ධනය හා සෞභාග්‍යය ගෙනදෙන ශ්‍රී කාන්තා අෂ්ටක

ජුනි 7, 2024

ධනයට ශ්‍රී සෞභාග්‍යයට අධිපති මහා ලක්ෂ්මී දේවියගේ නැතිනම් ශ්‍රී කාන්තාවගේ ආකර්ෂණය නිතැතින්ම හිමිකරගන්නට ඔබටත් මේ ශ්‍රී කාන්තා අෂ්ටක භාවිතයෙන් බෙලි පිළිල ජිවම්කර සකසාගන්නා ආකාරය ගැන දැනුවත් කරලීම මේ ලිපි පෙළෙහි මුඛ්‍ය පරමාර්ථයයි.

ශ්‍රී කාන්තා දේවියගේ ආශිර්වාදය ලබා ඔබට ඇති ආර්ථිකමය ගැටලු ඔබගේ රැකීරක්ෂා වෘත්තීයමය ගැටලු, උසස් අධ්‍යාපනය විවාහ ප්‍රමාදවීම් යනාදී අනේක විධ ගැටලු විසඳාගෙන ඔබ සාර්ථකත්වය කරා ගමන් කරනු දැක්ම අපගේ ඒකායන පරමාර්ථයයි. පාරම්පරිකව වසර ගණනාවක් තිස්සේ භාවිතකොට සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇති මේ ගුප්තමය ශාන්තිකර්ම ක්‍රමවේද නිවැරැදිව ගුරු මුෂ්ටිවලින් තොරව ඔබවෙත ලබාදෙන්නේ ද එම අරමුණ නිසාවෙනි.

බෙළිපිළිල ජීවමට පෙර ඔබ තෙමසක් මස්මාංශ ආදියෙන් තොරව නිසි ආගමික වතාවත්වල නිරතව පේවීම අත්‍යවශ්‍යය බව මෙහිලා දන්වා සිටින්නෙමු. ඉන්පසු බෙලි පිළිල ලබාගැනීම සඳහා පිරිසුදු භූමියක පිහිටි පිළිල සහිත බෙලි ගසක් තෝරාගන්න. වසර 60 වඩා පැරණි ගසක් නම් විශේෂයි. කලින් දින මේ ගසයට පිරිසුදු කර කහ දියර හා ලද පස්මල් ඉසින්න. එසේම ගස සිව්කොන පැඟිරි කෝටු භාවිතයෙන් පහන් කූඩු සතරක් තනා කන්‍යා නූල් තුන්පටක් අඳින්න.

ශ්‍රී විෂ්ණු දෙවියන්ට සහ ශ්‍රී කාන්තා දේවියට වෙන වෙනම පූජා ස්ථානය තනා මල් පහන් පුදා දේවතා ආරාධනය කොට දෙවියන් හට පින්දෙන්න. පසුදිනද මේ පිළිවෙළ අනුගමනය කර ශ්‍රී විෂ්ණු දෙවියන් හා ශ්‍රී කාන්තා දේවිය උදෙසා ද පූජාව පිළිගන්වන්න. එම දේව රූප තැන්පත් කිරීම ද කළ යුතුය. තවද නා මැලියම්, සල් මැලියම් හා කැකුණ මැලියම් මිශ්‍රව ගෙන සුවඳ දුම් දීම ද කොහොඹ තෙල් පහන් දැල්වීමද කළ යුතු වේ.

ශ්‍රී කාන්තා පූජාව සඳහා පහත පරිදි අවැසි පූජා ද්‍රව්‍යය සකසාගැනීම උචිත වේ. නෙලුම් මල් 9, රතු රෝස මල් සහ පිච්ච මල් මාලාවයි. ළා රෝස පැහැ තිරයයි. කොඩියයි. රන්තැඹිලි ගෙඩියයි, සුවඳැල් කෙසෙල් ගෙඩි 21 ඇවරියයි. දොඩම්, නාරං, දෙළුම්, බෙලි, දිවුල්, අඹ එසේම කැවිලි වශයෙන් කිරිබත්, අග්ගලා, මුංකැවුම්, අතිරස, තල කැරලි, උක්හකුරු, සූකිරි, හබල පෙති එසේම මී පැණි, ගිතෙල්, කපුරු, පිණිදිය, ත්වරලා, හඳුන්කූරු, බුලත් 27, පඬුරු 27, හක්ගෙඩිය, බටනලාව, හෙල අබ, නෙලුම් කොළය යනාදියද සපිරි මේ පූජාව සැකසීමේ දී ද අතිශයින් පිරිසුදුව සකස්කිරීම වැදගත් වේ.

