බුධ ග්‍රහයාගෙන් යෙදෙන යෝග

අගෝස්තු 11, 2023

 

බුධ ග්‍රහයා වූ කල්හි මිනිසාට ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ඥානය ලබා දෙන ග්‍රහයෙකි. මින් අදහස් කරන්නේ බුධ ග්‍රහයා විසින් මිනිසාට යමක් අවබෝධ කර ගැනීමට ඇති හැකියාව මතක තබා ගැනීමේ හැකියාව තර්කානුකූලව සිතා යමක් තේරුම් ගැනීමේ ශක්තිය වැනි ඥාන ශක්ති ලබා දෙන ග්‍රහයෙක් වන හෙයින්, ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට උපකාරීවන විෂයයන් වන භාෂාව, ගණිතය, වාණිජ, විද්‍යාව වැනි විවිධ විෂයන් හැදෑරීමට අවශ්‍ය ඥාන ශක්තිය බුධ ග්‍රහයා විසින් මිනිසාට ප්‍රදානය කරන බවයි.

ඒ අනුව ජන්මියකුගේ බුද්ධි ශක්තිය කෙසේද? ඉගෙනීමේ ශක්තිය කෙසේද? යන්න පිළිබඳව කරුණු හෙළිදරවු කර ගැනීමට බුධ ග්‍රහයා කේන්ද්‍ර කොට ගෙන යෙදෙන ග්‍රහයෝග ප්‍රයෝජනවත් වන්නේ ය. පහත දැක්වෙන්නේ බුධ ග්‍රහයා කේන්ද්‍රකොට ගෙන යෙදෙන ග්‍රහයෝග පිළිබඳව කෙටි විග්‍රහයකි.

 

අත් පොත් යෝගය

බුධ ග්‍රහයා තම ස්වක්ෂේත්‍ර රැස වන මිථුන රාශි ගතවීමෙන් අත්පොත් යෝගය යෙදේ. මෙකී යෝගයේ පල විපාක වශයෙන් සඳහන් කළ හැක්කේ මෙකී යෝගධාරියා වයසට වඩා නොමේරූ පෙනුමකින් යුත් ප්‍රයෝගයෙහි දක්ෂ, ලේඛන කලාව, සාහිත්‍ය, ඡ්‍යොතිර් විද්‍යාව, ගණිතය වැනි ශාස්ත්‍රයන් ප්‍රගුණ කළ උගත් බුද්ධිමත් අයෙක් යන්නයි.

 

විදුරවි යෝගය

බුධ ග්‍රහයා කන්‍යා රාශිගතව සිටීමෙන් විදුරවි යෝගය යෙදේ. ඒ අනුව මෙකී යෝගයේ පල විපාක වශයෙන් සඳහන් කළ හැක්කේ මෙකී යෝගයෙන් උපන් ජන්මියා වහා අවබෝධ වන සුලු පණ්ඩිත නුවණකින් හෙබි අයෙක් වන බවත් ඒ හේතු කොට ගෙන ඔහු කයට වඩා බුද්ධිය මෙහෙයවා ජයග්‍රහණ අත්කර ගන්නා බවත් උගත්කමේ අග්‍ර ස්ථානයට පැමිණෙන ඔහු ප්‍රසිද්ධ විද්වතකු වන්නේය යන පල විපාකයන්ය.

 

භද්‍රා යෝගය

බුධ ග්‍රහයා කේන්ද්‍රකොට ගෙන යෙදෙන පංච මහ පුරුෂ යෝග අතරින් බලවත් යෝග විශේෂයක් වන භද්‍ර යෝගය මිථුන, කන්‍යා, ධනු, මීන යන උභය ලග්නවලට පමණක් යෙදෙන බලගතු යෝග විශේෂයක් වන්නේය. ඒ අනුව එකී උභය ලග්නයක කේන්ද්‍ර ස්ථාන හතරෙන් එක් කේන්ද්‍ර ස්ථානයක බුධ, ග්‍රහයා ස්වක්ෂේත්‍ර, මූල ත්‍රිකෝණ උච්ච යනාදි බලයකින් යුතුව සිටිය විට මෙකී භද්‍ර යෝගය පැන නඟින්නේ ය.

මෙකී යෝගධාරියා කෙරෙන් විද්‍යමාන ප්‍රධාන ගති ලක්ෂණයන් වන්නේ මනා සිහි කල්පනා ශක්තියකින් සහ කායික සහ මානසික ශක්තියෙන් යුත් වයසට වඩා තරුණ පෙනුමකින් යුත් ගණිතය, භාෂාව, මුද්‍රණ ශිල්පය, ලේඛනය, පරිගණක විද්‍යාව, ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය වැනි විෂයන් පිළිබඳ පරතෙරටම දැනුමක් ලැබුවෙකුවීම සහ එකී දැනුම හේතු කොට ගෙන ධනවත් වීම යන විපාකයන් ය.

 

බුධ දීප්ත යෝගය

රාහු, කේතු ගෙන් එක් පසක බුධ ග්‍රහයා බලවත්ව යෙදීමෙන් මෙකී බුධ දීප්ත යෝගය නිර්මාණය වන්නේ ය. ඒ අනුව මෙකී යෝගය, වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, තුලා, ධනු, මකර, කුම්භ යන ලග්නවලට පමණක් ශුභඵල ගෙන දෙන යෝග විශේෂයක් වන්නේ ය. ඒ අනුව මෙකී බුධ දීප්ත යෝගයෙන් උපන් ජන්මියා ජීවිතයේ මුල් කාලයේදී බොහෝ දුක් කරදරවලට මුහුණ දී පසු කලෙකදී බුධ ග්‍රහයාගෙන් ලැබෙන තාර්ක බුද්ධිය සථානෝචිත ප්‍රඥාව මතක ශක්තිය, කතා කිරීමේ දක්ෂතාවය, ගණිතමය දක්ෂතාවය, වෙළෙඳාමට ඇති දක්ෂතාවය හේතු කොටගෙන පසු කලෙකදී ජීවිතය සමෘද්ධිමත් කරගන්නේ ය. ඒ අනුව මෙකී යෝගයෙන් උසස් ශුභ ඵලයක් ලැබීමට නම් බුධ ග්‍රහයාට අයත් මහ දශාවක් ලැබිය යුතු ය. නැති නම් මෙකී යෝගය ලග්න කේන්දරයක යෙදී තිබුණ ද ශුභ ඵල ලැබෙන්නේ නැත.

 

 

ඡ්‍යොතිෂවේදී උදම් පෙරේරා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.