වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
සරු අස්වැන්නයි හෙළ ගොවි සිරිතයි
අපේ පැරැණි හෙළ ගොවි රජවරුන් ගොවි තැනේදී බොහෝ විට කෙම් ක්‍රම, ශාන්ති කර්ම මෙන්ම නැකත් ශාස්ත්‍රය භාවිත කළබව නොරහසකි. ඔවුන් කිසි විටෙකත් රසායනික පොහොර, කෘමිනාශක භාවිත කරමින් මිනිසාගේ ශරීර සෞඛ්‍යය පරිහානිගත කරන ආයුෂ හීන කරන ආහාර භෝග නිමවන්නට උත්සුක වූයේ නැත.
නිවැරැදි පෙරදිග ශාස්ත්‍රීය ක්‍රම, කාබනික වගා ක්‍රම භාවිත කරමින් සරු අස්වැන්නක් දුෂ්කරතාවයකින් තොරව ලබාගන්නට ඔවුන් සමත්වූ අතර එම භවභෝග මගින් තම රටවැසියා ශක්තිමත් කරන්නටද ඔවුහු උත්තම දායකත්වයක් ලබා දුන්හ. රාවණ අධිරාජයන්ගේ යුගයේ සිරිලක පැවති මහා සශ්‍රීකත්වයට මේ කෘෂි ශාස්ත්‍රයද හේතු වූ බවත් රාවණ රජතුමන්ගේ සොහොයුරෙකු වන කුම්භකර්ණ කුමාරයා සිරිලක ඒ ඒ පළාත්වල පැවති දේශගුණික හා භූ තත්වයන් ගැන පර්යේෂණ කරමින් ඒ ඒ ප්‍රදේශයන්ටය උචිත වූ භෝග හඳුන්වා දුන් බවත්, ඡ්‍යොතිෂ මන්ත්‍ර ශාස්ත්‍රය භාවිතයෙන්ද අස්වනු විශාල වශයෙන් ඉහළ නංවාගත් බවත් ඓතිහාසික පුරාවෘත්තයන් මඟින් පැහැදිල ිවේ. ඒ අපට අසන්නට ලැබෙන හෙළයේ එක් මහා කෘෂි භූ විද්‍යාඥයෙකි. එවන් බොහෝ ශාස්ත්‍ර ශූරයින් මෙරට කලින් කලට පහළ වූ බව ඉතිහාසය සාක්ෂි දරයි. එවන් පැරැන්නන් විසින් පර්යේෂණ කර සාර්ථක වූ කෘෂිකර්මය හා බැඳුණු ගුප්ත ශාස්ත්‍රීය හා ඡ්‍යොතිෂ ක්‍රමවේදයන් ඔබ වෙත ගෙන ඒමත් එම ක්‍රමවේදයන් නැවත මෙරට ව්‍යාප්ත කොට වස විසෙන් තොර සරු අස්වැන්නක්, පෙර රජ දවස මෙන් අත මිට සරු ගොවි පිරිසක් බිහිකරන්නටත් නිරෝගී රටවැසියන් පිරිසක් බිහිකිරීමටත් යම් හෝ දායකත්වයක් ලබා දීමත් මේ ලිපි පෙළෙහි අපේක්ෂාවයි.
අතීතයේ වගාබිම් සැකසීමට පූර්වයේ අනුගමනය කළ පිළිවෙත්
පැරැන්නන් විසින් වගාව සඳහා බිම් සැකසීමට පළමුව ගොවිතැනට මූලික වන ගොවි මහතාගේ ජන්ම කේන්ද්‍රයට සීහෙන ශුභ මුහුර්තයක් නක්ෂත්‍රවේදියෙකු ලවා සකස් කරගන්නා ලදී. වත්මනේද එසේ ඔබට සීහෙන ශුභ මුහුර්තයක් පළපුරුදු නක්ෂත්‍රවේදියෙකු ලවා සකස් කර ගත හැකිය. ඉන්පසු එම නැකත් දිනට පෙර දිනස්නානය කර පිරිසුදු වී බුදුන් වන්දනා කරන ස්ථානය අසල මල් බුලත් අසුනක් තනා පහත දක්වා ඇති මන්ත්‍රයෙන් 108 වරක් පැන් මතුරා අවශ්‍ය ප්‍රදේශයට (කෙතට) ඉසගන්න. ඉන්පසු අදාළ නැකත් දිනයේ තමාද ස්නානය කොට පන්සිල් ගෙන කිරිබත් අනුභවකොට නැගෙනහිරට හෝ උතුරට (නැකත් දිනට අදාළ ශුභ දිශාව උතුර හෝ නැගෙනහිර ගත හැකි මුහුර්තයක් විය යුතුය.) මුහුණලා පොළව කනින්නට පටන්ගත යුතුය.
මන්ත්‍රය
වසුන්ධරේ නිසිදෙති පුෂ්පදේවී පසීදතු
මනොස්තු ශුභ
ගානීත්‍යං කෘෂිකර්‍ම ප්‍රසිධ්‍යතාම්ං
තවද ජෝතිෂයට අනුව ඒ ඒ රාශි උදාවන කාල හෝරාවන් තුළ වගා කළ යුතු හා නොකළයුතු දෑ මෙලෙස දක්වා.
මේෂ - වපුරන භෝග වර්ගවලට සුදුසු නැත. ළූණු වර්ග, වැල් වර්ගවලට වඩාත් සුදුසු වේ.
