ඔබත් උපන්නේ ජූනි මාසයේ 15 සිට 21 දක්වා දිනෙකද?

ජුනි 14, 2024

 

ජූනි 15 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර එය සිකුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුනි මාසයේ නිසා ඔබ මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාට මෙන්ම සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. සියුම් නිර්මාණයන් සඳහා විශේෂ හැකියාවක් සහිත ඔබ ස්වභාව ධර්මයට දැඩිව ඇලුම් කරන අයකුවේ. මිතුරු මිතුරියන් ඇසුරට විශේෂ කැමැත්තක් දක්වන අතර ප්‍රබල ලිංගික ආකර්ෂණයක්ද සහිත වේ. විශේෂයෙන් ජනතාව අතර ප්‍රසිද්ධ චරිතයකට හිමිකම් කියන අතර අනුන්ට උදවු උපකාර කිරිමේ යහපත් ගුණාංගයක් ඔබ සතුවේ. සංගීතය, චිත්‍ර වැනි නිර්මාණශිලි කටයුතුවලින් ආර්ථිකමය වශයෙන්ද ඉදිරියට යා හැකිය. නමුත් හදිසියේ ඇතිවන දුක්ඛිත කාලපරිච්ඡේදවලටද මුහුණ දීමට සුදානම් විය යුතුය. අනපෙක්ෂිතව දේපළ උරුමකම් ලැබිමට වාසනාව ඇත. සෞඛ්‍යමය වශයෙන් ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයන්ට ලක්විය හැකිය.

 

ජූනි 16 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 7 වන අතර එය සදු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුනි මාසයේ නිසා ඔබ මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාගේ මෙන්ම සඳු, නෙප්චූන් ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. ඔබට ප්‍රබල ඉව ශක්තියක් උත්පත්තියෙන්ම පිහිටන අතර ගුප්ත ශාස්ත්‍රයන් හැදෑරීම කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වයි. එසේම ගුප්ත විද්‍යාවන් සම්බන්ධයෙන් දේශන පැවත්වීම පොත් පත් ලිවීම වැනි දේ ද ඔබ අතින් සිදුවන අතර එමඟින් ද ඔබට ඉදිරියටද යා හැකිය. රැකියාවන් නිරන්තරයෙන් වෙනස් වන අතරමුදල් ඉතිරි කිරීම දුෂ්කර කාර්යයක් වේ. පැරැණි භාණ්ඩයන් එකතු කිරීම ඔබගේ විමෝදාංශයක් වන අතර විවාහය සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම ගැටලු ඇතිවේ. එසේම ළඟම හිතවතුන්ගෙන් පවා ගෘහ ජිවිතයට බලපෑම් ඇතිවෙන බැවින් ප්‍රවේශම් විය යුතුය. සෞඛ්‍යමය වශයෙන් රුධිර සංසරණ පද්ධතියේ ගැටලු ඇතිවේ.

 

ජූනි 17 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 8 වන අතර එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුනි මාසයේ නිසා ඔබ ශනි ග්‍රහයාගේ මෙන්ම බුධ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ප්‍රබල හැඟීමක් සහිත නායකත්වයක් මෙන්ම සංවිධානාත්මක කටයුතු සඳහාද දක්ෂතාවයක් සහිත ඔබ ජිවිතයට අධ්‍යාත්මික වටීනාකමක් ලබාදේ. එහෙත් ජීවිතයේ මැදි වයස යන තුරු නිරන්තර නොයෙක් ආකාරයේ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවේ. නිතිමය ගැටලු විවේචනයට ලක්වීම ආදිය නිරතුරවම ඔබ පසු පස හඹා එනබැවින් ප්‍රවේශම් විය යුතුය. හවුල් කටයුතුවලට ඔබ නොයා යුතු අතර ගණිතමය දාර්ශනික සහ ගැඹුරු සාහිත්‍ය කෘති නිර්මාණයන් තුළින් ඉදිරියට යා හැකිය. එහෙත් මුදල් ඉතිරි කිරීම අපහසු වේ. සෞඛ්‍යමය වශයෙන් ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධයෙන් රෝග ඇතිවිය හැකි බැවින් පරෙස්සම් විය යුතුය.

