කීර්තිමත් ගීත රචකයකුට ඒරාෂ්ටක බලපෑ අයුරු

නොවැම්බර් 15, 2024

අද දිනයේදී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ කවිය ඔබ, පුර පෝය හඳට පෙමින් බැඳුණු වැනි ජනප්‍රිය සහ සුභාවිත ගීත රැසක් පද බැන්දූ මුළු රටම දන්නා කීර්තිමත් ගීත රචකයකු වන සුනිල් ආර්. ගමගේ මහතා ඉතා තදබල ඒරාෂ්ටක කාලවකවානුවලදී මුහුණ දුන් අපූරු අත්දැකීම් පිළිබඳවය.

1952 වසරෙහි පෙබරවාරි 7 වැනිදා උත්පත්තිය ලබා ඇති මේ සුවිශේෂී ගීත රචකයා “මීන” ලග්නය දරන්නකු වන අතර “ගුරුහංස” නම් වූ පංච මහා පුරුෂ යෝගයෙන්ද, කෝටියක් දෝෂ භංග යෝගයකින්ද, අර්ධ චන්ද්‍ර අධියෝගයකින්ද ප්‍රබල පරිවරත්න යෝගයකින්ද කේන්දර සටහන ශක්තිමත් වී ඇත. උත්පත්ති කේන්දර සටහනේ සිකුරු 10 වැනි භාවය තුළ පතිතවීමෙන් වෘත්තීමය කලාකරුවකු වන බවට ඉඟි ලැබේ.

සුනිල් ආර්. ගමගේ මහතාගේ උත්පත්ති කේන්දර සටහනේ චන්ද්‍රයා 4 වැනි භාවය තුළ තැන්පත් වී ඇති අතර චන්ද්‍ර සහ සිකුරු සප්තම වීම තුළින්ද කලාකරුවකු ලෙස සාර්ථක විය හැකි බව පෙන්වයි. ඒ මහතා පවසන ලද ආකාරයට ඒ මහතාට රැකියාව ලැබී ඇත්තේ 1974 වසරෙහි මැයි මාසයේදීය. ඒ මහතාගේ උත්පත්ති කේන්දර සටහනට අනුව 1973 වසරෙහි ජුනි 10 වැනිදාත් 1975 වසරෙහි ජූලි 23 වැනිදාත් අතර කාලසීමාව තුළ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව ආධුනික ඡ්‍යොතිර්වේදියකුට වුවද ඉතා පහසුවෙන් වටහාගත හැකිය. ඒ අනුව මේ කීර්තිමත් ගීත රචකයාගේ ජීවිතයේ ඉතා තීරණාත්මක සිදුවීමක් වන රැකියාව ලැබී ඇත්තේ උත්පත්ති කේන්දර සටහනට අනුව, ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගතවද්දී බව සක්සුදක් සේ පැහැදිලිය. එසේනම්, තදබල ඒරාෂ්ටක කාලසීමා වලදී අසුබපලම පමණක් ලැබෙන්නේ යැයි පවසන්නේ කෙසේද?

මොහුගේ විවාහය සිදු වී ඇත්තේ 1977 වසරෙහි අගෝස්තු මාසයේදීය. ඒ මහතාගේ උත්පත්ති කේන්දර සටහනට අනුව, 1975 වසරෙහි ජුලි 23 වැනිදාත් 1977 වසරෙහි සැප්තැම්බර් 07වැනිදාත් කාලසීමාව තුළ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත කර ඇත. ඒ අනුව ඒ මහතාගේ විවාහය සිදුවී ඇත්තේ ද ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත කරමින් සිටියදී බව පෙනේ.

මේ ගීත රචකයාට 1982 වසරෙහි ඔක්තෝබර් 5 වැනිදාත් 1984 වසරෙහි දෙසැම්බර් 20 වැනිදාත් අතර කාලසීමාව තුළ අති ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වී ඇත. 1982 වසර තුළ එක් වරම ද්විත්ව උසස්වීම් ලැබුණු බව ඒ මහතා පවසයි. මීට අමතරව ලෙස 1982 වසරේදී රැකියාවේ ස්ථාන මාරුවක්ද ලැබී ඇත. තවද 1985 වසරෙහි මැයි 29 වැනිදාත් 1985 වසරෙහි සැප්තැම්බර් 16 වැනිදාත් අතර කාලසීමාව තුළද ඒ මහතාට ප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වී ඇත. කෙසේ වෙතත් එම ප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකය අවසන් වීමෙන් පසු උදා වූ 1986 වසරේදී ඒ මහතාගේ රැකියාව අහිමි වී ඇති අතර ඒ අනුව ව්‍යාපාරිත කටයුත්තක් ආරම්භ කර ඇත.

