කෝණ මාසයට ඡ්‍යොතිෂ වැඩ කරන්නේ නැතිද?

ඔක්තෝබර් 27, 2023

ජ්‍යාමිතික ගණිතයේ කෝණ ගැන උගන්වනවා. එනම් සරල කෝණ, ඍජු කෝණ, මහා කෝණ පරාවර්තන කෝණ කියලා. ඡ්‍යොතිෂයේ කෝණ කියල හඳුන්වන්නෙ මෙහෙම එකක් නොවුවත් මීට සමාන ප්‍රතිඵලයක් දෙන කතාවක්. බොහෝ විට ඡ්‍යොතිෂය ගැන වර්තමානව ඉගෙන ගන්න කොට මේ කෝණ ගැන විග්‍රහ කිරීමක් කරන්නෙ නැහැ. එසේ විග්‍රහ කරන්න ගුරුවරු දන්නවද මන්දා.

අපි කෝණ ගැන, රාහු ගැන, මරු ඉන්න පැත්ත වැනි දේවල් වචනයෙන් දැන ගත්තට කරුණු වශයෙන් දන්නෙ නැහැ. අවුරුද්දට කෝණ 4ක් තිබෙනවා. රාහු කාලය දවසකට පැය තුනයි. අපර කාලයට පැය 1 1/2යි. පූර්ව කාලයට පැය 1 1/2යි. මේ කාලය තුළ කිසියම් වැඩක් ආරම්භ කරන්න වත් හොඳ නැති බවත් දන්නවා. ඒ මොකද කියන්න දන්නෙ නැහැ. ගුප්ත ශාස්ත්‍රයේදී විවාහක යුවළකට ස්වකීය බිරිඳට දරු සම්පතක් ලැබෙණ ලකුණු පහළ වුණාම ගේ දොර හදන්න යන්නෙ නැහැ. ඒක නරකයි කියනවා. මොකක්ද නරකෙ කියලා පැහැදිලි කරන්නෙ නැහැ. පැහැදිලි කරන්න දන්නෙත් නැහැ. මේකත් හරියට බෝසතාණන් වහන්සේ බුදු බව ලබනකොට මර දූවරු තිදෙනා එනම් තන්හා, රති, රඟා ආවා වගේ තමයි. මේ විස්තර සිත්තරා රූපයට ලස්සනට ඇඳලත් තිබෙනවා. නිර්මාණකරුවා එයාගේ දක්ෂකම උඩ සිත්තර රූපයට නිර්මාණය කරලත් තිබෙනවා. මේකේ තේරුම එයාලාවත් හරියට දන්නවා ද දන්නෙ නැහැ.

ඔය වගේ කරුණු කාරණා ගොඩක් ඡ්‍යොතිෂයේ සඳහන් වෙලා තිබෙනවා. හරියට ඡ්‍යොතිෂයේ කෝණ වගේ.

මේ වගේ ඉදිරියට යන ඡ්‍යොතිෂයේ මහ දසා, අන්තර් දසා, සූක්ෂ්ම දසා තිබුණාට ඒවා පලාපල කොළේ පුරවන්නෙ නැහැ. පුරවන්න දන්නෙ නැහැ. හැබැයි ඒ අය ඡ්‍යොතිෂ විශේෂඥ ගණයට නම් වැටෙනවා. තිබෙන උපාධි ලංකාවේත් දකින්න නැති ඒවා.

ඕනෑම කෙනෙක් ඡ්‍යොතිෂවේදියක ළඟට එන්නෙ එයා නොදන්නා ඡ්‍යොතිෂ පලාඵලයක් දැනගන්න නැත්නම් පොරොන්දමක් බලා ගන්න. එහෙමත් නැත්නම් නැකතක් බලා ගන්න. ඒ වෙනකොට අර කලින් කියූ කෝණ මාස ගැන අවබෝධයක් නැත්නම් නිවැරැදි අදහසක් දෙන්නෙ කොහොමද? වැරදි එකක් දුන්නොත් ඔක්කොම ඉවරයි නේ. ඔහුට හෝ ඇයට මේ ශාස්ත්‍රයත් එපා වෙනව නේද?

අවුරුද්දෙ කෝණ මාස කියන්නෙ මොකක්ද? ඒකට අනුරූප වන්නෙ කොහොමද බලමු. මේ අපි ඉන්නා පෘථීවිය ස්වකීය කක්ෂය වටේ භ්‍රමණය වන බව නැත්නම් කැරකෙන බව අපි දන්නවා. ඒ පෘථිවිය තම කක්ෂය වටා එක් රවුමක් සම්පූර්ණයෙන් යෑමට ගත වන කාලය දින 4යි. නමුත් ඒක එකවරම ස්ථිරවම කියන්න අපහසුයි. ඒ සූර්ය සංක්‍රාන්තිය අනුව මද වශයෙන් වෙනස් වන බැවින් දින 2ක් ගත වේ යැයි නිගමනය කළ හැකි වනවා. ඒ දින දෙකෙනුත් එකක් නම් ඉදුරාම කීමට හැකිය. සූර්යයත් විශ්වයත් අතර පරතරය අංශක 90ක් හෝ ඊට ස්වල්පයක් පමණක් වෙනස. එක් වසරකට කෝණ මාස 4යි. එනම් පළමු කෝණ මාසය වශයෙන් මාර්තු 21 හෝ 22 විය හැකිය. එතැන් පටන් පුරා මාසයක ප්‍රමාණය කෝණ මාසය වශයෙන් හැඳින් වෙනවා. කෝණ මාසය මෙසේ සඳහන් වුවත් බලපවත්වන්නෙ දින 01 හෝ 02ක් පමණයි. දෙවැනි කෝණ මාසය ආරම්භ වන්නේ ජුනි 21 හෝ 22 දිනටය.

