මාසය කුමක් වුවත් ඔබ ඉපදුණේ 2-11-20-29 දිනයක නම් මේ ඔබ ගැනයි

ඔක්තෝබර් 25, 2024

අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව මේ ලිපියෙන් විස්තර වන්නේ ජන්ම අංක දෙකෙන් උපන් ඔබගේ චරිත ස්වභාවය ගතිගුණ දුර්වලතා පිළිබඳ විග්‍රහයකි. ඕනෑම මාසයක 2,11, 20,29 දිනක උපන් ඔබගේ ජන්ම අංකය 2 ලෙස තනි අංකයකට සුළු කරගත හැකිය. ජන්ම අංක දෙකෙන් උපන් අය පෘථිවියට ආසන්නතම ග්‍රහයා වන ග්‍රහ දෙව් මව විදියට හඳුන්වන චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. සිත හා සිතිවිලි සම්බන්ධව බලපාන ග්‍රහයකු වන සඳුගේ බලපෑමට යටත් වන ඔබ ඉතාමත් හැඟීම්බර ගති ස්වභාවයන්ගෙන් යුක්ත වෙයි.

එමෙන්ම යහපත් වූ ගුණාංග රාශියක් ඔබගේ චරිතය තුළින් දැකිය හැකි වෙයි. ඉතාමත් සංවේදී පුද්ගලයකු වන ඔබ කාගෙත් සිත් නොරිදෙන පරිදි කතාබහ කරයි. චන්ද්‍රයාගේ තිබෙන සෞම්‍ය ගති ස්වභාවය මෙන් සෞම්‍ය ස්වභාවයක් ඔබ තුළින් ද දැකිය හැකිය. බොහෝ විට මෘදු පැහැපත් සෞම්‍ය සිරුරකට හිමිකම් කියන ඔබ අන් අයගේ නෙත් සිත් ඇද ගැනීමට සමත් වෙයි.

පහසුවෙන් ජීවත් වීමත් ප්‍රියමනාප විසිතුරු දේවල්වලට ඇලුම් කිරීමත් ඔබ තුළින් දැකිය හැකිය. ඔබ කිසිදු කෙනෙකුට කරදර ් කිරීමට කැමති නැත. අන් අය කෙරෙහි අනුකම්පාවක් කරුණාවක් ඔබ සිතේ නිරන්තරයෙන් ඇත. ගෙදරදොර අලංකාරව තබාගැනීමට මල් වැවීමට ඒ වගේම ලස්සනට අඳීන්නට පලඳීන්නට ඔබ ප්‍රිය කරයි. සමාජය සහ ඔබ ඇසුරු කරන පුද්ගලයන් පිළිබඳ කරුණාවෙන් සහ අනුකම්පාවෙන් කටයුතු කිරීම ඔබේ ලක්ෂණයකි.

ජන්ම අංක දෙකෙන් උපන් ඔබගේ ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ එක සිතිවිල්ලක එක දිගට සිටීමට නොහැකි වීමයි. එනම් සිතුවිලිවල දෙපැත්තට වැනෙන ගතිය නිරන්තයෙන් පවති. යම් තීරණයක් ගැනීමට බොහෝ කල්පනා කරයි. කුමන තීරණයක් ගන්න ද කියා සිතා ගැනීමට බොහෝ කාලයක් ගනී. මහා සාගරය මෙන් හිතේ සිතුවිලි බොහෝ පහළ කර ගනියි. සිතිවිලිවල පමණක් නොව ඔබගේ ක්‍රියාවන් තුළ ද මේ ස්වභාවය බොහෝ විට දැකිය හැකි වෙයි. වැඩක් කරන්නට පටන්ගත් විට ප්‍රථමයෙන්ම කරන්නේ කුමන වැඩේද යන්න සිතා ගැනීමට නොහැකි ගතියක් ඇති කරයි.

