ඩන්කන් වයිට්ට ඔලිම්පික් පදක්කම දුන්නේ ඒරාෂ්ටකයද? ගුරු මහ දශාවද?

සැප්තැම්බර් 27, 2024

ඉහත මාතෘකාව යටතේ මේ ලිපිය සුබසෙත පුවත්පතට ලිවීමට මා හට අදහසක් පහළ වූයේ 2024/09/06 වැනිදා සිකුරාදා පාරින්ද්‍ර සුගතදාස මහතා විසින් සුබසෙත පුවත්පතට මෙරටට පළමු ඔලිම්පික් පදක්කම හිමි කර දුන් ජන්ම ඒරාෂ්ටක අපලය යන සිරස්තලය යටතේ ලියන ලද ලිපිය කියැවීමෙනි. ඇත්ත වශයෙන්ම ඡ්‍යොතිෂඥයෝ බොහෝ දෙනෙකු මේ ඒරාෂ්ටක අපලය විටෙක ජන්මියාට ශුභ ඵලත් විටෙක ජන්මියාට අශුභඵල දෙන බව කිසිම ඡ්‍යොතිෂමය හේතුවක් නොමැතිව ප්‍රකාශ කරති. මෙය සම්පූර්ණ වැරදි සහගත ක්‍රියාවකි.

මක් නිසාදයත් ඒ මඟින් ඡ්‍යොතිෂය විශ්වාස කරන ජනතාවට මං මුලාවට පත් වන අතර තවත් පිරිසක් ඡ්‍යොතිෂය බොරුවක් යැයි කියා ප්‍රතික්ෂේප කිරීමටත් හංවඩු ගැසීමටත් පෙලඹෙන නිසාය. ඒ අනුව මේ ලිපියෙන් මා විග්‍රහ කිරීමට බලාපොරොත්තු වන්නේ සෙනසුරු ඒරාෂ්ටක අපලය විටෙක ජන්මියාට ශුභ පලත් විටෙක අශුභ පලත් ලබා දෙන්නේ කෙසේද? යන්න පිළිබඳවය. ඒ අනුව සෙනසුරු ඒරාෂ්ටයක අපලයට සම්බන්ධ ග්‍රහයකු වන සෙනසුරු පෙර ආත්මවලදී ජන්මියා විසින් කරන ලද අකුසල් කර්ම ප්‍රකාශයට පත්කරන අතර මෙකී සෙනසුරු ලග්නය කේන්ද්‍ර කොට ගෙන ඒරාෂ්ටක අපල උදා කළ විට ශාරීරික වශයෙන් ලෙඩ රෝග, හදිසි අනතුරු, කැඩුම් බිදුම් වැනි අපල ඇති කරන අතර, සඳු ග්‍රහයා මුල් කොට ගෙන යෙදෙන ඒරාෂ්ටක අපලවලදී ජන්මියාගේ ලෞකික ජීවිතය සම්බන්ධ බොහෝ අපල ඇති කරයි. ඒ අනුව රැකීරක්ෂා අහිමිවීම ආහාරපාන හිඟවීම, මුදල් අතින් අමාරුකම් ඇතිවීම ආදරණීයන් අහිමිවීම වැනි විවිධ ප්‍රශ්න සෙනසුරු අපලය ක්‍රියාත්මක වන භාවය අනුව සිදුවන්නේය. මෙකී සෙනසුරු උත්පත්ති කේන්දරයේ රවි ග්‍රහයා මුල්කරගෙන යෙදුණු විට ආත්මික වශයෙන් කරන ලද අකුසල් කර්ම එනම් මිනීමැරීම, රාජ්‍ය බලය බලෙන් ලබා ගැනීම, වැඩිහිටියන්ට, නායකයන්ට, පූජකයන්ට කරන ලද පාප ක්‍රියාවන් පලදීමක් සූර්ය ඒරාෂ්ටක අපලයේදී සිදුවන්නේය.

