ඊශ්වර දෙවියන් වෙනුවෙන් ඉදිකළ පළමු දේවාලය

හලාවත මුන්නේශ්වරම දේවාලය
අගෝස්තු 14, 2020

ශ්‍රී ලංකාවේ ඉතා පැරණි වූත් අති පාරිශුද්ධවූත් සිද්ධස්ථානයක් වන හලාවත මුන්නේශ්වරම දේවාලය බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා වාසී සියලු ජනයාගේ ගෞරවයටත්, සම්මානයටත් පාත්‍ර වූවකි. 

මෙම දේවාලය ඊශ්වර දෙවියන් වෙනුවෙන් ඉදි වූවකි. මුන්නේශ්වර යනු මුන් + ඊශ්වර යන වදන් දෙක සන්ධි වීමෙන් සකස් වී ඇති බව වාග් විද්‍යාඥයන්ගේ මතයයි. ‘මුන්’ යනු ද්‍රවිඪ භාෂාවෙන් පළමු, පෙර, ඉස්සර, පැරණි යන තේරුම් ඇති වචනයකි. ඒ අනුව ඊශ්වර දෙවියන් උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් ඉදි කළ දේවාලය බව වාග් විග්‍රහය අනුව තහවුරු කිරීමට උත්සාහ කර ඇත. මෙය ඉදිකර ඇත්තේ රාම රාවණා යුද්ධයට පෙර බව කිය වේ. 

භාරත දේශයේ දෙවිවරු අතර ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ ඊශ්වර හෙවත් ශිව දෙවියන් ය. එතුමා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉදිකළ දෙවොල මුන්නේශ්වර නම් වේ. ඊශ්වර දෙවියන්ගේ භාර්යාව පාර්වතී හෙවත් ගිරිදේවියයි(ගෞරී) ඔවුන්ට  දාව උපන් දරු දෙදෙනෙකි. ස්කන්ධ කුමාර (කතරගම දෙවියන්) හා ගණ දෙවිඳුන්ය. මුන්නේශ්වරම පුද බිමේ ගණදෙවි කෝවිලක් මෙන්ම කතරගම දෙවිඳුන් සඳහා ද දෙවොලක් ඉදිකර ඇත. මුන්නේශ්වරම දේවාලය පිටුපස භද්‍රකාලී මෑණියන් උදෙසා ඉදි වූ දෙවොලකි. සුර, අසුර යුද්ධයේ දී කාලි මෑණියන් ශිව දෙවියන්ට එකතු වීම නිසා ජයග්‍රහණය ලැබූ බවත් ඒ සම්බන්ධය මත ඊශ්වර දේවාලය අසළින් කාලි මෑණියන්ගේ දේවාලයක් ඉදිකිරීම පෙර සිට පැවත එන සම්ප්‍රදායකි. දකුණු ඉන්දියානු රජවරන්ගේ සහ ශ්‍රී ලාංකික රජවරුන්ගේ අනුග්‍රහයෙන් ඉදිකළ දේවාල රාශියක් වර්තමානය වන විට මුන්නේශ්වරම දේවාල භූමියේ දක්නට ඇත. කෙසේ නමුත් පළමුවෙන් ඉදිකර ඇත්තේ ඊශ්වර දෙවියන් උදෙසා ඉදිකළ මුන්නේශ්වරම දේවාලය පමණි. 

මෙම සිද්ධස්ථානයේ ආරම්භය ඉතා පැරණි ය. ඒ සඳහා නිශ්චිත කාල වකවාණු ඓතිහාසිකව සනාථ කළ නොහැකි වූවත් රාවණා රාජ්‍ය කාලයට පෛර සිට පැවත එන්නක් බව සාහිත්‍ය මූලාශ්‍රවලින් තහවුරු කළ හැකිව ඇත. ඉන්දියාවේ සංස්කෘත භාෂාවෙන් ලියවී ඇති ‘දක්ෂිණ කෛලාස පුරාණ’යෙහි සඳහන් රාම, රාවණා යුද්ධයට අදාළ විස්තරයකින් තොරතුරු ලබා ගැනීමෙන් පෞරාණික බව සනාථ කිරීමට සාධක සපයා ගත හැක. එහි මුන්නේශ්වරම දේවාල මහිමය යටතේ ඇතුළත් තොරතුරුවලින් රාම, රාවණා යුද්ධයට පෙර සිට දේවාලය තිබූ බවට සාක්ෂි හඳුනා ගත හැකි ය. 

එහි සඳහන් ආකාරයට මහා රාජ ශ්‍රී රාමයෙන් ලංකා භූමියට පැමිණ රාවණා සංහාරයෙන් පසුව සීතා, ලක්ෂ්මණ, විභීෂණධීන්, ප්‍රමුඛ පිරිවර, විමානරූඪව ආකාශ මාර්ගයෙන් අයෝධ්‍යා නගරය බලා ගමන් කර ඇත. 

