ජප කළ වැලි අහුරක විස්මිත හාස්කම්

අගෝස්තු 30, 2024

එකල කොණ්ඩදෙණිය මුළු ගමටම තිබුණේ උළු සෙවිලි කළ ගෙවල් කිහිපයක් පමණි. එයිනුත් ව්‍යාපාරික කටයුතු සිදු කොට මහව නගරයේම ජනප්‍රිය තොග වෙළෙන්දකු වූ අර්නෝලිස් මුදලාලිගේ නිවෙස කැපී පෙනුණි. තම ව්‍යාපාර කටයුතුවලින් උපයාගත් ධනය තම එකම දියණියගේ විවාහ උත්සව කටයුත්තට අත දිගහැර වියදම් කිරීමට අර්නෝලිස් නොපැකිළී කටයුතු කළේය.

කාලයකට පසු කොණ්ඩදෙණිය ගමේ විවාහ මංගල්‍යය උත්සවයක් සිදුවන බැවින් ගැමියන් ද මෙය විනෝදජනක වන්නට අවස්ථාවක් කරගෙන තිබිණි. ජාතික කොඩි ලෙළ දෙමින් ලොකු සැරසිලි කළ ටකරන් මඩු කිහිපයක්ද වෛර්ණයෙන් යුතු විශාල ප්‍රමාණයේ කුඩ යට විනෝද වූ ඥාතිමිත්‍රාදීන් සහ අසල්වැසියන්ගෙන් මඟුල් ගෙදර පිරී ඉතිරී ගියේය.

එමෙන්ම කිසිදිනෙක නොඇසූ විරූ ගී සින්දු ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර මුළු පළාතම දෙවනත් කරමින් හඬ නැඟිණි. කොණ්ඩදෙණිය ගම්වාසීන්ට මෙය ආශ්චර්යවත් අවකාශයක් වූවා නිසැකය. අර්නෝලිස් මුදලාලිගේ හිතවතුන්, සගයන්, මිත්‍රයන් රැසක් ගමේ පාර්ශ්වයෙන් එක්රැස්වී සිටියද වැඩිපුරම සිටියේ මීගමුවේ මනාලයාගේ පාර්ශ්වයේ අලුත් එක්වන නෑයන්මය. විවිධ හැඩතල විලාසිතා අනුගමනය කළ තරුණ ගැටව් රැසක්ද ඒ අතර වූහ.

ජේත්තුවට හැඳ පැලඳ ගත් නගරයේ නෑ හිතමිතුරන්ද සින්දුවලට අනුව මත්පැන් පානයකට වෙරිමතින් නටන්නට ද විය. මේ සිදුවන උත්සවාකාරයන් බැලීමට ගමේ කොලු ගැටවුන් ද ලඳු කැලෑ අසල එබිකම් කරමින් රැඳෙමින් සිටියහ.

කොණ්ඩදෙණිය සීලරතන නායක හාමුදුරුවන් වහන්සේ තම අසල්වැසි ආතුරයකුට පිහිටවීමේ අභිප්‍රායෙන් ඉක්මන් ගමනින් වැඩි සේක. මේ මංගල්‍යය පැවැත්වෙන නිවෙස ඉදිරිපිට අඩිපාර දිගේ උන්වහන්සේ සුපුරුදු කඩිනම් ගමනින් වඩින විට හිමියන්ට විවිධ වූ ආඩ පාළී වචන කියමින් අනුචිත ආකාරයට ආගන්තුක පිරිස් තැන නොතැන බලා විහිළු තහළු කරන්නට වූහ.

‘බලාපල්ලකෝ මේ හපුච්චිගේ හැටි මූසල පරාණයක් නේ උදේම දැක්කේ.....ඒත් සමඟම එක්ව සිටි කොලු ගැටව් ද මහත් හඬින් සිනහ නගන්නට වූහ.