ඒ අනුව මෙකී ඒරාෂ්ටක අපලවලදි කෙතරම් දුරට අසුබ පල දානය කරයිද? යන්න තීරණය කෙරෙන්නේ උත්පත්ති කේන්දරයේ ලග්නාධිපති, රවි, සඳු යන ග්‍රහයන්ගේ බල දුබලතා අනුවය. එහිදී මෙකී සාධකයන් දුර්වල නම් සෙනසුරු ඒරාෂ්ටක අපලවලදි දැඩි අසුබ පල භුක්ති විඳීමට සිදුවන අතර, මෙකී සාධක මධ්‍යස්ථ බලයකින් යුතුව සිටිත් නම් සුබ-අසුබ මිශ්‍ර පලත් ලැබෙනු ඇත. මෙකී සාධකයන් ඉතා බලවත් නම් සෙනසුරු ඒරාෂ්ටක අපලවලදී සුළු සුළු අපල තත්ත්වයක් මිස දැඩි අපල විපත් ඇති නොවන්නේය.

එමෙන්ම යටකී ලෙස ලග්න, රවි, සඳු යන ග්‍රහයන් මුල් කරගෙන ජීවිත කාලය තුළදී වරින්වර ඒරාෂ්ටක අපල පැන නැගුණද එකී ඒරාෂ්ටක අපලවලින් අශුභඵල ලැබීමට නම් අශුභව පිහිටියාවූ රවි, කුජ, ශනි, රාහු, කේතු යන සහජ පාප ග්‍රහයකුගේ මහ දශාවක් හෝ අන්තර් දශාවක් ලැබා තිබිය යුතුය. එසේ නොමැතිව සෙනසුරු ඒරාෂ්ටක අපලයක් ලබා ඇති විටකදී බලවත්ව පිහිටියා වූ ලග්න කේන්දරයට ශුභඵල දෙන යෝගකාරක කේන්ද්‍ර, ත්‍රිකෝණ භාවයකට හිමිකම් කියන හෝ පංච මහා පුරුෂ යෝගයකට හෝ ධර්ම කර්මාධිපති වැනි යෝගයකට සම්බන්ධ ග්‍රහයකුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් සෙනසුරු ඒරාෂ්ටකයෙන් අපල විපත් ඇති වන්නේ නැත. එමෙන්ම මිථුන, කටක, සිංහ, කන්‍යා, කුම්භ, මීන යන ලග්නවලට සෙනසුරු 6,8,12 යන දුෂ්ට භාවවලට අධිපති වන හෙයින් එකී දුෂ්ට භාවයක උත්පත්තියේදී සෙනසුරු පතිතව ඇති විටකදි ගෝචරයෙන් එකී සෙනසුරු 6,8,12 යන දුෂ්ට භාවයක ගෝචරය වෙමින් උත්පත්තියේදී යෙදී තිබුණු විපරීත යෝගය ගෝචරයෙන් සක්‍රිය වන හෙයින් එවන් ග්‍රහ පිහිටීමක් ඇති ඉහත කී ලග්නවලින් ජන්ම ලාභය ලබා ඇති ජන්මීන්ට 6,8,12 යන දුෂ්ට භාවයක් කේන්ද්‍ර කොට ගෙන ඒරාෂ්ටක අපලයක් ලබා සෙනසුරු ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අන්තර් දශාවක් ලැබූ කල එකී ඒරාෂ්ටක අපල කාල සීමාවේදී ශුභ ඵල ලැබෙන්නේය. ඒ අනුව ජන්මියෙක්ට ඒරාෂ්ඨක අපලයකින් ශුභ ඵලයක් ලැබෙයිද? අශුභ ඵලයක් ලැබෙයිද? යන්න පිළිබඳව කරුණු පැවසීමට ලග්න කේන්දරයක ලග්න, රවි, සඳු, සෙනසුරු යන ග්‍රහයන්ගේ බල දුබලතා සහ ලබා ඇති මහ දශා අන්තර් දශා පිළිබඳව කරුණු පරික්ෂා කර බැලිය යුතුය. එසේ නොමැතිව ඒරෂ්ටක අපලය ලැබූ පුද්ගලයන් සමඟ කතා බහ කර ඒරාෂ්ටක අපල කාලවලදි ඔවුන් මුහුණ දුන් සිද්ධීන් පිළිබඳව කරුණුූ විමසා බලා තවත් කෙනෙකුට අසවලාට ඒරාෂ්ටක අපලයක් ලැබුවද ඔහුට කිසිදු අනතුරක් කරදරයක් සිදු වූයේ නැහැ. ඒ නිස ඔබ කලබලවන්න එපා යනාදී අශාස්ත්‍රීය ක්‍රමයට පලාපල කිව නොහැක.

