දුර ගමනක් යා හැකි කටක ලග්න හිමියෝ

සැප්තැම්බර් 6, 2024

ආදි මානවයාගේ සිටම ඉර, හඳ සහ තරු රටා පිළිබඳ විවිධ වූ නිර්ණායක ඔස්සේ අතීතය, වර්තමානය මෙන්ම අනාගතය පිළිබඳ අනාවැකි ඉදිරිපත් කරනවා. මිනිසුන්ගේ විශ්වාසයන්ට අනුව ජීවිතයේ බොහෝ කඩඉම් පසු කරන්නට තමන්ගේ ජන්ම පත්‍රයේ බලය බලපානවා. එවන් බලයක් සහිත ජන්ම පත්‍රයන්ට අනුව ඔබ අයත් වන්නේ කටක ලග්නයට නම් ඔබටත් යා හැකි දුර පිළිබඳවයි අද ‘තරු ගැන කියන තරු’ තුළින් කතා කරන්නේ.

කටක ලග්නය ගැන කතා කරද්දි මේ ලොව බිහි වූ විශිෂ්ටම දාර්ශනික චරිතය පිළිබඳ සඳහන් නොකර බැහැ. ඒ තමයි සිද්ධාර්ථ ගෞතම බෝ සතාණන්. උන්වහන්සේගේ චරිත ලක්ෂණ හා සැසඳීමේදී ගිහි පුද්ගලයන් ඊට සමාන කළ නොහැකි වුවත්, සිදුහත් චරිතයේ එන යම් යම් ගුණාංගවල ලක්ෂණ යම් පමණකින් හෝ කටක ලග්න හිමියන්ට පවතින බව ඔබට සමීප අය ඇසුරින් අධ්‍යයනය කරන්නන පුළුවන්.

ජුනි 21 සිට ජූලි 22 දක්වා සූර්යයාගේ ගමන සිදුවන කටකය ජල රාශියක්. මේ අය උසස් සිතිවිලි ඇති තීක්ෂණ චින්තකයන් වනවා. තමන්ගේ යහපත් ගතිය නිසාම අනුන්ගේ බස් විශ්වාස කර ඊට අවනත වනවා. තම අඹුදරු ආදීන්ට තිබෙන තද ඇල්ම නිසා නිවැසියන්ට හිතැති මොවුන් නිර්භීතයි. ඒ වගේම අනුන්ගේ විපතේදී කම්පා වන අතර සියල්ලන් සමඟ සතුටින් සිටීමට ප්‍රියතාවයක් දක්වනවා. මේ ගති ගුණ ඔබටත් ඇති. ඒ වගේම දෙස් විදෙස් ප්‍රසිද්ධියට පත් කටක ලග්නයෙන් උපන් අය ගැන ඔබත් දැනගන්න කැමති වනවා සේම ඔබටත් ඒ අය මෙන් ලෝක ප්‍රකට වීමේ වාසනාව පවතින්නත් පුළුවන්. ඒ නිසා මේ අය පිළිබඳ කියවා ඔබත් ඔබේ අනාගතය සැලසුම් කරගන්න.

මෙරට මෙන්ම පිටරට දේශපාලන, කලා ආදි කේෂ්ත්‍රයන් ජයගත් ප්‍රකට චරිත කටක ලග්නයෙන් උපත ලබා තිබෙනවා. දේශපාලන ඉතිහාසයේ නොමැකෙන සලකුණක් සටහන් කළ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මෙරට ඉතිහාසගත වන චරිතයක්. ඇය 1945 ජූලි මස 29 වැනි දින උපන්නේ කටක ලග්නයෙන්. 1994 නොවැම්බර් මස 12වැනිදා සිට ශ්‍රී ලංකාවේ සිව්වැනි මෙන්ම ප්‍රථම කාන්තා විධායක ජනාධිපධුරයට පත් වූ අතර මෙරට විශිෂ්ට අගමැති යුවලක් වනඑස්. ඩබ්. ආර්.ඩී. බණ්ඩාරණායක මහතාගේ සහ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිගේ කනිටු දියණිය මෙන්ම ජනප්‍රිය සිනමා නළු විජය කුමාරතුංගයන්ගේ බිරියයි. දේශපාලන දිවියේ සාර්ථකත්වය සොයා යාමට ඇය ජන්මය ලැබූ කටක ලග්නය ඉවහල් වූ බව පැවසෙනවා.

