කිරි දෙන මවකට සුදුසු ආහාර

අගෝස්තු 28, 2020

දරුවකු උපන්නාට පසුව ලබා දෙන්නට පුළුවන් හොඳම ආහාරය තමයි මව්කිරි කියන්නේ. මේ ගැන දන්නා මව්වරු කෘත්‍රිම පිටි වර්ග නොසලකා හැර මව්කිරි සිය බිළිඳාට ලබාදෙන්නට උනන්දුවක් දක්වනවා. 

බොහෝ මව්වරු හැකිතාක් කාලයක් සිය බිළිඳාට මව් කිරෙන් පෝෂණය කරන්නට උත්සාහ කරනවා. මෙහිදී මව්වරු පෝෂදායී ආහාර ලබා ගැනීම කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වුවත්, ඇතැම් අය එසේ කරන්නේ නැහැ. ඇතැම් අය හොඳීන් ආහාරපාන ලබා ගත්තත්, ඒවා අතර මෙවැනි අවස්ථාවක දී සිරුරට ලැබිය යුතු පෝෂණය සපිරි ආහාර නොමැති වන්නට පුළුවන්. එවිට සිදුවන්නේ මව්වරුන්ගේ සිරුර වැහැරෙන්නට පටන් ගැනීමයි. බිළිඳාට මව්කිරි ලබා දෙන අතරේ මවගේ සිරුර ද හොඳීන් පිරිපුන්ව පවත්වාගෙන යන්නට නම් විශේෂයෙන් ලබා ගත යුතු ආහාර තිබෙනවා. ඔබත් සිය බිළිඳාට මව් කිරි ලබා දෙන මවක් නම් මේ ගැන අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. කොස් පොළොස් හිඟ කාලවලදී මේ ආහාර ගැන දැන සිටීම ඔබට ඉතාම වැදගත් වනු නිසැකයි. 

ඕට් පිටි 

ඕට් පිටි කියන්නේ ලොකු වියදමක් දරන්නේ නැතිව වෙළඳපළෙන් ලබා ගෙන ආහාරයට එක් කර ගත හැකි ධාන්‍යමය ආහාරයක්. මෙහි තන්තු සහ ප්‍රෝටීන යහමින් තිබෙනවා. මේ නිසා මවට පිරිපුන් බවක් ලබා දෙන්නට ඕට්වලට හැකියාව තිබෙනවා. ඕට්ස් අඩංගු ආහාර ජීර්ණය වන්නේ සෙමින් නිසා රුධිරයේ ඇති සීනි ස්ථාවරව පවත්වාගෙන යන්නට හැකියාව ලැබෙනවා. එය මව් කිරි ලබා දෙන ඔබට මහත් පිටිවහලක්.

බිත්තර

බිත්තර කියන්නේ ප්‍රෝටීන් යහමින් සපිරි ආහාරයක්. ඒ වගේම මවටත් බිළිඳාටත් අවශ්‍ය ඇමයිනෝ අම්ල මේවායේ යහමින් අඩංගු වෙනවා. බිත්තර වල අඩංගු තවත් පෝෂ්‍ය පදාර්ථයක් තමයි කෝලීන් කියන්නේ. ඒවා කිරි දෙන මවගේ සෞඛ්‍යයට මෙන්ම දරුවාගේ වර්ධනයටත් අවශ්‍ය වෙනවා. දරුවාගේ මොළයේ වර්ධනයට සහ මවගේ සෞඛ්‍ය කෙරෙහි කෝලීන් වලින් ලැබෙන්නේ යහපත් පෝෂණයක්.

අලිගැට පේර 

හෘද වස්තුවට හිතකර අසංතෘප්ත මේදය සෑහෙන ප්‍රමාණයක් අඩංගු පලතුරක් තමයි අලිගැටපේර කියන්නේ. කිරිදෙන මව්වරුන්ට සුදුසු හොඳම පලතුරු වලින් එකක් ලෙස වෛද්‍යවරු අලිගැටපේර නිර්දේශ කරනවා. එමෙන්ම තන්තු, ප්‍රෝටීන් සහ රුධිරයේ වැඩීමට හේතුවන බී- විටමින් වර්ගයක් වන ෆෝලේට්‍ ද මේවායේ අඩංගු වෙනවා. ඒ වගේම සිරුරේ ඇති මේදයේ දියවන විටමින් වර්ග වන ඒ,ඩී,කේ සහ ඊ විටමින් සිරුරට අවශෝෂණය කර දෙන්නට ද අලිගැටපේර සහාය වෙනවා. මෙයින් ලැබෙන සෞඛ්‍ය සම්පන්න මේදය ඔබේ බිළිඳාගේ මොළයේ සෞඛ්‍යය ද වර්ධනය කරනවා. මේ නිසා මව්කිරි දෙන මවක් අලිගැටපේර ටිකක් වැඩිපුර ආහාරයට ගත්තත් ගැටලුවක් වන්නේ නැහැ.

යෝගට් 

උදෑසන ආහාරයක් ලෙසත්, ප්‍රධාන ආහාර වේල් අතරතුර ලබාගන්නා කෙටි ආහාරයක් ලෙසත් යෝගට් වලට ලැබෙන්නේ විශේෂ තැනක්. බඩවැල්වලට මිත්‍රශීලී බැක්ටීරියාවක් වන ප්‍රෝබයෝටික් යෝගට් වල අඩංගු වන අතර එය මවගේ මෙන්ම  ඔබගේ දරුවාගේ ප්‍රතිශක්තිකරණය ද වර්ධනය කරනවා. ඒ වගේම යෝගට් වල අඩංගු ප්‍රෝටීන්, කැල්සියම් සහ විටමින් බී-12 නිසා යහපත් සෞඛ්‍ය සම්පන්න බවක් සහ යහපත් ආහාර ජීර්ණ හැකියාවක් ද හිමි  වෙනවා.

රනිල කුලයේ ආහාර 

බෝංචි, මෑකරල් වැනි රනිල කුලයේ ආහාර ද කිරි දෙන මව්වරුන්ට ඉතාමත් සුදුසු බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කොට තිබෙනවා. මේවායේ තන්තු, ප්‍රෝටීන්, යකඩ,  ෆෝලේට්, සින්ක්, සහ කැල්සියම් යහමින් පවතිනවා. මේවා ඔබේ ආහාරයට එක්කර ගැනීම නිසා ඒවා ඔස්සේ ඔබට ලැබෙන ප්‍රෝටීන් ප්රමමාණය ඉහළ යනවා පමණක් නොව ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමවත් කරවන්නට හේතු වෙනවා. යකඩ නිසා සිරුරට හොඳීන් රුධිරය සැපයීම සිදු වෙනවා. එවිට සිරුරේ ශක්තිමත් බව වර්ධනය වන අතර නීරක්තිය වැළඳීමේ අවදානම ද අවම වෙනවා. අප වැනි පෙරදිග රටවල කාලයක් තිස්සේ කිරි දෙන මව්වරුන්ට ලබාදුන් ආහාර අතර රනිල කුලයේ ආහාර ඉහළ තැනක පවතිනවා.

එළකිරි 

දරුවාට කිරිදෙන මවක් විශේෂයෙන් පිටිකිරි නොව නැවුම් එළකිරි පානය ඉතාමත්ම වැදගත්. මෙමගින් සිරුරට කැල්සියම්, විටමින් ඩී, පොටෑසියම්, සහ විටමින් ඒ හිමි වෙනවා. නැවුම් දියර කිරි ඔබගේ සෞඛ්‍යයට පමණක් නොව ඔබගේ බිළිඳාගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කරන්නටත් හේතු වෙනවා.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.