මිථුන ලග්න හිමි ඔබටත් මේ වගේ විය හැකියි

අගෝස්තු 30, 2024

 

තාරකා දිහා බලා අනාවැකි පැවසීම චිරාත් කාලයක් සිට පැවත එන්නක්. මෙසේ අනාවැකි පළ කරන පෙරදිග අපරදිග අනාවැකිකරුවන් ගැන අප අසා තිබෙනවා. පුද්ගලයන්ගේ දේහ ලක්ෂණ පිහිටන්නේ ද තාරකාවල සංයෝගයට අනුවයි.

එදා සිදුහත් කුමරු ගැන අනාවැකි පළ කළ බොහෝ බමුණන් පැවසුවේ ගිහි ගෙයි සිටියොත් සක්විති රජ වන බවත්, පැවිදි වුවහොත් බුදු වන බවත්ය. එහිදි කොණ්ඩඤ්ඤ නම් ළා බාලම බමුණා කියා සිටියේ, සිදුහත් කුමරු ඒකාන්තයෙන්ම බුද්ධත්වය ලබන බවයි. එයින් පවා තාරකා ශාස්ත්‍රයට කෙතරම් දිගු අතීතයක් හිමි ද යන්න පෙනේ.

ඕනෑම ජන්මියකුගේ හැඩරුව, ගතිගුණ, චරිතය, දක්ෂතා, දුබලතා යනාදිය තීරණය කිරීමට තමන් උපන් ලග්නය බලපාන බව අපි කවුරුත් දන්නෙමු. රාශි චක්‍රයේ තෙවැනි රාශිය මිථුනයි. කරුණාභරිත හදවතක් ඇති මිථුන ලග්න හිමියන් හොඳීන් වැඩුණු ශරීරයකට හිමිකම් කියන්නෝය. බුධ ග්‍රහයා අධිපතිව සිටින නිසා ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති පුද්ගලයෝ වෙති. නිදහස් මතධාරීන් වන මොවුන් සිතා මතා කිසියම් සැලැස්මකට අනුව කටයුතු කරනු දැකිය හැකිය. ඔවුන් නිරන්තර තැත් කරන්නේ විශාල ව්‍යාපෘති ඇරඹීමටයි. උපක්‍රමශීලීභාවය නිසාම මිථුන ලග්න හිමියන්ට රංගන, දේශපාලන ක්ෂේත්‍රයන් සුබ පල දෙයි.

එසේම පර්යෙයේෂකයන් පවසන්නේ ලොව පතළ නළු නිළියන් බිහිවීමට මිථුන ලග්නය ප්‍රමුඛ වන බවයි. මැයි 21 සිට ජූනි 20 දක්වා දිවෙන මිථුන රාශියෙන් සිනමා තරු රැසක් බිහි වී ඇත. සිංහල රිදී තිරයේ අමරණීය පෙම් යුවල විජය මාලිනී දෙපළයි. තරුණ තරුණියන් වසඟ කළ මේ දෙදෙනාගේම ලග්නය මිථුන බව ඔබ දැන සිටියාද? මිථුන ලග්න හිමි විජය කුමාරතුංග 1988 මිය යන විට ලාංකීය සිනමාවේ මෙන්ම දේශපාලනයේත් නොමැකෙන නාමයක් සටහන් කළ සිනමා තරුවක්.

1945 ඔක්තෝම්බර් මස 9 වැනිදා ජන්මය ලබන විජය කුමාරතුංගයන්ගේ මානව දයාවෙන් පිරී, නිහතමානී අහිංසාවාදී ලක්ෂණවලට හේතුව මිථුන ලග්න හිමියෙකු සතු වන කාරුණික හදවතක් ඔහුට උපතින්ම හිමි වීම බවයි පෙනෙන්නේ.

අඛණ්ඩව පස්වතාවක්ම ජනප්‍රිය නළුවා කිරුළ හිමිකරගත් ඔහු, කෙටි කලකින් වාණිජ සිනමාවේ සිහින කුමාරයා බවට පත්වන්නට මිථුන ලග්නය බලපෑ බව නොඅනුමානයි. රංගනය, ගායනය මෙන්ම ඔහුගේ සාර්ථක දේශපාලන ගමනට ද මිථුන ලග්නය ඉවහල් වූ බවයි සඳහන් වෙන්නේ.

හෙළ සිනමාවේ නිළි රැජන වන මාලනී ‍ෆොන්සේකාගේ ජනප්‍රියත්වයට මිථුන ලග්නයෙන් ඉපදීමේ භාග්‍යය හේතුවක් බවයි පැවසෙන්නේ.

ඡ්‍යොතිෂවේදී උදම් පෙරේරා මහතා පවසන්නේ, ඇයගේ කේන්දරයේ කලා හැකියාවන් ඔප්නැන්වෙන ග්‍රහයෝග රැසක් ඇති බවයි. දශක කිහිපයක් පුරා දිවෙන ඇගේ සිනමා රංගන දිවිය ඇරඹෙන්නේ ක්‍රි.ව. 1968 සිනමාවේදී තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි. ඇය දක්ෂ නිළියක මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරියක්ද වේ.