ගමගේ මහතාට 1990 වසරෙහි දෙසැම්බර් 15 වැනිදාත්, 1993 වසරෙහි මාර්තු 5 වැනිදාත් අතර කාලසීමාව තුළ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වී ඇත. කෙසේ වෙතත් ඒ මහතා 1992 වසරෙහි මැයි මාසයේදී කැසට් පටයක් සහ ගීත එකතුවක් ජනගත කර ඇත. මෙයින් පෙනී යන්නේ ඒ මහතාට එම සුවිශේෂි සිදුවීම සිදු වී ඇත්තේද චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකය ගත වද්දී බවය.

ඔහුට 2003 වසරෙහි අපේ‍්‍රල් 11 වැනිදාත්, 2004 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත් අතර කාලවකවානු තුළ නැවත වතාවක් ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇත. මෙහි විශේෂත්වය වන්නේ ඒ මහතා පවසන ආකරයට 2003 වසරෙහි මැයි මාසයේදී ඉංගී‍්‍රසි පරිවර්තන සමඟ සංගත තැටි ප්‍රස්තුතය සහ පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්ම සිදුකර ඇති බවය. මෙය ඒ මහතාගේ ජීවිතය තුළ ලබන ලද විශිෂ්ට ජයග්‍රහණයක් බව නිසැකය. ඒ අනුව මෙම විශිෂ්ට ජයග්‍රහණය ඒ මහතාට ලැබී ඇත්තේද ඒ මහතා අති ප්‍රබල ජන්ම ඒරාෂ්ටක කාලයක් ගත කරද්දී බව පෙනෙන්. එසේනම් තදබල ඒරාෂ්ටක කාලවකවානුවලදී අසුබ පලම ලැබෙන්නේ යැයි පැවසීම සාවද්‍ය බව පෙනේ.

මේ සුප්‍රසිද්ධ ගීත රචකයාගේ උත්පත්ති කේන්දර සටහනට අනුව, 2005 වසරෙහි මැයි 29 වැනිදාත්, 2006 වසරෙහි නොවැම්බර් 15 වැනිදාත් අතර කාලසීමාව තුළ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වී ඇති බව පෙනේ. ඒ මහතා පවසන ආකාරයට ඔහුට 2006 වසරේදී බස්නාහිර පළාත් සභාව උපදේශක තනතුරක් ලැබී ඇත. මීට අමතර ලෙස 2006 වසර තුළ රටට වැඩදායක කටයුතු කිහිපයක්ම සිදු කිරීමට හැකි වූ බව ඒ මහතා පවසයි. ඒ අනුව ඔහුට මේ විශේෂ ජයග්‍රහණ ලැබී ඇත්තේ ඔහුගේ උත්පත්ති කේන්දර සටහනට අනුව ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගතවද්දී බව ඡ්‍යොතිෂ්‍ය පිළිබඳව ආධුනික දැනුමක් ඇති අයෙකුට වුවද පහසුවෙන් වටහා ගත හැකි වනු ඇත.

සුනිල් ආර්. ගමගේ මහතාට 2025 වසරෙහි අපේ‍්‍රල් 1වැනිදාත් 2027 වසරෙහි ජුනි 9 වැනිදාත් අතර කාලසීමාව තුළද , 2027 වසරෙහි ඔක්තෝබර් 5 වැනිදාත් 2028 වසරෙහි පෙබරවාරි 28 වැනිදාත් අතර කාලසීමාව තුළද ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වීමට නියමිත බව පෙනේ. ඉහත කාලසීමාව තුළ ඒ මහතාගේ ප්‍රසිද්ධිය තවත් ඉහළ යන ආකාරයේ සිදුවීම්වලට ඉඩකඩ පවතින බව පෙනේ. ඉහත කාලසීමාව තුළ ෙමි කීර්තිමත් ගීත රචක ගමගේ මහතාට විශාල අභියෝගවලට සහ විශාල බාධාවලට මුහුණදීමට සිදු විය හැකි වුවද එම අභියෝග සහ බාධා මධ්‍යයේ තව තවත් පෙර නොවි විරූ ගීත රචනා ඔහු අතින් බිහි වන්නටද ඉඩකඩ පවතින බව පෙනේ. එමෙන්ම ඉහත කාලසීමාව තුළ ඒ මහතා විසින් අලුත් වැඩසටහනක් නිර්මාණශීලි ලෙස ආරම්භ කරන්නට ඉඩකඩ ඇත. මෙවැනි ජයග්‍රහණ පෙන්නුම් කළද ඉහත කාලසීමාව තුළ සුනිල් ආර්. ගමගේ මහතා තම සෞඛ්‍යය පිළිබඳව සහ අනතුරු පිළිබඳව වෙනදාට වඩා අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.