සිංහල රිදී තීරයේ ලස්සන කෙල්ල ලෙස හඳුන්වන ගීතා කුමාරසිංහ ඉපදෙන්නේ 1955 ජූලි5 වැනිදා කටක ලග්නයෙන්. එම ලග්නයට ආවේණික ගති පැවතුම්වලට නෑකම් කියන ගීතා සිංහල සිනමාවට පිවිසෙන්නේ, ලස්සන කෙල්ල නම් සිංහල චිත්‍රපටයෙන්.එදා සිට චිත්‍රපට ගණනාවක හොඳම නිළිය, ජනප්‍රිය නිළිය ආදී වශයෙන් සම්මාන රාශියකට හිමිකම් කියූ ඇය දේශපාලන ක්ෂේත්‍රයේද දිගු ගමනක් යමින් සිටිනවා. රංගන ශිල්පිනියක ලෙස කරුමක්කාරයෝ , පාලම යට, ලොකුදුව, රාජ්‍ය සේවය පිණිසයි වැනි සම්භාව්‍ය චිත්‍රපටවලද වාසනා, ජය සිකුරුයි, ඔබටයි ප්‍රියේ ආදරේ වැනි ජනප්‍රිය සිනමාවේ ද සමානව දස්කම් දැක්වූ රංගන ශිල්පිනියක්. ජීවිතයේ මෙසේ විවිධ කඩඉම් පසු කරන්නට ඇයට කටක ලග්නයේ ලක්ෂණ බලපෑ බව රහසක් නොවෙයි.

වේදිකා නාට්‍යයෙන් රංගන දිවියට පය තැබූ ප්‍රවීණ රංගන ශිල්පිනී හෂිනිකා කරල්ලියද්ද උපන්නේද කටක ලග්නයෙන්. වේදිකාවෙන් පුංචි තිරයට ද, සිනමාවේද සොඳුරු තැන් ස්පර්ශ කරන ඇය රූපවාහිනි හඬකැවීම් ශිල්පිනියක ලෙසද ජනාදරයට පත්වනවා. ඡ්‍යොතිෂවේදීන් පවසන්නේ ඇය උත්පත්තිය ලබන්නේ ජන්ම එරාෂ්ටකයකින් බවයි. ඇය දිනක තමා තෝරාගත් මඟ ඉහළටම යන බව ජන්ම පත්‍ර පරික්ෂා කිරීමකදී පවසා තිබෙනවා. වේදිකා රංගනයට පිවිස ඉතා කෙටි කලකින්ම රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළියට හිමි ජනාධිපති සම්මාන, යොවුන් නාට්‍ය හොඳම නිළිය ආදි සම්මාන කිහිප වතාවක්ම හිමිකරගත් ඇය වේදිකාවෙන් ස්වර්ණමාලි, අරුන්දතී, කබල් ජෝඩුවක් නාට්‍යද, පුංචි තිරයෙන් සත්පුරවැසියෝ, නාඩගංකාරයෝ, සීයූ, සර්කස්කාරයෝ වැනි ටෙලි නිර්මාණ රාශියකටද දායකත්වය දක්වනවා. ඇයගේ ගමන් මඟේ සාර්ථකත්වයට හේතුව කටක ලග්නයෙන් දෙන දායකත්වය බව ඇය විශ්වාස කරනවා.

ඉන්දීය බොලිවුඩ් සිනමාව බොහෝ අවස්ථාවලදී සුන්දර වී ඇත්තේ, නළු නිළියන් තුළ පවතන්නා රංගන කෞශල්‍යය නිසායි. බොලිවුඩයේ ජනප්‍රිය සිනමා තරු රැසක් කටක ලග්නයෙන් ජන්මය ලබා තිබෙනවා. ඒ අතර කරිෂ්මා කපුර්, රන්වීර් සිං, ප්‍රියංකා චොප්රා ද වෙනවා.

90 දශකයේ සිනමාවටපා තබා බොලිවුඩය බැබළවූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි කරිෂ්මා කපූර් කියන්නේ. 1991 වසරේ ප්‍රේම් කයිඩ් චිත්‍රපටය සමඟින් රංගනයට පිවිසි ඇය ජාතික චිත්‍රපට සම්මාන, ෆිල්ම් ෆේයාර් ඇතුළු ඇගැයීම් කිහිපයකටම හිමිකම් කියනවා.පොලිස් ඔෆිසර්, සප්නේ සාජන් කේ, අනාරි, රාජා බාබූ වැනි චිත්‍රපටවල රංගනයෙන් කරිෂ්මා කපූර් ප්‍රසිද්ධියට පත්වුණා. ඇගේ රංගන ජීවිතයේ සාර්ථකත්වයට පත්වීමට කටක ලග්නයේ බලපෑ බව ඡ්‍යොතිෂවේදීන් පවසනවා.

