හදිසි ධන ලාභ ඇත්දැයි හරියටම හඳුනා ගනිමු

සැප්තැම්බර් 6, 2024

හස්ත රේඛා පරික්ෂාවකදි වැඩි පිරිසක් අසන කාරණා අතර යම් කිසි ධන ලාභයක් හෝ ලොතැරැයි දිනුම් ඇදීමක් තමන්ට හිමිද වැනි කාරණා ප්‍රධාන වන අතර මේ සම්බන්ධ විවිධ මතයන්ද නොයෙක් විට සමාජයෙන් අපට අසන්නට ලැබේ. එනම් අයෙක් තමන්ගේ අත්ලේ ප්‍රබලව ධන රේඛාව පිහිටා ඇති මුත් ඉතාමත් දුෂ්කරව තමන් ජීවත් වන බව වැනි සහ මගේ අතේ නම් ඔය කියන ධන රේඛාවක් නැහැ. එත් මේ මම හොඳට ඉන්නේ ආදි වශයෙන් නොයෙක් අදහස් ද ඒ අතර වේ. එම නිසා අප නිවැරැදිව තමන්ට ධන ලාභයක් හිමි බව හෝ නැතිනම් හිමි ධනය අහිමි වීමක් අත්ලේ සටහන් වන්නේ කෙසේදැයි සලකා බලමු.

පළමුවෙන්ම ඉහත කාරණය සඳහා සම්බන්ධ වන ප්‍රධාන රේඛාවන් වන දෛව රේඛාව රවි රේඛාව හඳුනා ගත යුතුය. ඕනෑම පුද්ගලයකුට ලැබෙන සියලු සැප සම්පත් රැකියාවේ නැඟීම් බැසීම්, අනාගත ජීවිතය හැඩගැසෙන ආකාරය සියලු කටයුතුවල සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මෙන්ම සියලු වෙනස් වීම් ආදි සියලු කරුණු දෛව රේඛාව පෙන්නුම් කරන අතර පුද්ගලයකුට නිරායාසයෙන් ලැබෙන ධන සම්පත්, කීර්තිය, යහපත් මිත්‍රයන්, කලා කෞශල්‍යය ආදි වූ උසස් තත්ත්වයන් රවි රේඛාව මඟින් පෙන්නුම් කෙරේ. දෛව රේඛාව පුද්ගලයකුගේ අත්ලේ නෙප්චුන් මණ්ඩලයෙන් හෝ මැණික් කටු සන්ධියෙන් ආරම්භ වී සිරස්ව ඉහළට ගමන් කර ශනි මණ්ඩලයෙන් අවසන් වේ. එහෙත් මෙහි ආරම්භය සහ අවසානය පුද්ගලයන්ගේ අත්ලෙන් අත්ලට වෙනස්වේ. එමෙන්ම වෙනත් රේඛාවල ස්පර්ෂ නොවී තනිවම ආරම්භ වීම සහ ගමන් කිරීම යහපත් වන අතර දෛව රේඛාව සාමාන්‍ය ගැඹුර පළල සහ එකකාරි බවකින් පිහිටීම සාමාන්‍ය ආකාරය වේ. සමාජයේ බොහෝ පිරිසක් ධන රේඛාව වශයෙන් හඳුන්වන්නේද මේ රේඛාවයි.