වෘෂභ - රාබු ආදී අල වර්ග හා එළවළු වර්ගවලට සුදුසු වේ
මිථුන - බතල හා ඉන්නල වැනි වැල් සිටුවා අල බසින භෝගවලට උචිත වේ.
කටක - වැල් වර්ග සිටුවීමට හා ධාන්‍ය වැපිරීමට උචිත වේ.
සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, කුම්භයනාදී ලග්න පවතින වේලාවන්වල වැපිරීම් ආදිය කිරීමෙන් වල්පැළ වැඩවීම කෘෂිරෝග උවදුරු ඇතිවීම යනාදී දේවලින් වගාවටහානිවනු ඇත. තවද වී හෝ වෙනත් ධාන්‍ය වැපිරීමට පෙර ඉහත ශාන්ති කර්මය භාවිත කිරීමෙන් ඔබගේ අස්වැන්න වඩාත් සරු කරගත හැකි වනු නොඅනුමානය.
මෙහිදී ඇලකින් ලබාගත් නොපෑගුණ තිරිවානා ගල් 9ක්, වී වැපිරීමට ගන්නා බිත්තර වී සේරුවක් හෝ ධාන්‍ය සේරුවක් පමණ, සාම්බ්‍රානි සේරු කාලක් පමණ සූදානම් කර ගන්න. වැටමාර දඬු හා කෙසෙල් පතුරුවලින් මල් බුලත් තට්ටුවක් තනා බුලත් 5, සුවඳ මල් වර්ග 5, කපුරුපෙති 5, පඬුරු 5 තබාසඳුන් , පිනිදිය, පහන් තබා සූදානම් කරගන්න. පෙරකී බිත්තර වීහෝ ධාන්‍ය , සාම්බ්‍රාණී යනාදිය ද මල්බුලත් තට්ටුවේ තබාගන්න. පසුව ඔබ ඉස් සෝදා ස්නානය කොට පිරුවට ඇඳ පන්සිල් ගෙන කරණිය මෙත්ත සූත්‍රය කියා දෙවියන්ට පින් දී ශුභ දිශාව බලා රාහු කාලයෙන් තොර වේලාවක පහත මන්ත්‍රයෙන් 108 වරක් ජප කරන්න.
මන්ත්‍රය
ඕං නමෝ තස්සභගවතෝ අරහතෝ සම්බුද්ධස්ස බුද්ධස්ස ඕං නමෝ
ඒ සීයක් රත් ඇල්කෙතේ මැද්ද මණ්ඩපයක් තනවා
අපගේ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ වැඩමකර වදාරා
රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන නව ග්‍රහයන් නව දෙනා සිටුවා අහසට අතක් ගසා මල් වරුෂාවක් වැස්සුව සේක.
ඒ පියුම් පිට වැඩ සිට සිට ගෙන වරෝවරඤඤූ යන ගාථාව වදාරා වැඩ උන්සේක.
එතැන් පටන් ඒ රත් ඇල්කෙතේ කල විට පිරී ගිය ආඥාවෙන් ආනුභාවයෙන් අදත් මාගේ කල විටට, ගොයමට සර්ව ආරක්ෂාවයි සිඬි බුඬ මන්ත්‍ර සිඬිඒස්වාහඃ
මෙසේ නිසි පරිදි ජීවම් කරගත් බිත්තර වී සේරුව අනිත් බිත්තර වී දියලන විට එයට මුසුකර වැපිරීමට භාවිත කරන්න. තිරිවානා ගල් 9 කුඹුරවටේට වළලන්න. සාම්බ්‍රානිවලින් කුඹුර වටේ තෙවරක් දුම් අල්ලන්න. කහ පැන් දෙහිඅත්ත භාවිතයෙන් කෙතට හා සීමාවට ඉසින්න.
කෘමි උවදුරු හා සත්ත්ව හානිවලින් ආරක්ෂාවට
වගාව වැඩීගෙන එන සමයේ ඇතිවන කෘමි උවදුරු සත්ත්ව හානිවලින් වළක්වා ගන්නට නොපෑගුණ වැලි ගෙන බෝමැඩක් අභියස මල් අසුනක් තනා ඉහත මන්ත්‍රයෙන්ම 108 වරක් මතුරා කෙතට හා අවට ඉසින්න.
ඉහත කී ශාස්ත්‍රීය ක්‍රමවේදයන් භාවිතයෙන් ඔබගේ ගොවිතැනෙහි අස්වනු සරු කර ගනිමින් අතීතයේ මෙන් ස්වයං පෝෂිත කෘෂි යුගයක් නිර්මාණය කර ගනිමින් වස විසින් තොර ආහාර රටාවක් බිහිකර නිරෝගී ශක්තිමත් අනාගත පරම්පරාවක් ගොඩ නැඟීම සඳහා ඔබත් දායකවනු දැකීම අපගේ ඒකායන පරමාර්ථයයි. (ඉදිරි ලිපියෙන් දෙවියන්ගේ ආශිර්වාදය හා ආරක්ෂාව ලබාගෙන කෘමි සත්ත්ව උවදුරු ආදිය දුරු කරගෙන අස්වනු වැඩි කරගත හැකි මහා බල සම්පන්න මහඟු යන්ත්‍ර රත්නයක් බලාපොරොත්තු වන්න)