කෙනෙඩිට - රජිව්ට ආයුෂ අඩු කළ කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලය

සැප්තැම්බර් 6, 2024

ඉහත මාතෘකාව යටතේ සුබසෙත පුවත්පතට මේ ලිපිය ලිවීමට මා හට අදහස් පහළ වූයේ තිස්ස පේ‍්‍ර්මසිරි මහතා විසින් හිටපු අමෙරිකානු ජනාධිපතිවරයකු වන ජෝන් එෆ්. කෙනඩි මහතාගේ මරණය පිළිබඳව අනාවැකි පළකළ ජීන් ඩික්සන් නමැති අමෙරිකානු පේනකාරියක් විසින් පවසන ලද අනාවැකි පිළිබඳ ලිපිය කියැවීමෙනි.

මෙහිදී අමෙරිකානු ජනාධිපති ජොන් එෆ්. කෙනඩි මහතා මෙන් කන්‍යා ලග්නයෙන් උපත ලබා ඒ හා සමාන ග්‍රහ පිහිටීම් ඇති එම වයසේදී ත්‍රස්තවාදී බෝම්බකාරියක් විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය හිටපු ඉන්දිය අගමැති රජිව් ගාන්ධි මහතාගේ කේන්දර සටහනද මේ ලිපියට අදාළ කර ගත්තේ ඡ්‍යොතිෂයට ළැදි සුබසෙත පාඨකයන්ට කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලය පිළිබඳ කරුණු වඩාත් පැහැදිලිව අවබෝධ කර දීම පිණිසය.

ඒ අනුව මෙහිදී ප්‍රථමයෙන් කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලය යනු කුමක්ද යන්න පැහැදිලි කර ගත යුතුව ඇත. කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලය යනු ලග්නයෙන් හෝ සඳුගෙන් හෝ රවිගෙන් හෝ මෙකී තිදෙනාගෙන් හෝ දෙදෙනෙකු කෙරෙහි එක් කෙනකුගෙන් කේන්ද්‍රස්ථානයක සෙනසුරු ග්‍රහයා ගෝචරය වීමෙන් පැන නඟින ඒරාෂ්ටක විශේෂයයි.

මෙහිදී සඳුගෙන් කේන්ද්‍රස්ථානයක සෙනසුරු ග්‍රහයා ගෝචරය වීමෙන් පැන නඟින කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලය ජන්මියාට තද බල අපල විපත් ඇති කරන අතර දෙවැනුවට ලග්නය කෙරෙන් ද තෙවනුවට රවි ග්‍රහයා කෙරෙන් පැන නඟින කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලයත් ජන්මියාට අපල විපත් ඇති කරන්නේ ය. මෙකී කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලවලින් ලග්නය, සඳු හෝ රවි කෙරෙහි 7 වැන්නෙහි සෙනසුරු ගෝචරය වීමෙන් පැන නගින කණ්ඨක ශනි ඒරාෂ්ඨක අපලය ජන්මියාට මාරක හෝ ඊට සමාන අපල විපත් ඇති කරන අතර දෙවැනුව එකී ලග්නය සඳු, රවි කෙරෙන් සෙනසුරු ග්‍රහයාට සිව්වැන්නේ ගෝචර වීමෙන් පැන නඟින කණ්ටක ශනි ඒරාෂ්ටක අපලය ද තෙවැනුව එකී ලග්නය සඳු, රවි කෙරෙත් 10 වැන්නෙහි සෙනසුරු ග්‍රහයා ගෝචර වීමෙන් පැන නගින කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලය ජන්මීන්ට අපල විපත් ඇති කරන්නේ ය.

ඒ අනුව මධ්‍යම වයස් කාණ්ඩයට අයත් ජන්මීන්ගෙන් එනම් වයස අවුරුදු 32 - 72 අතර කාලසීමාවේදී මියැදෙන ජන්මින්ගෙන් වයස අවුරුදු 35 - 55 අතර කාල සීමාවෙදි මියැදෙන ජන්මීන් බොහෝ දෙනකු සඳු ග්‍රහයා කේන්ද්‍ර කොට ගෙන පැන නඟින කණ්ඨක ශනි ඒරාෂ්ටක කාල සීමාව තුළ දී මියැදෙන්නේ ය. එමෙන්ම මෙකී මධ්‍ය ආයුෂයට අයත් වයස් කාණ්ඩවලදී මියැදෙන ජන්මින්ගෙන් වයස අවුරුදු 55 - 65 අතර වයස්වල මියැදෙන ජන්මීන් ජන්ම ඒරාෂ්ටක අපලයක් සමඟ ලග්නය කේන්ද්‍ර කොටගෙන පැන නඟින කණ්ඨක ශනි ඒරාෂ්ඨක අපල කාල සීමාව තුළදී මියැදෙන්නේ ය.