දැන් අපි පහත දැක්වෙන ඩන්කන් වයිට් මහතාගේ කේන්දරය වෙත අපි අපගේ අවධානය යොමු කරමු.

උපත 1918/03/01 පෙ.ව. 9.22 කළුතර ලත්පදුරේදී හත නැකතේ පළමු පාදයෙන් උපත ලබා ඇති හෙයින් සඳු මහ දශාව ඉදිරියට වර්ෂ 0යි, මාස 6යි දින 6ක් ශේෂව තිබුණි.

ඉහත දැක්වෙන ඩන්කන් වයිට් මහතාගේ මේෂ ලග්න කේන්දරයට අනුව පළමුව අප ඉහත විග්‍රහ කළ පරිදි ලග්නාධිපති රවි, සඳු, සෙනසුරු යන ග්‍රහයන්ගේ බල දුබලතා ගැන කරුණු විමසා බැලිය යුතුය. ඒ අනුව ලග්න කේන්දරයේ ලග්න අධිපති අඟහරු, පාපයන්ට ශුභ පල දෙතැයි සැලකෙන උපචය භාවයක් වන 6 වැන්නෙහි පිහිටීම ලග්නය බලවත් කරන සාධකයකි. එමෙන්ම රවි පාපින්ට ශුභ ඵල දෙතැයි සැලකෙන උපචය භාවයක් වන 11වැන්නෙහි සිටීම රවි බලවත් කරන සාධකයකි. ඒ නමුත් මේ උපචය භාවයන්හි පතිත කුජ, රවි, දෙදෙනා සතුරුව පතිතවීම එකී ග්‍රහයන් දුර්වල කරන සාධකයක් බව ඇතැමෙකුට හැඟී ගියත් නවාංශක කේන්දරයේ මෙකි ග්‍රහයන් දෙදෙනා මිත්‍ර නවාශකවල සිටීම නිසා ලග්න කේන්දරයේ සතුරු බව අහෝසි වී යන්නේය. එමෙන් අප මාතෘකාවට සම්බන්ධ සඳු ග්‍රහයා දුෂ්ඨ භාවයක් වන 6 වැන්නෙහි පතිතව ඇතත් සඳු කන්‍යාවට මිත්‍ර ග්‍රහයෙක් නිසාත්, සඳු තමාට හිමි කටක නවාංශකයේ මෙන්ම තමාගේම නැකැතක් වන හත නැකතේ පතිතව සිටීම එකී සඳුගේ භාවගත දුර්වලතාවය මඟ හැරී සුබ පල දානය කරන කරුණු වන්නේය. අප මාතෘකාව සම්බන්ධ අනෙක් ග්‍රහයා වන සෙනසුරු කටක රැසෙහි සතුරුව පතිතව ඇතත් සෙනුසරුට අයත් පුෂ නැකැතේ පතිතව ජන්ම රවි සහ සඳුගෙන් උපචය භාවයක පතිතව සිටින හෙයින් සෙනසුරුද බලවත් වන්නේය. ඒ අනුව එකී ග්‍රහයන්ගේ පිහිටීම් අනුව ඩන්කන් වයිට් මහතාට සෙනසුරු ඒරාෂ්ටක අපලවලදි දැඩි අසුබ පල උදා නොකරන ශුභ අශුභ මිශ්‍ර හෙවත් සම පලයන් දානය කරන බව නිගමනයකට එළැඹිය හැකිවන අතර මෙහිදී එකි සුබ අසුබ මිශ්‍ර පල ලැබෙන්නේ ලබා ඇති දශාව අනුවය. ඒ අනුව පාප ග්‍රහයකුගේ දශාවක් ලබා ඇත්නම් දැඩි අසුබ පල ලැබෙන අතර, සමපල දායක ග්‍රහයකුගේ මහ දශාවක් ලබා ඇත්නම් ශුභ අශුභ මිශ්‍ර පලයක් ඇති කරන අතර බලවත්ව පිහිටියා වූ කේන්ද්‍ර ත්‍රිකෝණ හෝ යෝගකාරක ග්‍රහයකුගේ දශාවක් ලබා ඇත්නම් සුළු අපල තත්ත්වයක් ඇති කරන මුත් බොහෝ සුබ පල ලැබෙන්නේය.

