කේන්දරයෙන් පෙන්වන විවාහ දෝෂ

සැප්තැම්බර් 6, 2024

 

විවාහයක් සඳහා කේන්දර සටහන් ගැළපීමේදී විසි පොරොන්දම්වලට අමතරව දෙදෙනාගේ කේන්ද්‍ර සටහන් දෙකෙහි ගැළපීම් ගැන ද බැලිය යුතුය.

බොහෝ කේන්ද්‍රවල විවිධ විවාහ දෝෂ පවතිනු ඇත. ඒ සැම විවාහ දෝෂයකටම දෝෂ භංගවන යෙදීම් ද වේ. විවාහ දෝෂ අතර විශේෂයෙන් පරික්ෂා කර බැලිය යුතු දෝෂ රාශියකි. ශනි මංගල දෝෂය, චන්ද්‍ර මංගල දෝෂය, විෂ කන්‍යා දෝෂය, කඩහන්දි දෝෂ, ස්ත්‍රී පුරුෂ මර යෝග, කේමදාම (කේමද්‍රම) වැනි දිළිඳු දෝෂ හත්වැන්න හා අටවැන්න පරිවර්තන දෝෂය, විවාහකාරක ග්‍රහයා හා හත අධිපති, අෂ්ටම රාශිගත වීමේ දෝෂය සිකුරු 7 වැන්නේ පාපකර්තරී වීමේ දෝෂය, වඳ දෝෂ, තුන්කුලුඳුල් දෝෂය, ශනි රාහු දෝෂය, බහුවිවාහ දෝෂය, අතිධාවන කාම යෝග, නාශාංශක දෝෂ, වෛධව්‍ය දෝෂය, 22 වැනි දෙර්කාණාධිපතිගෙන් යෙදෙන දෝෂ වැනි දෝෂ තත්ත්වයන් බොහොමයක් ගැන විවාහ පොරොන්දම් ගැළපීමේදී බැලිය යුතුය.

මේ දෝෂ තත්ත්වයන් කේන්දරයේ යෙදූ පමණින්ම බියවිය යුතු නැති අතර අප මේ දෝෂ හරිහැටි හඳුනාගෙන කේන්ද්‍ර සටහන් ගළපා විවාහයට ඇතුළුවීමෙන් අනාගතයේදී විය හැකි කරදර බාධා අවම කරගත හැකියි.

කුජ දෝෂය

භෞම දෝෂය, යනුවෙන්ද මෙය හඳුන්වනු ලබයි. විවාහයට පත් වන යුවළක් විශේෂයෙන් බැලිය යුතු දෝෂයකි. කේන්ද්‍රයක 01,02,04,07,08,12 යන ස්ථානයක කුජ ග්‍රහයා සිටීමෙන් මේ දෝෂය යෙදේ. සඳුගෙන් 01,02, 04,07, 08, 12 යන ස්ථානයක හෝ සිකුරුගෙන් 01, 02, 04, 07, 08, 12 යන ස්ථානයක කුජ ග්‍රහයා තැන්පත් වීමෙන්ද මේ දෝෂය යෙදෙනු ඇත. කේන්ද්‍ර දෙකේම මේ දෝෂ ඇත්නම් කුජ දෝෂය බිඳෙනු ඇත. නැතිනම් කුජ ග්‍රහයාට ගුරුගේ දෘෂ්ටියට ලක්වීමෙන්ද ගුරු සමඟ කුජ ග්‍රහයා සංයෝග වීමෙන්ද දෝෂ භංගවනු ඇත.

එසේම එක් කේන්ද්‍රයක කුජ සිටින රාශියේ අනෙක් කේන්ද්‍රයේ රාහු ග්‍රහයා ඇත්නම් කුජ දෝෂය භංගවනු ඇත. ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම එකම රාශියක කුජ සිටීමෙන්ද මේ දෝෂය භංග වේ.

තවද කුජ ග්‍රහයා 1,2,4,7,8,12 වී සිංහ, මේෂ, වෘශ්චික, මකර, කුම්භ, කටක යන රාශියක ඇත්නම් කුජ දෝෂය භංග වනු ඇත.

ශනි මංගල දෝෂය

කුජ හා ශනි යන ග්‍රහයන් දෙදෙනා එකම රාශියක සිටීම හෝ දෘෂ්ටියට ලක් වීමෙන් ශනි මංගල යෝගය යෙදෙනු ඇත.

කේන්ද්‍ර දෙකෙහිම කොතැනක හෝ මේ යෝගය යෙදුණහොත් එම දෝෂය බිඳේ. නැතිනම් කුජ ග්‍රහයාට 04 - 07 - 08 වැන්නේත් සෙනසුරු (ශනි) ග්‍රහයාගේ දෘෂ්ටියට ලක්වීමෙන් දෝෂය භංග වේ. සෙනසුරු ග්‍රහයාට 03,07,10 වැන්නෙන් කුජ ග්‍රහයා පෙනීම නිසාද දෝෂය භංග වනු ඇත.