ඔබගේ සිතුවිලිවල මතුපිටින් යම් චංචල ස්වභාවයක් පෙනුණද ඔබගේ යටි සිත තුළ බොහොම තැන්පත් සිතුවිලි මෙන්ම නිසසල ගතියක් තිබේ. මානසික සහ අධ්‍යාත්මික දියුණුව ඔබට පහසුවෙන් ළඟාකර ගැනීමේ හැකියාව ඇත. දැඩි සංවේදී සිතක් තිබෙන ඔබ බොහෝ පුංචි දේවලින් පවා කලකිරීමට සහ කම්පාවට පත්වීම දැකිය හැකිය. සිතේ ඒකාග්‍ර භාවය නිරන්තරයෙන් තබා ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. ඔබට අන් අයට තේරෙන ලෙස පැහැදිලිව අදහස් දැක්වීමේ සහජ හැකියාවක් ඇත. ඒ වගේම ඕනෑම ප්‍රශ්නයක් දෙස තර්කානුකූලව සිතා බලා කටයුතු කිරීම ඔබේ ස්වභාවයයි. තර්කානුකූලව කරුණු ගළපා කතා කිරීමට ඔබ දක්ෂ වෙයි. ඔබ සමඟ වාද කිරීම ද එතරම් පහසු නැති වුණත් ඒවාට පැටලෙන්නට ඔබ කැමති නැත. අංක දෙක හිමි ඔබ මානසික වශයෙන් බොහෝ ශක්තිමත් වෙයි. ඇඟ මහන්සි කර කරන රැකියාවන්වලට වඩා ඔබට මනස වෙහෙසවා කරන වෘත්තීන් හෝ රැකියාවන් වඩාත් ගැළපෙයි. එමඟින් බොහෝ සාර්ථක ඵල නෙළා ගත හැකිය. කායික වශයෙන් ඔබ ඉතා ඉක්මනින් වෙහෙසට පත්වෙන ගතියක් පෙන්නුම් කරයි. එනම් ඔරොත්තු දීමේ ශක්තිය තරමක් අඩු කරයි.

ඔබ අන් අය සමඟ කටයුතු කිරීමේදී බොහොම සුහදශීලීව ඔවුන් තේරුම් ගනිමින් කටයුතු කරයි. ඔබට අන් අයගේ සිතිවිලි බොහොම ඉක්මනින් තේරුම් ගැනීමේ හැකියාවක් ඇත. එම නිසා ගැටුම්වලින් තොරව බොහෝ විට සමගියෙන් අන් අය සමග ජීවත් වීමේ හැකියාව ඔබට තිබේ. ඉක්මනින් ඔබේ හිතේ ඇතිවන කලබලකාරී ගතිය සහ මානසික නොසන්සුන් භාවය ඔබට බාධාකාරී ලෙස බලපායි. අනිත් අයගේ සිත් දිනා ගැනීමට ඔබ බොහොම දක්ෂ වෙයි. එම නිසාම ඔබට බොහෝ ඉක්මනින් මිතුරන් ඇතිකර ගැනීමේ හැකියාව ද ඇත. විටෙක ඔබේ සිත තුළ මන්දෝත්සාහී ගතිය හා සෘණාත්මක සිතිවිලි ඇති කරයි. ආත්ම විශ්වාසය අඩුවීම මෙයට ප්‍රධාන හේතුව වෙයි. චන්ද්‍රයාට ආලෝකය ලබාගැනීමට සූර්යයා නැතිව බැරිවන සේම ඔබේ ජීවිතයටත් කාගෙන් හෝ සහයෝගය හෝ උදව් ලැබේ නම් ඉතා ඉහළටම යන්නට ඔබට හැකියාව ඇත.

ඔබ තරහ ගතිය සහ ඉක්මන් ආවේගශීලී ගතිය පාලනය කර ගැනීමට උත්සාහ ගත යුතුයි. අන් අයගේ යහපත වෙනුවෙන් ඔබ නිතරම උදව් පදව් කිරීමට සූදානමින් සිටී. බොහෝ විට ජන්ම අංක 2 හිමියන් අනිත් අයගේ ජීවිත වෙනුවෙන් කැපවුණු අය බව හඳුනා ගැනීමට පුළුවන්. තමන්ට තිබෙන දෙයින් අන් අයට උදව් කිරීම ඔබේ සිරිතයි. කිසි විටෙකත් තමන් ලඟ තිබෙන දෙයක් නැහැ නොකියයි. ඔබේ හිතේ පවතින තවත් එක් දුර්වලතාවයක් වන්නේ නිතරම සැකමුසු ස්වභාවයක් ඇතිවීමයි. එය මඟහරවා ගැනීමට උත්සාහ ගන්න. ඔබ කිසිවෙකුට හිතාමතා වැරදි නොකරණ අතර තමා අතින් වුණු වරදකට වුණත් සමාව ගැනීමට නිතර සූදානම්ව සිටියි.