තුන්වැනි කෝණ මාසය ආරම්භ වන්නේ සැප්තැම්බර් 22 හෝ 23 වන අතර, සිව්වැනි කෝණ මාසය වනුයේ දෙසැම්බර් 22 හෝ 23 සිටයි.

මෙසේ කෝණ මාස 4 විග්‍රහ කලාට ඉන් මූලිකව ප්‍රතිඵල දෙන්නෙ පළමු කෝණ මාසයෙදියි. කාලගුණය ශීඝ්‍රව වෙනස් වන නිසා මේ කෝණ මාසය වුවත් එයද කෝණ මාසයක් ලෙස නොසලකා බොහෝ දෙනා තම කාර්යයේ යෙදෙනවා. පුරාණයේ කෝණ මාසයෙදි ස්වකීය කාර්යයන් අත්හළේ ඒ මාසය තුළ පෘථිවිය හා සූර්යයා අතර අංශක 90ක කෝණයක් බල පවත්වන නිසයි. මේ කෝණ මාස ගැන එක එක පොත්වල එක එක විදියට සඳහන් වුවද සිදු වනුයේ එකම දෙයක් පමණයි. එනම් පෘථිවියට සූර්යයා ලම්භකව පිහිටීමයි. මේ ලම්භකව පිහිටීම හේතු කොට ගෙන පෘථිවියට වැටෙන හිරු රශ්මිය ඉතා සැරව පවතින නිසා එයද අශුභයක් ලෙස පැරැන්නො සැලකුවා. මෙවැනි ගැමි කතා කොතෙකුත් ඇතිමුත් එහි විද්‍යාත්මක පදනමක් නැත්තේම නෑ.

ඡ්‍යොතිෂයේ කෝණ ගැන හැදෑරීමේදී තවත් දැනගත යුතු විශේෂ කරුණු රාශියක් තිබෙනවා. ඉන් එකක් නම් සූර්යයාගෙන් අපට හැමදාම එකම වේලාවකට රාත්‍රි දහවල් නොයෙදීමයි. මෙය එක්සත් රාජධානිය ඇමරිකාව වැනි රටවලට විශේෂව හා සරලව පවතිනවා. ලංකාවේ දිවා කාලය හා රාත්‍රි කාලය පවතින කාල ප්‍රමාණය ගැන සූක්ෂ්මව බැලුවොත් එක් කාලයක් වැඩියෙන් පවතින බව පෙනෙනවා. එය සිදුවන්නෙ සූර්යයා උදේ 6.00ට උදාවී හවස 6.00ට බැස නොයන බැවින්. තවත් විශේෂ කරුණක් නම් සූර්යයා හා පෘථිවිය සැසඳීමේදී පෘථිවිය පිහිටා ඇත්තේ අංශක 23 1/2 ක් ඇලවයි. සූර්යයා උදාවන්නේද නියමිත වේලාවට විනාඩි කීපයක් පෙර හෝ පසුවයි. එම නිසා මේ විසමතාවය හට ගන්නවා.

විශේෂයෙන් ජන්ම කේන්දර සෑදීමේදී මේ කරුණු අනුව සැකසිය යුතුයි. මේ කිසිවක් පරිගණකයෙන් විසඳිය නොහැකි නිසා පලාපල කථනයෙදි අඩුවක් පවතින බව නිසැකයි.

ඡ්‍යොතිෂය මූලිකව කියනවා නම් හිරු නැත්නම් සූර්යයා මුල් කරගෙන කරන ගණිතමය ගැටලු නිරාකරණය කිරීමක්. සූර්යයා සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන්නේද එනිසාම යි. හිරුගේ ගමන පාදක කොටගෙන කරන ක්‍රමය වන සූර්ය වර්ෂ ක්‍රමය ගැනද අවබෝධයක් තිබිය යුතුමයි. හැට පැය ක්‍රමයෙදි මේ සූර්ය මාස ක්‍රමය අනුගමනය කළ යුතු නිසා එයද දැන සිටිය යුතුමයි. සූර්ය මාස ක්‍රමයට වර්ෂයට මාස 12ක්. ඒවා රාශි නම්වලින් හැඳින්වෙනවා. එනම් අවුරුද්ද ආරම්භ වනුවේ අපේ‍්‍රල් සිටයි. එනම් මේෂ රවියෙන්ය. මේෂ රවිය ආරම්භ වන්නෙ ඉකුත් වසරේ අපේ‍්‍රල් 14 සිට මැයි 14 දින දක්වායි. වෘෂභ රවිය මැසි 15 සිට ජුනි 15 හෝ 14 දක්වාය. මේ ආකාරයට ව්‍යවහාර කොට මීන රවිය මාර්තු 14 සිට අපේ‍්‍රල් 13 හෝ 14 දක්වා යෙදෙනවා. මේ ආකාරයට දිනක පහසු අපහසුවක් ඇත්තේ සූර්යයාගේ බලපෑම හා පෘථිවියේ ඇලවීම නිසායි.

සමහර ඡ්‍යොතිෂ පොත්වල මේ කෝණ මාස අශුභයක් ලෙස සැලකුවත් එහි විද්‍යාත්මක මතය කාර්යය කිරීමට අපහසුතාවය පමණයි. ඡ්‍යොතිෂය ආරම්භයේදි දියුණු තාක්ෂණ මෙවලම් නොතිබූ නිසා කෝණ මාස ගැන වඩා උනන්දුවක් දැක්වුවත් වර්තමානයේ එතරම් දැක්මක් දක්වන්නේ නෑ.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී

ගුප්ත විද්‍යාවේදී මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.