චන්ද්‍ර මංගල දෝෂය

සඳු කුජ දෙදෙනාගේ යෝගවීම චන්ද්‍ර මංගල දෝෂය ලෙස හඳුන්වයි. මෙයද විවාහයට අශුභවන අතර විකෘති කාම ආශා ඇතිකර වීමට පුළුවන. මෙහි දෝෂය බිඳීමට නම් එම දෝෂය ඇති කේන්ද්‍රයක්ම සොයාගත යුතුයි.

හත අධිපති හා අට අධිපති පරිවර්තන දෝෂය

මෙය යෙදෙන අවස්ථාවන් කීපයක්ම ඇති අතර කේන්ද්‍රස්ථානයක්, කේන්ද්‍රස්ථානයක් අතරත් කේන්ද්‍රස්ථානයක්, ත්‍රිකෝනස්ථානයක් අතරත් ග්‍රහයන් රාශි පරිවර්තනය කරගෙන සිටීම හෝ පරිවර්තන යෝගවලට වැටෙනු ඇත. දුෂ්ට රාශි දෙකක් අතර ඇති පරිවර්තනය බල රහිත වේ.

සත්වැන්න විවාහස්ථානය බැවින් විවාහ වැඩි කිරීමටත් අටවැන්න රෝග වීමටත් හේතු වේ. ඒ දෙකම යහපත් පිහිටීමක් නොවේ. එහෙත් 7, 8 පරිවර්තනය වීම නිසා යුග දිවියට අශුභ බලපෑමක් ඇති කරයි. එබඳු පරිවර්තන යෝගයක් වෙතොත් එබඳුම ග්‍රහ පිහිටීම් ඇති කේන්ද්‍ර හිමියකු සමඟ විවාහ විය යුතුය.

අට අධිපති 7 වැන්නේ සිටීමද මෙවැන් පිහිටීමක් නිසා බොහෝවිට විවාහයට පෙර ලිංගික අත්දැකීම් ලැබූ ද අයෙකු වනු ඇත. එය අකමැත්තෙන් බලහත්කාරකමකින් හෝ වෙනයම් බලපෑමක් හේතු කර ගෙන සිදුවීමට ඉඩ ඇත. නැතිනම් සමීප ඇසුරක් නිසා විය හැකිය.

හත අධිපති අටේ සිටීම

හත්වැන්න විවාහස්ථානය වන අතර අටවැන්න යමෙක් නැති කරන දුර්වල කරන ස්ථානයයි. මෙම දෝෂය අටවැන්නට වැටී ඇතොත් අතර මගදී විවාහය අවුල්කර ගනියි.

කේමදාම (කේමද්‍රම) යෝගය

යම් කේන්ද්‍රයක සඳු දෙපස ග්‍රහයන් නොමැතිනම් එය දිළිඳු බව ඇතිවීමට බලපානු ලබයි. සඳුට ගුරුගේ දෘෂ්ටියක් වැටුණ හොත් එම දෝෂය භංග වනු ඇත.

ස්ත්‍රී මර යෝග

පුරුෂ කේන්ද්‍රයේ ලග්නයෙන් දෙවැන්නේ සඳුගෙන් 7 වැන්න හෝ 08 වැන්නෙහි රාහු ශනි, කුජ හෝ රවි සිටීම, හත්වැන්නේ ඇති කුජට සෙනසුරුගේ දෘෂ්ටිය වැටීම, පුරුෂ කේන්ද්‍රයේ 6,8,1 හෝ ලග්නාධිපති දුර්වලව සිටීම, පුරුෂ කේන්ද්‍රයේ 6,7,8 රාහු, කුජ හා ශනි යෝගවීම, පුරුෂ කේන්ද්‍රයේ 7 වැන්නේ සඳු ශනි යෝගවීම හා හත්වැන්නේ සිටින ශනිට ලග්නයේ සිටින රවිගේ දෘෂ්ටිය ලැබීම ස්ත්‍රි මර යෝග වනු ඇත.

පුරුෂ මර යෝග

ස්ත්‍රි කේන්ද්‍රයේ ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් 7 - 8 යන රාශි දෙකෙහි රවි – රාහු, කුජ යන ග්‍රහයකු වෙතොත් පුරුෂ මර යෝගය යෙදේ. ස්ථාන දෙකේම යෙදීමත් එසේම වේ. ලග්නය හා හත යන ස්ථාන දෙකේ ස්ත්‍රි කේන්ද්‍රයේ පාපයන් සිටීමද එසේම වේ. ස්ත්‍රි කේන්ද්‍රයේ 6, 8, 12 යන රාශියක සඳු සිටීමත් සඳු හා යෝගව ලග්න කේන්ද්‍රයේ අටවැන්නේ සිටීමත් පුරුෂ මරයෝග වනු ඇත. විවාහයට බලපාන මෙවැනි යෝග තවත් රාශියක් ඇත.

ඔබේ විවාහ ගැටලුව හෝ කේන්දරයේ කිසියම් දෝෂ තත්ත්වයක් පවතින බව පැවසේ නම් ඔබගේ ගැටලුව පහත කූපනය පුරවා අප වෙත ලියා එවන්න. ප්‍රතිකර්ම මඟින් දෝෂ දුරු කර යහපත් විවාහයක් ළඟා කරගත හැකිය.ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.