යම් වෘත්තියක හෝ රැකියාවක එක දිගට රැඳී සිටීමට බොහෝ අසීරු වෙයි. ටික කාලයක් යනවිට එය වෙනස් කරන්නට හිතෙයි. ග්‍රහ මණ්ඩලය තුළ වේගයෙන් වෙනස් වන ග්‍රහයෙක් විදියට හඳුන්වන සඳු ග්‍රහයා අධිපතීත්වය දරන ජන්ම අංක 2 හිමි ඔබේ ස්වභාවය ද ඉතා ඉක්මනින් වෙනස්වීමට ලක් වීමයි. එක තැනක බොහෝ වේලා රැඳී සිටීමට අපහසු ගතියක් ඇති කරයි. නිතරම ඇවිදීමට සංචාරයට ආසා කරයි. ඔබට ජීවිත කාලය තුළ පිට රටවල්වල සංචාරය කිරීමේ වාසනාව ද තිබේ. ඔබ ස්වභාවයෙන්ම ජලය ට ප්‍රිය කරන ගතියක් පෙන්නුම් කරන අතර වඩාත් ප්‍රවේශම් විය යුත්තේ ද ජලයෙන්මයි. ගැඹුරු තැන්වලින් සහ අවදානම් තැන්වලින් දිය නෑමෙන් වළකින්න. චන්ද්‍රයා වඩාත් බලවත් වන පුර පක්ෂයේ දිනවලදී මොවුන්ගේ සිතිවිලිවල ක්‍රියාකාරීත්වය වේගවත් වෙයි. එම කාලවල සිත සන්සුන්ව තබාගෙන කටයුතු කළ යුතු අතර ආවේගශීලීව ක්ෂණික තීරණ ගැනීම නොකළ යුතුයි.

මනස මූලිකව ක්‍රියාත්මක වන අංක දෙක හිමියන් බොහෝ මානුෂීය ගතිවලින් පිරුණු අය වෙයි. යම් භාවනා ක්‍රමයක් හෝ හිත සන්සුන් කරන යම් ක්‍රමවේදයකට අනුව මනස ඒකාග්‍ර කර ගැනීම තුළින් තිබෙන සියලු දුර්වලතා මඟහරවා ගෙන ජීවිතයේ සියලුම අභියෝග ජය ගැනීම සහ සාර්තකත්වය ඇතිකර ගැනීමට ඔබට ශක්තිය ලබාගත හැකියි. අන් අයට ඔබව පහසුවෙන් ඔවුන්ගේ පැත්තට නම්මවා ගත හැකි බැවින් ඔබ අන් අය ඇසුරු කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් ආදරය සහ ප්‍රේමය සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේදී ඉතා දුර දිග සිතා බලා තීරණ ගැනීමට සිතාගත යුතු අතර කලකිරීම් සහ පසුතැවීම් වළක්වා ගැනීමට එය හේතු වෙයි. ස්ත්‍රී ග්‍රහයකු වන චන්ද්‍රයාගේ ආකර්ෂණය ඇති නිසා මොවුන්ට ස්ත්‍රීන් සමඟ කටයුතු කිරීම ඉතාම පහසු වෙයි. ඔවුන්ගේ විශ්වාසය ඉක්මනින් දිනා දිනා ගැනීමේ හැකියාව ඇත.

අධ්‍යාපනය ලැබීමේ වාසනාව ඔබට තිබුණත් ඔබගේ ජීවිතයේ ඉහළ තත්ත්වයකට ගමන් කරන්නට නම් ඔබ ඔබගේ හිත ශක්තිමත් කරගත යුතු අතර දැඩි අධිෂ්ඨානශීලි භාවයක් තබා ගැනීම අනිවාර්ය වේ. ප්‍රශ්න ගැටලු ඇති වන අවස්ථාවලදි කලබල නොවී සංසුන්ව තීරණ ගත යුතුයි. එවිට කළ යුතු දේ සහ නොකළ යුතු දේ ඔබටම වැටහෙනු ඇත. අධික ලෙස කල්පනා කිරීමත් මනස අනවශ්‍ය ලෙස වෙහෙසවීමත් මත ස්නායු ආබාධ තත්ත්වයන් හටගත හැකිය. ඔබට ඔබ පිළිබඳ ඉහළ තක්සේරුවක් තබා ගැනීම ඉතාමත් හොඳයි. ඔබ විසින් ම ඔබගේ වටිනාකම් ඇගයීම කළ යුතු අතර එමඟින් තමන් පිළිබඳ අභිමානයක් ආත්ම විශ්වාසයක් ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙයි.