ඒ අනුව මෙකී කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලය මධ්‍ය ආයුෂ කාණ්ඩයට අයත් ජන්මීන්ට අපල කරන බව ඉහත විග්‍රහයෙන් පැහැදිලි වන්නේ ය. මේ පිළිබඳව වඩාත් හොඳින් කරණු අවබෝධ කර ගැනීමට ප්‍රථමයෙන් අපි අමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනෙඩිගේ කේන්දරයත් පසුව ඉන්දීය අගමැති රජිව් ගාන්ධිගේ කේන්දරයත් අධ්‍යයනය කරමු.

උපත 1917.05.29 අමෙරිකාවේ බෲක්ලින් නගරයේ සවස 3.00 ට පුවසල නැකතේ 4 වැනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් සිකුරු මහ දශාව ඉදිරියට වර්ෂ 3 යි මා 11 දින 29ක් ගෙවී තිබුණි.

රතු අක්ෂරවලින් දක්වා ඇත්තේ ඝාතනයට ලක් වූ දිනයේ පැවති තත්කාල ග්‍රහවාරයයි.

ප්‍රථමයෙන් අප ජෝන් එෆ්. කෙනෙඩි ජනාධිපතිවරයා හදිසි වෙඩි ප්‍රහාරයකින් මිය යෑමට හේතු වූ ග්‍රහ පිහිටීම් පිළිබඳවත් මධ්‍ය ආයුෂ ඇති කේන්දර හිමියකු වීමට හේතු වූ ග්‍රහ බල පිළිබඳවත් අවබෝධයක් ඉහත කන්‍යා ලග්න කේන්දරය අනුව ලබා ගත යුතු ය. ඒ අනුව ඉහත ලග්න කේන්දරයේ ලග්නාධිපති බුධ ග්‍රහයා දුෂ්ට මෙන්ම මාරක භාවයක් වන 8 වැන්නෙහි 8 අධිපති අඟහරු සමඟ යෝගව 6 අධිපති සෙනසුරු රාහු යන ග්‍රහයන්ගෙන් පීඩා වී සිටීම අවි ආයුධවලින් මරණය සිදුවන බව පෙන්වා දෙන ග්‍රහ බලයක් වන්නේ ය. මෙහිදී සඳු ග්‍රහයාට දුෂ්ට භාවයක් වන 12 වැන්නෙහි පාපකර්තරිත යෝගයකට මැදිව පීඩාවීමත් ආත්මකාරක රවි ග්‍රහයා 9 වැන්නෙහි සතුරුව සතුරු ගුරු සමඟ යෝගව පාප කර්තරික යෝගයකට මැදිව විසීම මධ්‍ය ආයුෂ ඇති කේන්දර හිමියකු බව පෙන්වා දෙන ග්‍රහ පිහිටීමක් වන්නේ ය.

ඒ අනුව ජෝන් එෆ්. කෙනෙඩි ජනාධිපතිවරයා වයස අවුරුදු 46 එනම් 1963.11.22 දින සාහසිකයකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මියැදෙන විට 22 වැනි දෙර්කාණාධිපති ගුරු ග්‍රහයාගේ මහ දශාවේ ගුරු අතුරු දශාව ගත කරමින් සිටියේය. එහිදී ගුරු මාරක භාවයක් වූ 7 වැන්නෙහි වක්‍රව ගමන් කරමින් සිටියේ ය. එවිට අප මාතෘකාව හා සබැඳි සඳු ග්‍රහයා කේන්ද්‍ර කොටගෙන පැන නැඟුණු කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලයක් ලබා තිබිණි. එවිට ජන්ම සඳුගෙන් 6 වැන්න වූ මකර රැසෙහි සෙනසුරු ග්‍රහයා ගමන් කරමින් සිටි නිසා බැලූ බැල්මට කණ්ඪක ශනි ඒරාෂ්ටක අපලයක් නොමැති බව පෙනී ගියත් පහත දැක්වෙන පරිදි ගෘහස්ඵුට උපයෝගී කර ගෙන ගණනය කළ විට,

උප්පත්ති කේන්දරයේ ජන්ම සඳුගේ ස්ඵුටය 24.08 ගෝචර ශනි ග්‍රහයාගේ ස්ඵුටය 23. 56

ඒ අනුව පහත දැක්වෙන පරිදි ජන්ම සඳු ග්‍රහයාගේ ස්ඵුටයෙන් ගෝචර ශනි ග්‍රහයාගේ ස්ඵුටය අඩු කළවිට ජන්ම සඳු රාශි 12 යි අංශක 23 යි කලා 68 යි

ගෝචර ශනි රාශි 6 යි අංශක 23 යි කලා 56 යි

අඩු කළ විට ඵලය රාශි 6 යි අංශක 00 යි කලා 12 යි.

රාශි 6 අංශක 30 = අංශක 180 යි

180+ කලා 12 = 180.12

ඒ අනුව සඳු සහ ශනි ග්‍රහයා අතර අංශක 180යි කලා 12 ප්‍රබල සම සප්තමයක් හෙවත් ප්‍රබල කණ්ඨක ශනි ඒරාෂ්ටක අපල යෙදී තිබුණු අතර, එම ඒරාෂ්ටක අපලය ජොන් එෆ්. කෙනෙඩි මහතාගේ හදිසි මරණයට හේතු වී ඇති බව ඉහත විග්‍රහ කිරීම්වලින් මනාව පැහැදිලි වන්නේය.