 

ජූනි 18 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 9 වන අතර එය කුජට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුනි මාසයේ නිසා පුද්ගලයා කුජ ග්‍රහයාට මෙන්ම බුධ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබ නිරන්තරයෙන් තරමක කලහාකාරි ස්වභාවයෙන් කටයුතු කිරීමට පෙලඹෙන අතර ප්‍රබල අධිෂ්ඨානයකින් යුක්ත අයෙකු වේ. තර්කානුකූල බවක් ඔබේ සියලු කටයුතු කෙරෙහි පවතින අතර සෘජුව අදහස් ප්‍රකාශ කිරිම නිසා මිතුරන් සතුරන් බවට පත්වේ. නමුත් මානව හිතවාදිබවක් ඔබ තුළින් දැකිය හැක. ආදරය සම්බන්ධ කටයුතුවලදි තමාට වඩා අනෙකාගේ ආදරය බලාපොරොත්තු වන අතර විරුද්ධ ලිංගිකයන් රාශියක් සමග සම්බන්ධතා රාශියක් පවත්වා ගනි. ආර්ථිකය සම්බන්ධ කටයුතුවලදි ගැටලු රාශියක් ඇතිවේ. නව නිර්මාණ හඳුනාදීම තුළින් ඉදිරියට යා හැකිය. සෞඛ්‍යමය වශයෙන් විදුලිය නිසා අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.

 

ජූනි 19 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුනි මාසයේ නිසා ඔබ මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාගේ මෙන්ම රවි ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. ළමා කාලයේදි පවා පරිපාලනමය ලක්ෂණ ඔබ සතුවන අතර ස්වකීය උත්සහයෙන් අධිෂ්ඨානශීලීව ඉදරියට ගමන් කරන අයකු වේ.

තමාගේ අභිමතාර්ථ ඉටුකර ගැනිම උදෙසා කුමන ක්‍ෂේත්‍රයක වුවද අධිකාරි බලය ඔබ ලබා ගනි. විවෘත්ත හදවතක් ඔබ සතුය. තනි තීරණ ගැනීමට වඩාත්ම ප්‍රිය කරනු ලබන අතර එසේම ඔබ තමා දරන මතයක් වෙනුවෙන් පෙනි සිටී. තමාගේ වැඩවලට වෙනත් පුද්ගලයන් ඇඟිලි ගැසීම් සිදුකරනවාට ඔබ කැමැති නැත. ආර්ථික දියුණුව සඳහා දියුණු මානසික ක්‍රියාකාරිත්වයකින් වැඩ කළ යුතුය. සෞඛ්‍යමය වශයෙන් හෘද්‍යාබාධ ඇතිවීමට පැහැදිලි ඉඩකඩක් ඇති බැවින් ප්‍රවේශම් විය යුතුය.

 

ජූනි 20 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 2 වන අතර එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජුනි මාසයේ නිසා ඔබ මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාගේ මෙන්ම සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. අනුන්ගේ කරදරයකදී බොහෝ දුකට පත්වීම ඔබගේ සිරිත වන අතර එම දයාබරත්වය හේතුවෙන් බොහෝ අය ඉතා ක්‍ෂණිකව ඔබට සමිපවේ. එම නිසා අති විශාල මිත්‍ර සමාගමක් දකින්න ලැබෙන අතර විශේෂයෙන් ඉතාමත් ළා බාල අය සමඟද මිතුරු සබඳතා පවත්වා ගනී. සංචාරය සඳහා විශේෂ කැමැත්තක් දක්වන බැවින් එකම රැකියා ස්ථානයක වැඩකිරිම ප්‍රිය නොවේ. කියවීම ලිවීම සඳහා වැඩිකැමැත්තක් දක්වන බැවින් එම අංශයන්ගෙන් ඉදිරියට යා හැකිය. එහෙත් මුදල් සම්බන්ධව වැඩි සැලකිල්ලක් නොදැක්වීම නිසාවෙන් ජිවිතයේ අවසාන කාලයේ ගැටලුවලට මුහුණ පෑමට සිදු වේ.

 

ජූනි 21 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 3 වන අතර එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුනි මාසයේ නිසා ඔබ මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාගේ මෙන්ම ගුරු ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. ඔබ තිරණාත්මක ලෙස ජීවිතයේ ඉහළ නැගීමේ ආශාවෙන් යුක්ත අයෙකු වන අතර කිසිවෙකුට දෙවැනි වීමට කැමති නැත. පිරිස් පාලනයට ඔබ ඉතාමත් කැමැති අතර හොඳ සංවිධානාත්මක ශක්තියක් ඔබ සතුය. සියලු වැඩකටයුතුවල සාර්ථක අවසානයක් ඔබ බලාපොරොත්තුවන නමුත් කිසිම කටයුත්තකින් ඔබ සෑහීමකට පත්වන්නේ ද නැත. පහසුවෙන් මුදල් ඉපැයිය හැකිය නමුත් සෑහීමකට පත් නොවන බැවින් සමාජ සේවා ආයතනවලට මෙන්ම දුප්පත් අයට උදව් උපකාර කරයි. සෞඛ්‍යමය වශයෙන් තදබල හිසේ අමාරු ශ්වසන පද්ධතියේ අසනීප ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.