පූජාසනය සැකසීමේදී ද හැකිනම් පපුව මට්ටමින් උඩට සිටිනසේ මේසයක් හෝ එවන් යමක් භාවිත කර ඒ මත පිරිසුදු රෙදිකඩක් එලා එහි කෙසෙල් අත්තක් එලා නෙලුම් කොළය තබා ඒ මත බුලත් පඬුරු ආදී සියලු පූජා භාණ්ඩ තබා කොහොඹ තෙල් පහන් දල්වන්න. ශ්‍රී කාන්තා දේවියගේ රූපයද තබා පහත අෂ්ටක කියමින් සුවඳ දුම් දෙන්න. ශ්‍රී විෂ්ණු දෙවියන්ට ද පූජා තබා සුවඳ දුම් දෙන්න. පසුව සුවඳ පැන් බෙලි ගස මුලට ඉස බෙලි පිළිල ගලවා ගන්න. උතුරට ඇදී ගිය පිළිල අත්තක් නම් වඩාත් යෝග්‍යයි. මේවා ඉහත මල් ආසනයේ තබා නැවත ස්තෝත්‍ර කියමින් සුවඳ දුම්දෙන්න. තුන්වරක්ම මේ ස්ථානයේ පූජා පැවතුම් ඉටුකිරීම වඩාත් සුදුසු වේ. පසුව සුදුසු වෙනත් ස්ථානයක තබා ඉහත අන්දමට පූජා තබා පංච උපචාර විදි පවත්වා මේ අෂ්ටක පන්තිය 1008 වාරයක් ජප කිරීම මැනවි. යම් අවස්ථාවක බෙලි ගස තිබෙන ස්ථානයේ මේ ජීවම කළ නොහැකිනම් එයට සුදුසු පිරිසුදු මල්පහන් පුදකරන තැනක එය ඉටුකිරීමද මැනවි. මේඅඑ මහඟු ශාන්තිකර්මය ප්‍රතිපත්ති ගරුකව සිල්වත්ව නිවැරදි ශාස්ත්‍ර වීදි නොඉක්මවා සම්පූර්ණ කරගෙන ශ්‍රී කාන්තා දේවියගේ ආශීර්වාදය ලබාදෙන ඔබගේ සෞභාග්‍යය ළඟා කරගනු ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු.

ශ්‍රී කාන්තා අෂ්ටක


පීනා කූච හස්තායන කේශ නීල වර්ණං
පීනා ශෂි සෞම්‍ය චක්ත්‍ර දේහ භේම වර්ණං
දීර්ඝා නයනා නීලොත්පල පත්‍රජ වර්ණං
ශ්‍රී කාන්තා ප්‍රනමං මීත ආයුෂ ආරක්ෂං

දීර්ඝාංගුලි අර්ධාංශශිනා ලලාට දෙශං
ශංඛා ඉව ස්වර්ණ වර්ණ රුචිර කණ්ඨ දෙශං
වක්‍රා ඉව ශ්‍රෝණි දෙශ කාශ මධ්‍ය දෙශං
වක්ෂ ස්ථල වාස භූත ශ්‍රී දදාතු සෞඝ්‍යං

ශ්‍රද්ධා මන බද්ධා ගුණ ලද්ධා සත් කීර්තිං
බද්ධා මන නිත්‍යා පරි ශුද්ධා මති ශ්‍රේෂ්ඨං
ශ්‍රද්ධා ගුණ බුද්ධි වර කෘෂ්ණ දේව රාඥං
වක්ෂ ස්ථල වාස භූත ශ්‍රී දදාතු සෞඛ්‍යං

දිව්‍යම්බික රූප ශ්‍රී විජිතෙන් ද්රික දෙහං
ලොකත්‍රය රූපාංගන ලලාට තිලකායං
නාරායණ වක්ෂස්ථල නිවාසාන සාරං
ශ්‍රී කාන්තාංගනා රක්ෂතු ජීවිත බලකායං

ශ්වේත පත්ම හස්ත ධාරි පද්මාසන යුත්තං
සත්‍යා වචනෙ කදම්භ අම්බුජ වන වාසං
කන්‍යා කුඤ්ජර චාමර ශ්වෙත වර්ණ ඡත්‍රං
වාස භූත ශ්‍රී දේවී ආතුරආරක්ෂං

දන්තා පන්ති කෛරව වර්ණ මුක්ක හාරං
කර්ණාභරණා ස්වර්ණා හස්තදාම හෙමං
ජංගං උරු ස්වර්ණාරම්භ කත්ව සදාශං
ලක්ෂ්මී අභිදාන දේවි රක්ෂ රක්ෂ නිත්‍යං

රක්තොත්පල පත්‍රාංගුලි නීලොත්පල නෙත්‍රං
ස්වර්ණංකුස නාසා ඉශෙවාලඞ ධම්මිල්ලං
වජිරාමණි වර්ණා නඛ විංශති පි‍්‍රය චාරං
ලක්ෂ්මී කුරු ශාන්ති තව රෝග දුක්ඛ හරණාත්

නාරායන දේවරාජ පි‍්‍රයම්බිකා දෙවිං
රොගාතුර රොග දුක්ඛ මර්දන කෘත්‍යුං
ශ්‍රී කාන්ති සෞඛ්‍යා සම්පත් දදාති කායං
රක්ෂ රක්ෂ අප්‍රමාණ මෛත්‍රී පූර්ව කායං

මීළඟ ලිපියෙන් මහා ලක්ෂ්මී යන්ත්‍රය සකසාගැනීම හා මහා ලක්ෂ්මී ජීවම.
 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.