“හාමුදුරු නමක් කියල කියන්නවත් බැහැ......කෝච්චිය අල්ලන්න වගේ දුවල යන්නේ......කිසි සංවරකමක් පේන්නවත් නැහැ.” මෙයින් අප හිමියන් දැඩි සංවේගයකට මෙන්ම කනස්සල්ලට ද පත්වූ සේක.

ගමන අතරමඟ නවතා දැමූ හිමියන් ආපසු කොණ්ඩදෙණිය පන්සල වෙත වැඩම කළේ මඟුල් ගෙදර අසලින් වැලිඅහුරක් ගෙන බලගතු මන්ත්‍රයක් ජපකොට මඟුල්ගෙදර පැත්තට විසිකොට ලීමෙන් පසුවය. මඟුල් ගෙදර සිටි කොණ්ඩදෙණිය වැඩිහිටි කිහිපදෙනකු මෙය දුටුවහ.

ආගන්තුක නෑදෑයන් කොණ්ඩදෙණිය නායක හිමියන්ට කළ කී දෑ නිවැසි හිමියෝ දැන නොසිටියේ ය. මඟුල් ගෙදර ඊළඟ කරුණ ලෙස තිබුණේ මංගල මේසයට තම අලුත් නෑදෑයින් කැඳවාගෙන ඒමය. එම කටයුත්ත මනාලියගේ දෙන්න දෙමහල්ලන්ගේ ආරාධනයෙන් ඉටුවිය. සරසන ලද ටකරන් මඩුවේ ජයටම සකස්කර තිබූ මංගල මේසය විශාල සුදු රෙද්දකින් වසා තිබුණි.

අර්නෝලිස් මුදලාලි ජේත්තුවට ඇඳ පැලඳ තම නෑ හිතවතුන් පෙරටු කොට පැමිණ එම වසා තිබුණු සුදුරෙද්ද ඉවත් කළේය.

පුදුමයක මහත! රෙද්ද ඉවත් කරනවාත් සමඟ මේසයේ එතෙක් රැඳී සිටි විශාල කපුටු රංචුවක් එක්වරම එළියට ඉඟිළ ගියහ. කෑම මේසය පුරා ඉගිළුණු කපුටෝ හිඳගෙන සිටි නෑදැ පිරිසේ හිස්වල ලගින්නට පටන් ගත්හ. මුළු මහත් මඟුල් ගෙදරම කපුටන්ගෙන් පිරී පැවතුණි. මඟුල් ගෙදර එකම කාල ගෝට්ටියක් විය. ඇතැමුන් කපුටන්ගෙන් බේරීමට දුව පැන බිම ඇද වැටුණි.

ඇතැම් කෝට් කබා තැන් තැන්වල වැටී විසිරී තිබිණි. පුටු රැසක් පෙරළී ගොසිනි. කෑම ශාලාවෙන් ඉවතට දුවන පිරිස පසුපස කපුටන් හඹා එන්නට විය. තවත් පිරිසක් කපුටන් එළවා දමන්නට අත් එසවුණද නැවත එය පහත් කරගත නොහැකිව ගල් ගැසී තිබුණි.

මංගල මේසයේ අමුතන්ට සිදුවූ මේ අකරතැබ්බ ගැන අර්නෝලිස් මුදලාලි සහ නිවැසියන් විමතියට පත්වූහ. මේ සිදුවීමෙන් නෑයන් ඉදිරියේ තමන් සමච්චලයට භාජනය වීමේ

බැරෑරුම්කම ඔහුට හොඳින් වැටහිණි. ආගන්තුකයින් හමුවේ අලුතින් එක්වන නෑදෑයන් හමුවේ මෙවැන්නක් සිදු වීමෙන් සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි විය.

ඒ අතර සිටි වැඩිහිටි අයෙක් පැවසුවේ කොණ්ඩදෙණිය හාමුදුරුවන් දැන් ටික වේලාවකට පෙර මෙතනින් වැඩි බවත් තරුණ ආගන්තුක හාදයන් උන්වහන්සේට උසුළු විසුළු කළ බවත්ය. යන්න ගිය ගමන නවත්තල හිමියන් ගේ දිහා බලල ආපහු පන්සලට ද කොහෙද වැඩියා.