එසේ ගමන් කරන අතරතුර තම පිරිවර පසුපස කාලවර්ණ ඡායාරූපමය බ්‍රාහ්මණ දෝෂය (බමුණන් මැරීමේ පව) ඔවුන් ලුහුබැඳ ඇත. එහෙත් එම දෝෂය මුන්නේශ්වරම දේවාලයට ඉහළින් ගමන් කරන විට අතුරුදහන්ව ඇත. එසේ වීමට කරුණු විමසා බලන විට මුන්නේශ්වරම දේව බලපෑම බව හඳුනාගෙන දොහොත් මුදුන් තබාගෙනම සපිරිවරින් භූමියට සම්ප්‍රාප්ත වී තමා පසුපස එන බ්‍රාහ්මණ දෝෂය ස්ථිර වශයෙන්ම දුරුකර දෙන ලෙස මුන්නේශ්වර දෙව් රදුන්ගෙන් ඉල්ලා තිබේ. එකල් හි මුන්නේශ්වරම් දෙව් මහරජාණන් වහන්සේ වදාරා ඇත්තේ බ්‍රාහ්මණ දෝෂය නසනු පිණිස මේ ලංකා පුරවරයෙහි පිහිටියා වූ ශිව ක්ෂේත්‍රයන් වූ මුන්නේශ්වරම, කේතීශ්වරම හා කෝනේශ්වරම යන ත්‍රිවිධ ස්ථානයන්හි ශිව ලිංග ප්‍රතිෂ්ඨාපනය කරන ලෙසයි. ඒ අනුව මුන්නේශ්වරම මායානදී (දැදුරුඔය) තීරයෙහි මානාවේරී ස්ථානයෙහි ශිව ලිංග ප්‍රතිෂ්ඨාපනය කර ඇත. අදත් කුම්බාභිෂේකයෙන් පසු දිය කැපීම සිදුකරන්නේ එම ශිවලිංගය ආසන්න දේවාලය ඉදිරිපිට ය. එය රාමකුමරු ගොඩබැස්ස ස්ථානයයි. මේ අනුව රාවණා යුගයට පෙර සිට මුන්නේශ්වරම, පුද පුජා පැවැත් වූ ඉතා පැරණි සිද්ධස්ථානයක් බව පෙනේ. 

දකුණු ඉන්දියානු රජවරු මෙන්ම ශ්‍රී ලාංකීය රජවරු මුන්නේශ්වරම විටින් විට අලුත්වැඩියා සහ පිළිසකර කිරීම් කර ඇති ඓතිහාසික සාධක පරීක්ෂා කිරීමෙන් පෙනී යයි. දකුණු ඉන්දියානු චෝල වංශාභිජාත බාල ගෘංග මහාරාජ කෝනේශ්වරම දේවාලයට පැමිණි වේලාවෙහි මුන්නේශ්වරම අසා දැන සම්ප්‍රාප්තව තේවාවන් නිමවා පසුව වැව් පොකුණු ශුද්ධ කරවා ඇත. මීට අමතරව චෝල දේශයෙන් ශිවාචාර්යවරුන්ද, ධර්මාචාර්යවරුන් ද වේදාන්ත ශිවාගම කලාභූෂණ දන්නා බ්‍රාහ්මණයන්ද කැඳවා ශුභ මොහොතින් කුම්භාභිෂේක කර ඇත. ඉන් පසු නිත්‍ය නෛමිතික කාර්යයන් මනාසේ පවත්වාගෙන යාම පිණිස දකුණු ඉන්දියාවෙන් නොයෙක් කර්මාන්ත කරන තිස් තුනක කණ්ඩායමක් මෙහි ගෙන්වා දේවාලය අවට ගම්වල පදිංචි කර ඇත. ඔවුන්ගෙන් ආගම්පඩි වෙල්ලාලයන් කිහිප දෙනෙකු එකුවිටිය, කාක්කපල්ලිය, මානාවේරි කරවි, ගණන් කැටේ, ඉහකු බ්‍රාහ්මණ දළුව, මුගුණුවටවන, විලත්තව, මණ්ඩලාන, ඔලිදළු, චන්දස් කුලම, තිත්ත කඩේ යන ගම්වල පදිංචි කරන ලදී. ඔවුන් විශේෂ උත්සව කාලවලදී මල්වර්ග, අඹ කොළ, පොල්මල් යනාදිය සැපයීම දෙවියන් වැඩම වීම, හක් පිඹීම, වී කෙටීම, පහන් තට්ටු මුට්ටු බැඳීම, පහන් පත්තු කිරීම, හඳුන් ඇඹරීම, කෝවිල ඇතුළු පිට ඇමදීම, ගොම ගෑම, අළු ඇදීම තොරණ බැඳීම යනාදිය කිරීම පිණිස ඔවුන්ට බාර දී ඇත. මේ ගම්වල පදිංචි වයෝවෘද්ධ ජනනතාව රාජකාරියක් ලෙස නොවුවත් පාරම්පරිකව සමහර චාරිත්‍ර වාරිත්‍ර කිරීමට අද ද උත්සව කාලයට දේවාලයට පැමිණෙනු දැකිය හැක. එහෙත් දේවාලයේ බොහෝ ආවතේව ඇතුළු කාර්යයන් මුදල් ගෙවා කම්කරුවන් ලවා කරවන අතර ඇතැම් කටයුතු කොන්ත්‍රාත්කරුවන් විසින් ඉටු කරනු ලබයි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.