වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
මකර ලග්නයට හිමි රැකියා
මකර ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති ශනිත් දහවැන්නාධිපති සිකුරු ගැනත් බැලිය යුතු ය. මකර රාශිය පඨවි ගුණයෙන් යුත් චර රාශියකි. මකර ලග්න හිමියා තමාගේ වාසිය පිණිසම වැඩ කරන ආත්මාර්ථකාමී ගති ඇති කෙනෙක් වේ. කම්මැළිකමින් නිකරුණේ කාලය ගත නොකරයි. මොවුන් ක්රමානුකූල පාලනයේ දක්ෂ වේ.
විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරිය හැකි පාලන ශක්තියක් මොවුන්ට තිබේ. බර වැඩ යෝග්‍ය වේ. දේශපාලන කටයුතුවලට දක්ෂ වේ. කම්කරුවන්, කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන්නන් මොවුන්ගෙන් බිහි වේ. උද්යෝගිමත් ප්‍රසිද්ධියට කැමති මොවුන් ඕනෑම වෘත්තියක නියැළීමට දක්ෂ වේ. තමන්ට ලැබෙන සුළු අවස්ථාවක් වුවද ප්‍රයෝජනයට ගෙන විශාල දියුණුවක් ලැබීමට මොවුන්ට හැකි වේ.
ලග්නය වූ මකරයත් දහවැන්න වූ තුලාවත් චර රාශි බැවින් මොවුන්ට එකතැන රැකියා කිරීමට අපහසු වේ. මොවුන්ගේ රැකියා තත්ත්වයන් නිතර වෙනස් වේ. සෑම ජන්මියකුගේම රැකියාව ගැන බැලීමේ දී ඉගෙනීම ගැනත් බැලිය යුතු වේ. ඉගෙනීම උසස් නම් හොඳ උසස් රැකියා කිරීමට අවස්ථාව උදාවේ. මකර ලග්න හිමියන්ගේ ඉගෙනීම ගැන බැලීමේ දී අධ්‍යාපන කාරක බුධත් පස්වැන්නාධිපති සිකුරු ගැනත් බැලිය යුතු වේ. මේ දෙදෙනාගේ බලය තිබූ තැන හොඳ උසස් රැකියාවක් කිරීමට හැකි වේ. ඇඟලුම් ආයතනවල ප්‍රධානීන් බවට ද පත්වීමට ඉඩ තිබේ. නිමි ඇඳුම් ව්‍යාපාරවල හිමිකරුවන් වීමටද හැකියාව තිබේ. ඒ වගේම උසස් ඉගෙනීමක් නොතිබූ තැන එහි සුළු සේවකයන් වීමටද ඉඩ තිබේ.
කර්ම පාලන ග්‍රහයන් වන රාහු හා කේතුගේ බලපෑමත් ජන්මියාගේ රැකියාව තීරණ කිරීමට බලපායි. එම උප ග්‍රහයන් දෙදෙනා සිටින නැකතක් නැකත් හිමියාගේ පිහිටීම රැකියාවට බලපෑම් කරයි. ජන්ම කේන්ද්‍රයේ දහවැන්න හෝ දහවැන්නාධිපති සමඟ රාහුගේ සබඳකමක් වෙයි නම් විටින් විට රැකියා තත්ත්වයන් වෙනස් වේ.
මකර ලග්න හිමියාගේ ලග්නාධිපති වන ශනිගේ පිහිටීමත් දහවැන්නාධිපති වන සිකුරුගේ පිහිටීමත් මොවුන් නියෝජනය කරන නැකතත් රාහු හා කේතු ග්‍රහයන් සිටින ස්ථානයත් නියෝජනය කරන නැකතත් රාජ්‍ය කාරක රවිගේ පිහිටීමත් දහවැන්නේ සිටින ග්‍රහයනුත් ගැන බලා මෙයින් වඩාත්ම බලවත් ග්‍රහයාගේ රැකියාව මකර ලග්න හිමියාට සහජයෙන්ම උරුම වේ.