ඒ අනුව දැන් අපි ඩන්කන් වයිට් මහතා 1948.07.31 දින ජන්ම ඒරාෂ්ටක අපලයේ පළමු අදියරේදී සෙනසුරු ග්‍රහයාට සිංහ රාශියේ ගෝචරය වෙමින් සිටියදී ඔලිම්පික් රිදී පදක්කම දිනා ගන්නා විට ලබා තිබුණු මහ දශා අතුරු දශා පිළිබඳව කරුණු විමසා බලමු. ඒ වන විට ඔහුට යෝගකාරක ගුරු ග්‍රහයාගේ මහ දශාවේ රාහුගේ අන්තර් දශාව ලබා තිබුණූ අතර, මෙකී ග්‍රහයන් ලග්න කේන්දරයේ බලවත්ව පිහිටා ඇති නිසා ඒ මහතාට එකී මහ දශා අන්තර් දශාවලදි ඔලිම්පික් රිදි පදක්කමක් ලබා ගැනීමට හැකි විය. එමෙන්ම 1998 ජූලි 3 වැනි දින මිය යන විට ලග්න ඒරාෂ්ටක අපලයක් සමඟ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක අපලයක් ලබා තිබිණි. එවිට කේතු මහ දශාවේ රවි අතුරු දශාව ලබා තිබුණූ අතර මහ දශා අධිපති කේතු මරණයට කාරක සහජ පාපියකු වීමත් රවි සහජ පාපියකු මෙන්ම ආත්මකාරක ග්‍රහයා වී බාධක ස්ථානයක් වූ සෙනසුරුට අයත් 11 වැන්න වූ කුම්භ රැසෙහි උත්පත්තියේදී පිහිටීමත් මෙකී මහ දශා අන්තර්දශා අධිපතියන් ඔවුනොවුන්ට සතුරුවීමත් හේතු කොට ගෙන ඒ මහතා එකී ලග්න සහ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක අපල කාල සීමාවේදි මිය ගියේය. ඒ අනුව එතැනදී සෙනසුරු අපලයේ අසුබ පල විපාක ක්‍රියාත්මක වීමට නම් මහ දශා අන්තර්දශා අධිපතියන් අසුබව සිටිය යුතු බවත් මහ දශා අන්තර් දශා අධිපතියන් සුබ ග්‍රහයන් වී ඇති විට සෙනසුරු අපලයක් ලැබුවද එහි අසුබ පල විපාක ක්‍රියාත්මක නොවන බවත් පාඨක ඔබට හොඳින් අවබෝධ වන්නට ඇතැයි සිතන අතර ඒ අනුව ඒරාෂ්ටක පිළිබඳව දශාව උපයෝගී නොකර ගෙන නිවැරදි පලාපලයක් කිව නොහැකි බව පාඨක ඔබට වඩාත් හොඳින් අවබෝධ වන්නට ඇතැයි ද සිතමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.