දැන් අප හිටපු ඉන්දීය අගමැතිවන රජිව් ගාන්ධි මහතාගේ කන්‍යා ලග්න කේන්දරය වෙත අපගේ අවධානය යොමු කරමු.

උපත 1944.08.20 ඉන්දියාවේ මුම්බායි නගරයේ දී පුවසල නැකතේ 2වැනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් සිකුරු මහ දශාව ඉදිරියට වර්ෂ 12 යි මාස 03 යි දින 02ක් ශේෂව පවතින්නේ ය.

රතු අක්ෂරවලින් දක්වා ඇත්තේ මරණය සිදු දිනයේ පිහිටි තත්කාල ග්‍රහචාර්යයි. මෙහිදී අප පළමු උදාහරණ කේන්දරයේ මෙන් ආයුෂ මධ්‍යම වීමටත් මරණය සතුරු ප්‍රහාරයකින් සිදුවීමටත් හේතු වූ ග්‍රහ පිහිටීම් කවරේද? යන්න මඳක් පැහැදිලි කර ගත යුතු ය. ඒ අනුව ලග්නයේ 8 අධිපති අඟහරු සතුරුව පතිතව සිටීමත් ලග්නාධිපති බුධ දුෂ්ට භාවයක් වන 12 වැන්නෙහි පතිතව මාරක ස්ථානාධිපති ගුරු සමඟ යෝගව කුජ, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් පාප කර්තරික යෝගයකට මැදිව සිටීම සතුරකු විසින් එල්ල කරන ලද අවි ප්‍රහාරයකින් ප්‍රහාරයකින් මරණය සිදුවන බව පෙන්වා දෙන ග්‍රහ පිහිටීමකි. ලග්නාධිපති බුධ, ආත්මකාරක රවි, චිත්ත කාරක සඳු දුෂ්ට භාවයක් වන 12 වැන්නෙහි පතිතව ඉහත විග්‍රහ කළ පරිදි පාප කර්තරික යෝගයකට මැදිව සිටීමත් සියලුම කාරක ග්‍රහයන් රාශි දෙකක යෙදීමෙන් පැන නැඟුණ යුග යෝගය ජන්මියාගේ ආයුෂ මධ්‍යම බව පෙන්වා දෙන ග්‍රහ පිහිටීමක් වන්නේ ය.

දැන් අපි අපගේ මාතෘකාවට අනුව රජිව් ගාන්ධි මහතාගේ මරණයට හේතු වූ සඳු ග්‍රහයා මුල්කොට ගෙන යෙදුණු කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලය පිළිබඳව කරුණු විමසා බලමු. ඒ අනුව වයස අවුරුදු 47 දී එනම් 1991 මැයි මස 21 වැනි දින හිටපු ඉන්දිය අගමැති රජිව් ගාන්ධි මහතා ත්‍රස්තවාදී බෝම්බකාරියක විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් මියැදෙන විට ඉහත විග්‍රහ කළ අමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනෙඩි මහතාගේ කන්‍යා ලග්න කේන්දරයේ මෙන් ලග්න කේන්දරය දෙස බැලූ බැල්මට නොපෙනෙන නමුත් මේ ස්ඵුටය ගණනය කළ විට විද්‍යමාන පහත දැක්වෙන පරිදි ජන්ම සඳු සහ ගෝචර ශනි අතර යෙදුණු ප්‍රබල සම සප්තමයක් හෙවත් ප්‍රබල කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලයක් දැකිය හැකිය.

ජන්ම සඳුගේ ස්ඵුටය රාශි 12 අංශක 18 යි. කලා 30

ගෝචර ශනිගේ ස්ඵුටය රාශි 06 අංශක 13 කලා 00

සඳුගෙන් ස්ඵුටයෙන් ශනිගේ ස්ඵුඨය අඩුකළ විට රාශි 06 යි අංශක 05 කලා 30

රාශි 6.30 න් ගුණ කළ විට 6 ය30= 180

එකතු කළා අංශක 5 යි කලා 30

180+05.30 = 185.30

ඒ අනුව එතැනදී ජන්ම සඳු සහ ගෝචර ශනි අතර අංශක 185 කලා 30ක ප්‍රබල සමසප්තමයක් හෙවත් ප්‍රබල කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලයකි. ඒ අනුව රජිව් ගාන්ධි මහතා සාහසිකයකු අතින් ඝාතය වන විට ත්‍රස්තවාදීන් නිවේදනය කෙරෙන රාහු ග්‍රහයාට අයත් මහ දශාවේ කණ්ඨක ශනි ඒරාෂ්ටකය අපලයට සම්බන්ධ සඳුගේ අතුරු දශාව ලබා තිබුණු අතර, ඒ අනුව අතුරු දශාව සඳු සම්බන්ධ වීමෙන්, ඒ මහතාගේ මරණයට කණ්ඨක ශනි ඒරාෂ්ඨක අපලය බෙහෙවින්ම දායක වී ඇති බව ඉතා පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.