු, නෙල්ලි , කුඹුක් පොතු, වියළි කහ මේවා කළඳ බැගින් ගෙන වතුර පත 8-1 ට සිදුවා පෙරා සීනි, මී පැණි දමා දෙවරට උදේ, සවස බොන්න. දින 4 යි .

ඊටම – ඉඟිනි ඇට, ඇහැළ පොතු , මාදං පොතු, අරළු, වැල්පෙනෙල මුල්, වියළි කහ, වෙනිවැල් ගැට, කපු ඇට, මද මේවා කළන් එකහමාර බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳුවා පෙරා සීනි මී පැණි දමා උදේ, සවස බොන්න.

ශරීර දැවිල්ල, මූත්‍ර දැවිල්ල හා

මළබද්ධයට

හුලංකීරිය අල කොටා කැඳ සාදා බොන්න.

ඊටම – හුලංකීරිය අල පෙති කපා වියළා කුඩුකරගත් පිටිවලින් සාදාගත් කැඳ සීනි දමා පානය කරන්න.

මූත්‍ර කෘච්ඡයට , මූත්‍ර අශ්මරි. සහ මූත්‍ර අඩස්සියට

පොල්පලා සම්පූර්ණ පැළෑටිය තම්බා පානය කරන්න.

මූත්‍රාශය හා පුරස්ථි ග්‍රන්ථිය ආශි‍්‍රත පිළිකා රෝගින්ට

මඤ්ඤොක්කා කොළ මැල්ලුම, මඤ්ඤොක්කා අල සහ ව්‍යඤ්ජන ආහාරයට ගැනීම ඉතා ගුණයි. මඤ්ඤොක්කා අල පිටිවලින් සෑදු රොටී ආහාරයට ගැනීම ගුණයි.

ස්ත්‍රී පුරුෂ මූත්‍ර රෝග, මූත්‍ර දැවිල්ල, මූත්‍ර පිටවීමේ අසීරුතා සඳහා

ඉඳුණු අඹරැල්ලා පලතුරක් ලෙස ආහාරයට ගන්න. ඇඹරැල්ලා දළු සම්බෝලයක් ලෙස ආහාරයට එක්කර ගන්න.

මූත්‍රබාධ සඳහා

( මූත්‍ර අඩස්සිය /මූත්‍ර දැවිල්ල /මූත්‍ර පිටනොවීම නිසාවන විවිධ ආසාදන වලට)

නෙළුම්මල් පෙති කෂාය බොන්න. මෙය මූත්‍රාශය ආශි‍්‍රත සැම රෝගයක් සඳහාම ගුණදායකයි. එය මෙසේයි.

නෙළුම් මල් පෙති ග්‍රෑම් 06 ක් ගෙන මුට්ටියකට දමා වතුර පත 8-1 ට සිඳ උදේට පත භාගයයි, සවසට පත භාගයයි වශයෙන් දින 7 ක් පානය කරන්න. ඊටම – රණවරා පංචාංගය කෂාය කර මී පැණි සමඟ පානය කරන්න.

මූත්‍ර මාර්ගයෙන් බිබිලි නැගීම් ආදියට

ඉරමුසු , සවැන්දරා , බෝ දළු, නුගදළු, අත්තික්කා දළු, කරඳ දළු යන මේවා සමව ගෙන එළකිරෙන් අඹරා තල තෙලින් ගානු.

මූත්‍රවල සීනි ඇති අයට කෂායක්

සුදුහඳුන්, ඉගිනිඇට, සවැන්න මුල්, කැහිපිත්තන් කොළ, කළඳ බැගින් ගෙන හොඳට කොටා තැඹිලි ගෙඩියේ වතුරට කිතුල් හකුරු සමඟ දියකර පැය 12 පින්නේ තබා උදේට ගෙන පිරිසුදු තුනී රෙදි කඩකින් දෙතුන් වරක් පෙරා උදේට බොන්න.

 

ආයුර්වේද වෛද්‍ය

ආචාර්ය

ප්‍රභාත් ගමගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.