රවි රේඛාව චන්ද්‍ර මණ්ඩලය හෝ මැණික් කටුව දෙසින් බොහෝ විට ආරම්භ වී රවි මණ්ඩලය දෙසට ගමන් කරන මුත් බොහෝ අත්වල රවි රේඛාව පිහිටන්නේ නැත. රවි රේඛාවක් යම් පුද්ගලයකුට පිහිටා ඇත්නම් දෛව රේඛාවේ ප්‍රබල ලක්ෂණ ඉස්මතු වී ප්‍රතිපල ගෙන දෙයි. ජීවිතය විනෝදකාමීව සහ තෘප්තිමත්ව ගෙවිය හැකි මට්ටම, තමාගේ සහජ දක්ෂතා කෞශල්‍යයන් මොනවාද, ඒවා ජීවන ගමනට ලබා දෙන සහය කොපමණද, පෙර පින් බලය හෝ වාසනාව ජීවන ගමන ආලෝකවත් කර ගැනීමට උපයෝගි වනවාද, යන කරුණු යම් අයකුගේ අත්ලේ රවි රේඛාව මඟින් තහවුරු කර ගත හැකිය.

පළමුව ධනලාභයක් යන්නට අර්ථකථනයන් අප ලබාගත යුතුය. පොදුවේ ගත් කල එය පුද්ගලයකුට ආර්ථිකමය වශයෙන් වාසි සහගත තත්ත්වයක් බව ප්‍රකාශ කළ හැකිය. එය ලොතරැයි ජයග්‍රහණයක් ආයෝජනයකින් විශාල ලාභයක් ලැබීමක් හෝ භූමියෙන් ලැබුණු මැණික් වැනි වෙනත් ආකාරයක හිමිකමක් වුවද විය හැකිය. කෙසේ වුවත් මෙහිදී පුද්ගලයා තෘප්තිමත් වන අතර එවැනි වූ හිමිකමක් ඇතිද නැතිද යන්න හස්ත රේඛා පරික්ෂාවකින් නිශ්චිතව තීරණය කළ හැකිය. මෙහිදී දෛව රේඛාව සහ රවි රේඛා පරික්ෂා කළ යුතුය. පුද්ගලයාට ධන ලාභය ලැබෙන වයස ගණනය කිරීම සඳහා අංක විද්‍යාව භාවිත කළ යුතුය.

ඔබට ඉහත ආකාරයේ වූ ධන ලාභයක හිමිකමක් ඇති නම් ඔහුගේ හුරු අත්ලේ අදාළ වයසේදි ජීවන රේඛාවෙන් අතු ශාඛාවක් බුධ මණ්ඩලයට ගමන් කර පිහිටා ඇති බව පෙනෙන්නට තිබේ. (කළු පාටින් දැක්වේ) එසේම එම වයසේ දීම දෛවය රේඛාවෙන් බුධ රේඛාවක් බුද මණ්ඩලයට ගමන් කිරීමද දෘශ්‍යමාන විය යුතු වේ. (දම්පාටින් දැක්වේ) මේ අතරම රවි රේඛාවක් ආරම්භ වී රවි මණ්ඩලයට ගමන් කරන අතර බුධ රේඛාවෙන් රවි මණ්ඩලයට රේඛාවක් ගමන් කිරීම විශේෂයෙන්ම සිදු වේ. (කොළ පැහැයෙන් දැක්වේ) මේ ලක්ෂණ 4 න් 2ක් පිහිටා ඇත්නම් ඔහුට හෝ ඇයට එම වයසේදි හදිසි ධනලාභයක් ලැබෙන බව පෙන්වන ලක්ෂණයක් වේ. එහෙත් මෙහිදී ඉතා සියුම්ව රේඛා පරික්ෂා කළ යුතු අතර බුධ රේඛාවෙන් රවි මණ්ඩලයට ගමන් කරන රේඛාව මඟින් ආරම්භයේදීම බුධ රේඛාව කැපී ඇත්නම් හදිසි ධන ලාභයක් ලැබුණත් එයින් ප්‍රයෝජනයක් ගත නොහැකි බව පෙන්වන ලක්ෂණයක් බව කිව යුතුය. තවද එම රේඛාව ශීර්ෂ රේඛාවේ හැපී නතර වන්නේ නම් ඔහු හිතා මතා ගත් තීරණයක් නිසා හිමි වු ධන ලාභය අහිමි වී යන්නට බොහෝ දුරට ඉඩ තිබේ. එම පාඩුව ජීවන රේඛාව කරදර රේඛාවකින් කැපීමෙන් පෙන්වනු ලැබේ.