හොලිවුඩ්, බොලිවුඩ් සිනමා තරු ද මිථුන රාශියෙන් ජන්මය ලබා තිබෙනවා. අප කවුරුත් දන්නා අමෙරිකානු නිළියක, චිත්‍රපට නිෂ්පාදකවරියක වන ඇන්ජලීනා ජොලී ක්‍රි.ව.1974 ජුනි මස 4 වැනිදා උපත ලබන්නෙත් මිථුන රාශියෙනි.

ඇය හොලිවුඩයේ බොහෝ සම්මානයන්ට පාත්‍ර වූ ඉහළම වැටුප් ලබන නිළියක්. ලොව ආකර්ෂණීයම කාන්තාවක් වන ඇන්ජලීනා ජොලීගේ රංගන දිවියේ සාර්ථකත්වයට මිථුන ලග්නය ඉවහල් වූ චිත්‍රපට තුළින් ඇගේ ප්‍රතිභාපූර්ණ රංගනය දැකිය හැකිය.

ජීවිතයේ බොහෝ වෙනස්කම්වලට හිමිකම් කියන්නට වන මිථුන ලග්න හිමිකරුවන් පිළිබඳ හොඳම නිදසුනක් ඇන්ජලීනා ජොලී.

බොලිවුඩයේ බොහෝ දෙනා ආදරය කරන, ආකර්ෂණීය නිළියක් සොනක්ෂි සිංහා කියන්නේත්. 1987 ජූනි 2 වැනිදා මිථුන ලග්නයෙන් ජන්මය ලබන ඇය හිටපු නළුවෙකු දේශපාලනඥයකු වූ ශතෘඝන් සිංහාගේ ආදරණීය දියණියයි. ක්‍රි.ව. 2010 දී ක්‍රියාදාම චිත්‍රපටයක් වන ඩබාන්ග් හි රංගනයට පිවිසි ඇය හොඳම කාන්තා නවක රංගනය සඳහා වන ෆිල්ම් ෆෙයාර් සම්මානය ලබා ගත්තා. ජෝකර්, හොලිඩේ, නූර්, වෙල්කම් ටු නිව්යෝර්ක් ඇගේ සිනමාපට වෙනවා. කෙසේ වෙතත් ඇගේ රංගන ජීවිතයේ සාර්ථකත්වයට මිථුන ලග්නය බලපාන බව අනාවැකිකරුවන් පවසනවා.

ඉන්දියානු නිළියක, විලාසිතා ශිල්පිනියක වන සෝනම් කපූර්ද රංගනය මෙන්ම ආකර්ෂණීය විලාසිතාද කරන්නියක්. 1985 ජූනි 5 වැනිදා මහාරාෂ්ඨ ප්‍රාන්තයේ මුම්බාහිදී ඇය උපත ලබන්නේද මිථුන ලග්නයෙන්. කාර්යය කිහිපයකට අනුවර්තනය වීමේ මිථුන ජන්මියකු සතු ගුණාංග විදහාපාන ඇය ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයේ සුවිශේෂි ස්ථානයක් හිමිකරගෙන තියෙනවා.

නිරන්තරයෙන්ම කතාබහට ලක්වන දේශපාලන ක්ෂේත්‍රය තුළ මහ මොළකරුවන් බිහිකරන්නටත් මිථුන රාශිය බලපානවා. දෙස් විදෙස් පතළ දේශපාලනඥයන්ගේ ජීවිතයේ බොහෝ පැතිකඩ සාර්ථක කරන්නට මිථුනයට හැකිවී තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ 45වැනි ජනාධිපතිවරයායි.(2017 -2021). ඔහු දේශපාලනඥයකු, මාධ්‍යකරුවකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වනවා. ඡ්‍යොතිෂවේදීන් පවසන ආකාරයට මිථුන ලග්නය ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිධුරය දක්වා ගමන් කිරීමට හේතු වුණා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී.එස්.සේනානායක මහතා ද මිථුන ලග්න හිමියෙකි. එතුමා උපත ලැබුවේ 1884 ඔක්තෝබර් මස 20 වැනිදා. නිදහස් සටනෙහි පුරෝගාමියකු වන මිථුන ලග්න හිමි ඩී.එස් සේනානායක මැතිතුමාද කරුණාවන්ත පුද්ගලයෙකි. එහෙත් අනුන්ට යටත් වීමට කැමති නැත. සිංහයෙකු මෙන් ශ්‍රී ලංකා දේශපාලනයේ නව පිටුවක් පෙරලූ ඩී.එස්.සේනානායක මහතාද මිථුන ලග්නයේ අනම්‍ය ගුණය පෙන්වන කදිම නිදසුනකි. එතුමා ආරම්භ කළ ගොවි ජනපද ව්‍යාපාරය නිදහස් ශ්‍රී ලංකාවේ පළමු විශාලතම ව්‍යාපාරය විය.

ඔබත් මිථුන ලග්න හිමියෙක් නම් තමා යා යුතු මාර්ගය, සිටිය යුතු තැනට ගොඩ වීමට කිසි විට පසුබට නොවන්න‍. ඔබට ද මෙවැනි සුවිශේෂී පුද්ගලයකු වීමේ ලග්න හිමිකම දෛවය විසින් සලසා දී ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.