ආර්ථික වශයෙන් ඔබේ ජීවිතය තුළ ස්ථාවරත්වයක් ගොඩ නැගීමට පටන් ගන්නේ මැදි වයස ආරම්භ වන විටයි. ස්ව උත්සාහයෙන් දියුණු වීමේ වාසනාව ඇති ඔබ වසර 37 පසු වන විට තමන්ගේම දේපළ ඉඩකඩම්වලට හිමිකම් කීමේ භාග්‍ය උදාකර ගනී. මුදල් ඔබ අතට ලැබෙනවා සේම අනිත් පැත්තට වියදම් වීම ද සිදුවෙයි. මුදල් සම්බන්ධ එක ස්ථාවරත්වයක් නොපවතින අතර උස් පහත් වීම විටින්විට සිදුවෙයි. එහෙත් අවශ්‍ය දෙයට කෙසේ හෝ මුදල් ලැබීමේ වාසනාව පවතී. ඔබගේ ව්‍යාපාර සඳහා අන් අයගේ සහයෝගය ලබා ලබාගැනීමේදී ජන්ම අංක 2, 3, 4, 6, 7, 9 අංක හිමියන් සම්බන්ධ කර ගැනීමෙන් වඩාත් හොඳීන් සහයෝගය ලබාගෙන සාර්ථකත්වය ඇති කරගැනීමට පුළුවන.

ආදරය සහ ප්‍රේමය සම්බන්ධ කටයුතුවලට ඔබ ඉක්මන් නොවිය යුතු අතර ඒ පිළිබඳ හොඳීන් දුර දිග සිතා බලා තීරණ ගැනීමට වගබලා ගන්න. යම් හේතුවක් මත තම පෙම්වතා හෝ පෙම්වතිය හැර යාමෙන් ඇතිවෙන විරහ වේදනාවක දී ඔබට එය දරා ගැනීම ඉතාමත් අසීරු දෙයක් විය හැකි අතර එවැනි අවස්ථාවල ආවේගශීලීව ක්ෂණික තීරණවලට එළැඹ ජීවිතයට පවා හානිකර ගැනීමට පෙලඹෙන අවස්ථා අංක දෙකෙන් උපන් අය තුළ බොහෝ දැකිය හැකිය. ජන්ම අංක දෙකෙන් උපන් බොහෝ අය විවාහයට පත් වන්නේ ප්‍රේම සබඳතා මූලික කරගෙන වීමද විශේෂත්වයක් වන අතර දෙදෙනා අතර බොහෝ මත ගැටුම් ප්‍රශ්න ඇතිවීමට මූලික හේතුව වන්නේ ඔබගේ සිතිවිලිවල තිබෙන වේගවත් වෙනස් වීම සහ චංචල භාවය නිසා ඔබව හරිහැටි තේරුම් ගැනීමට පෙම්වතාට හෝ පෙම්වතියට නොහැකිවීම නිසයි. ඔබේ පෙම්වතා පෙම්වතිය හෝ විවාහ සහකරු ලෙස තෝරා ගැනීමට ඔබට වඩාත් සුදුසු වන්නේ ජන්ම අංක 1, 2, 7, හිමියන් වේ. කෙසේ වුවත් ඉතාමත් යහපත් ගතිගුණ ඇති බුද්ධිමත් ප්‍රියමනාප සංවේදී සිතක් හිමි සහකරුවෙකු හෝ සහකාරියක ඔබට හිමිවීමේ භාග්‍යය පවතින අතර ජීවිතය සාර්ථකත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

(ජන්ම අංක 3 හිමි ඔබ ගැන විස්තර ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.