කාරණාව තේරුම් ගත් අර්නෝලිස් මුදලාලි තකහණියෙම තම බිරියත් සමඟ කොණ්ඩදෙණිය පන්සලට එක පිම්මේ ගොස් හාමුදුරුවන්ට සිදුවූ අපහාසයට සමාව ඉල්ලා වැඳ වැටුණි.

“අනේ අපට සමාවෙන්න හාමුදුරුවනේ. ආගන්තුකයන් අතින් ඔබ වහන්සේට අපහාසයක් වෙලා තියෙනවා. එවුන් අපේ හාමුදුරුවො ගැන කොහෙත්ම දන්නේ නැහැ........අනේ අපේ වැරැද්දට සමාවෙන්න. කපුටු රංචුවක් ඇවිත් වාඩිවුණු කාණ්ඩෙට කොටන්න පනිනවා. කෑගහල උන් එළව ගන්න ගිය අය ගල් ගැහිලා අතපය හොලවන්න බැරිවෙලා .

කෙසේ වෙතත් තම අසල්වාසියකු පත්වී ඇති තත්ත්වය අසීරුතාව හාමුදුරුවන් වහන්සේ එකෙනෙහිම තේරුම් ගත් සේක.

“මීට පස්සෙවත් හාමුදුරු කෙනෙකුට සලකන හැටි කියා දෙන්න. හොඳයි. මේ පිරිත් පැන් කලය මේසයේ වාඩිවෙලා ඉන්න අයට ඉහින්න සියල්ල හරියාවි. බයවෙන්න එපා ඒ ඉගිල්ළිලා ගියේ සැබැ කපුටන් නොවෙයි. මගේ පුංචි හපන්කමක්. හිමියන් කී ලෙසම සියල්ල යථා තත්ත්වයට පත්විය. චාරිත්‍රානුකූලව මඟුල් ගෙදර කටයුතු නිසි ලෙස ඉටුවිය.

වත්මන් කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන් සර්වරාත්‍රික පිරිත් දේශනයකට තම හිතවතකුගේ නිවෙසට වැඩම කළේ දුර බැහැර එම නිවෙස පිහිටියේද කුඩා කාලයේ සිට තමන් වහන්සේ දැන හැඳින්ගත නිවෙසක් වූ බැවිනි.

සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ඇරඹීමට පෙරාතුව අල්ලපු ගෙදර නිවෙසේ විශාල උත්සවයක්ද එදින රාත්‍රියේම සංවිධාන කර තිබුණි. එහි ශබ්ද විකාශන යන්ත්‍රයේ සංගීත හඬ පිරිත් ගෙදරට බලවත් කරදරයක් විය. ඊට හේතුවූයේ එම පාටිය සංවිධාන කළ අය අන්‍යාගමිකයන් වූ අතර මධුවිත පානය කරමින් කෑ කෝ ගසමින් ඇතැම් විටක උස් හඬින් සින්දු කියමින් විටෙක රණ්ඩු සරුවල් ද වෙමින් කටයුතු කරන්නටවීමය.

කිසිවකින් කලබලයට පත් නොවූ අප නායක අනුරුද්ධ හිමියන් බලගතු මන්ත්‍රයක් වැලිවලට මතුරා කරදරකාරි ශබ්ද නඟන නිවෙස දෙසට විසි කළහ. එතනින්ම කරදර අවසන් විය.

අල්ලපු ගෙදර ශබ්ද විකාශන යන්ත්‍ර සියල්ල එකවිට අකර්මණ්‍ය වී තිබිණි. ඔවුන්ගේ පි‍්‍රය සම්භාෂණය පිරිත්ගෙදර අයට සහ පිරිත් සජ්ඣායනාව අසන්නට පැමිණි කිසිවකුට ඉන්පසු කිසි ලෙස බාධා නොවිණි.

බලගතු මන්ත්‍රයක රඟ සොබාවය කොතරම් දැයි මම අවබෝධ කර ගතිමි.ටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.