දක්ෂ කඩවසම් ඉන්දීය නළු රන්වීර් සිංද 1985 ජූලි 5 වැනිදා කටක ලග්නයෙන් ජන්මය ලැබූවෙක්. එම ලග්න හිමියෙකුට ආවේණික උසස් සිතිවිලි සහ තීක්ෂණ ඥානයෙන් යුක්ත වූ මොහු කුඩා අවධියේ සිටම රංගන කටයුතුවලට ආශා කළා. තරුණියන්ගේ ආකර්ෂණයට ලක්වන රන්වීර් සිංගේ සිනමාපට අතර පද්මාවත්, ලූටෙරා, ගුන්ඩේ යනාදි චිත්‍රපට වනවා. මොහු බොලිවුඩයේ තාරකාවියකවූ දීපිකා පදුකෝන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයායි.රන්වීර්ගේ පෞද්ගලික මෙන්ම වෘත්තීය ජීවිතයේ පියවර සාර්ථක කර ගන්නට කටක ලග්නය ඔහුටද උපකාරී වී තිබෙනවා.

රාශි චක්‍රයේ කටක ලග්නය බොලිවුඩ් තරුවල සාර්ථකත්වයට හේතු වූ බවට කදිම නිදසුනක් ප්‍රියංකා චොප්රා කියන්නෙත්. බොලිවුඩයෙන් ලෝක‍ය ජයගත් මේ සුරූපිනිය උපත ලබන්නේ 1982 වසරේ ජූලි 8 වැනිදා. 2000 වර්ෂයේදී ලෝක රූ රැජිණ කිරුළ ඉන්දියාවට රැගෙන ආ ඇගේ බොලිවුඩ් සිනමා ආගමනය සිදුවන්නේ තමිෂාන් චිත්‍රපටයෙන්. පසුව ද හීරෝ, අග්නිපත්, තේරි මේරි කහානි, බ්ලැක්මේල් ආදී චිත්‍රපට ගණනක රංගන කටයුතු කළ ඇය මේ වන විට බොලිවුඩය ආක්‍රමණය කර අවසන්. බොලිවුඩය සහ හොලිවුඩය ජයගනිමින් සාර්ථක කාන්තාවක ලෙස ජීවිතය ගත්ප්‍රියංකා චොප්රාට තීරණ ගැනීමට, පසුබට නොවන්නට, ප්‍රශ්නවලට බියේ පලා නොයාමට කටක ලග්නය ඉවහල් වූ බවරහසක් නොවේ.

මිනිසුන් වඩාත් ප්‍රිය කරන්නා වූ තවත් අංශයක් තමයි ක්‍රීඩාව. මනසට සැහැල්ලුවක් මෙන්ම රටට ජයග්‍රහණයක් ගෙන දෙන ක්‍රීඩකයන් බිහි කරන්නටත් කටක ලග්නය හේතු වෙලා තියෙනවා. කටක ලග්න හිමි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිංදෝනිට දකුණත් පිතිකරුවකු, කඩුලු රකින්නෙකු ලෙස ක්‍රීඩා ලෝලීන් බොහෝ සේ ආදරේ කරනවා. 1981 ජූලි 07 වැනි දින ජන්මය ලබන ඔහුගේ සාමාන්‍ය ශරීර ස්වභාවය කටක ලග්න හිමියකුගේ චරිතය මොනවට පැහැදිලි කරනවා. අනාවැකිකරුවන් පවසන්නේ, ඔහුගේ ජන්ම පත්‍රයෙන් අවංක, කරුණාවන්ත පුද්ගලයෙකු පෙන්නුම් කරන බවයි. කටක ලග්න හිමියෙකු ලෙස උත්පත්තිය ලැබීමට භාග්‍යවන්ත වූ ඔහු තම වෘත්තීය ජීවිතයේ දැවැන්ත හා නොබිඳීය හැකි සාර්ථකත්වයක් ළඟා කර ගත් බව දෛවඥයන්ගේ විශ්වාසයයි.

ඔබත් කටක ලග්න හිමියෙකු නම් තමන් තුළ මෙවැනි ගතිගුණ ඇති බව හඳුනා ගෙන තම දක්ෂතාවන් ඔප් නංවාගෙන රට දැය බබළවන්න අවස්ථාව උදා කරගන්න.

සටහන- ඉෂාරා විජේරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.