එසේම ආර්ථිකමය පාඩු හෙවත් ධනහානි දෛව්‍ය රේඛාවට බලපෑම් කරන අනිකුත් රේඛාවලින් හඳුනාගත හැකිය. ඒ අනුව ගුරු මණ්ඩලේ පිහිටි තරු සලකුණකින් පැමිණෙන රේඛාවකින් දෛව රේඛාව කැපී එම කැපුම් ලක්ෂ්‍යයේ සිට ඉහලට දෛව රේඛාව දුර්වල වී පිහිටා ඇත්නම් දේශපාලන හෝ ඒ හා සමාන වූ නායකත්වයත් සඳහා අවතීර්ණ වීමට යාමෙන් හෝ අවතීර්ණ වීමෙන් වන අසාර්ථක භාවය නිසා සිදුවන ධන හානියක් හෙවත් ආර්ථිකමය පාඩුවක් බව හඳුනාගත හැකිය.

එසේම බුධ මණ්ඩලයේ දැල් සලකුණකින් පැමිණෙන රේඛාවක් මඟින් දෛව රේඛාව කැපී ඇත්නම් වංචනික ක්‍රියාවක් නිසා සිදුවුණ ආර්ථිකමය පාඩුවක් පෙන්වන අතර මෙය බොහෝදුරට වංචනික ක්‍රියාවකට මුදල් යෙදවීමක් නිසා සිදුවිය හැකිය. ජීවන රේඛාවට සමාන්තරව පහළට බසින රේඛාවකින් පැමිණෙන රේඛා කණ්ඩයකින් දෛව රේඛාව කපා දමා ඇතිනම් මිතුරෙකු නිසා තමාට සිදුවන පාඩුවක් පෙන්නුම් වේ. මිතුරකුට මුදල් දීම නැතිනම් මිතුරකු සමඟ ව්‍යාපාර ගනුදෙණු සිදුකිරිමෙන් මෙවැනි ආර්ථික පාඩු සිදුවිය හැකිය. ජීවන රේඛාවේ පිහිටි දම්වැල් සලකුණක් මඟින් පුද්ගලයකුගේ දිර්ඝ කාලීන අසනීප තත්ත්වයක් පෙන්නුම් කරන අතර එම දම්වැල් සලකුණින් නිකුත් වන රේඛා කණ්ඩයකින් දෛව්‍ය රේඛාව කපා දමා ඇත්නම් අසනීප තත්ත්වයක් හේතුවෙන් පිළියම් සඳහා මුදල් වියදම් වන බව පෙන්නුම් කරන ලක්ෂණයකි. තවද චන්ද්‍ර මණ්ඩලයේ යටම කොටසේ දැල් සලකුණකින් සිට පැමිණෙන රේඛාවකින් දෛව රේඛාව කපයි නම් වකුගඩු ගර්භාෂය හෝ ලිංග ප්‍රදේශ සම්බන්ධයෙන් ඇතිවන අසනීප තත්ත්වයකට මුදල් වියදම් වීමක් හෙවත් සිදුවන ආර්ථික පාඩුවක් ලෙස හඳුනාගත හැකිය. මේ ආකාරයට සිදුවන ආර්ථිකමය පාඩු හෙවත් ධන හානි අත්ලේ රේඛා ලක්ෂණයන්ගෙන් පෙන්නුම් කරන අතර වයස දෛව රේඛාවෙන් ලබා ගත යුතුය. මේ ආකාරයට ඔබට දෛව රේඛාව රවි රේඛාව ජීවන රේඛාව නිසි පරිදි පරීක්ෂා කර ධන ලාභයන් හිමි ද අහිමිද යන්න නිශ්චිතවම දැනගත හැකිය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.