පෙබරවාරි මාසයේ උපන් ඔබ ගැනයි...

ජූලි 28, 2023

පසුගිය සතියේ ඕනෑම වර්ෂයක ජනවාරි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර අද අපි පෙබරවාරි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කථා කරමු.

ජනවාරි මාසයේ 21න් පසු 28 දක්වා මකර රාශියේ බලය කෙමෙන් අඩුවන අතර කුම්භ රාශීයේ බලය කෙමෙන් වැඩි වේ. ජනවාරි මාසයේ 28 සිට ශනිගේ (ඝෘණ) බලය පෙබරවාරි 19 දින දක්වා උපරිම බලයෙන් ක්‍රියාත්මක වන අතර මෙම කාලය වායු තිවංකයට අයිති වේ. තිවංකය වායු වීමත් ශනි ඍණවීමත් නිසා මේ මස උපන් පුද්ගලයන්ට විදේශ ගමන්, නිවාස මාරු කිරීම, දික්කසාද වීම්, අලුත් සම්බන්ධතා, ආදිය පහසුවෙන් සිදුවේ.

මේ මාසයේ උපන් පුද්ගලයන් ආකර්ෂණීය පෙනුමක් ඇති අධි සංවේදිභාවයෙන් යුක්ත පුද්ගලයන් වේ. ඒ නිසා බොහෝ විට තමන්ගේ ක්‍රියාකාරකම් හා අදහස් අනෙක් පුද්ගලයන්ගේ අදහස් හා ක්‍රියාකාරකම් හා ගැටෙන විට හෝ පරස්පර වන අවස්ථාවලදී සිත් රිදිම්වලට මුහුණ දීමට සිදුවනු ඇත. සමාජයේ බොහෝ පිරිසක් ඇසුරු කළද ජීවිතයේ තනිකම පාළුව තුරුළු කරගෙන ජීවත් වන පුද්ගලයන් වේ. එනම් නිහඬව සිටීමට ඔවුන් කැමති ය. එසේම මේ මස උපන් අයවලුන් අනෙක් පුද්ගලයන්ට දැනෙන හැඟෙන පරිදි ආදරය කිරීමට අසමත්ය. එම නිසාම අනිත් පාර්ශ්වය මේ අයගේ හෘදයාංගමභාවය හා ළැදියාව කිසි විටෙක අවබෝධ කර ගන්නෙ නැත. එසේ වුවත් මොවුනට හොඳයැයි හැඟුණොත් යම් අයෙකු ඔවුන් වෙත ප්‍රබල පක්ෂපාතීත්වයක් පළකිරිම මෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට පවා මොවුන් පෙලඹේ.

පෙබරවාරි මස උපන් පුද්ගලයන්ට හොඳ ඉව ශක්තියක් පිහිටා ඇති හෙයින් ඇසුරු කරන්නන්ගේ හොඳ නරක කලින් හඳුනාගත හැකිය. නමුත් ඇසුරු කරන්නන්ගේ වැරැදි දැක දැක නිවැරැදි කිරීමට උත්සාහ නොගන්නේ එසේ කිරීමෙන් ඔවුන් රිදවීමකට භාජනය වේයැයි උපකල්පනය මතය. තමාගේ අතින් මිතුරාගේ නොහොඳකම් ප්‍රකාශ වීම මිත්‍රත්වය පළුදුවීමට හේතුවක් වේ යැයි ඔවුන් අදහස් කරන බැවින් නිසි අවස්ථාවේ ගත යුතු ක්‍රියාමාර්ග නොගැනීම ඔවුනටම මානසික පීඩනයකට හේතු වනු ඇත. මිතුරන් තෝරා ගැනීමේදි ඉතා පරෙස්සම් විය යුතුය. ආත්ම විශ්වාසය මඳකම නිසා මිතුරාගේ අණසකට යටත් වීමට සිදුවේ. ආධාර උපකාර කිරිමට මේ පුද්ගලයන් නිරායාසයෙන්ම ඉදිරිපත් වේ. එම නිසා බොහෝවිට ජනතා සුබ සාධනයට පිහිටුවා ඇති ආයතනවලට අධාර කිරීමට පෙලඹේ. එසේම සුබ සාධන ආයතනවල ප්‍රධාන තනතුරුවලට පත්වුවත් එම තනතුරු අනෙත් අයට පරිත්‍යාග කරනු ලැබේ. පොදු යහපත වෙනුවෙන් විශාල දායකත්වයක් දෙන පුද්ගලයන් පෙබරවාරි මාසයේ උප්පත්තිය ලැබීම විශේෂත්වයකි.

එමෙන්ම පෙබරවාරි මාසයේ උපන් අයවලුන් තර්කාණුකූල මනසක් ඇති පුද්ගලයන් වේ. එම නිසාම සියලු කටයුතු කෙරෙහි විද්‍යාත්මක ඇසකින් බලනු දක්නට ලැබේ. තර්කනයට අදාළ සියලු විෂයන් පිළිගනී. සැඟවුණු දක්ෂතා රාශියක් මොවුන් සතුව ඇත. අවශ්‍ය අවස්ථාවලදි පමණක් සියල්ලන් මවිතයට පත්වන ආකාරයෙන් ක්‍රියාත්මක වේ. නමුත් සාමාන්‍ය තත්ත්වයන් යටතේ අධිසංවේදිතාවය හේතු කොටගෙන සතුව ඇති විශේෂ හැකියාවන් හෙළිදරව් වන්නේ නැත. එම නිසා සැඟවි ඇති හැකියාවන් ප්‍රයෝජනයට ගන්නේ නම් සමාජයේ ප්‍රබල ස්ථානයකට පත්වීම සඳහා ඔවුනට හැකියාව ඇත. හැම දෙයක් ගැනම විමසිල්ලෙන් බලන එසේම තැනට සුදුසු ලෙස සිටීමට හැකි පිරිසක් පෙබරවාරි මාසයෙන් බිහිවේ. තමන්ට ජීවිතයේදි මුහුණදීමට සිදුවන ඕනෑම අභියෝගයකට මුහුණදීමට හැකියාව මෙන්ම ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාවද ඔවුන් සතුවේ. එසේම මානසික ගැටලුවලින් පෙළෙන්නන් සහ උන්මත්තකයින් යථා තත්ත්වයට පත් කිරිමට හොඳ හැකියාවක් ද මොවුන් සතුව ඇත.

මේ මාසයේ උපන් අයට බොහෝවිට ආමාශයේ උඩ කොටසේ ආබාධ අක්මාව පිත්තාශය සම්බන්ධ ආබාධ ඇතිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. එහෙත් මේ අසනීප තත්ත්වයන් වෛද්‍යවරුන්ට හඳුනාගැනීමට හෝ ප්‍රතිකාර කිරීමට අපහසුවේ. එමෙන්ම රුධිර ධාවන පද්ධතියේ දුර්වලතා නිසා රක්තහීනතාවය හෘදයේ දුර්වලතාවයන් ද ඇතිවිය හැකිය. තවද මුත්‍රාශයේ දුර්වලතාවයන් වකුගඩු ආබාධ පාදවලට සිදුවන අනතුරු සහ වළලුකර පෙරළීම මෙන්ම වයසින් මුහුකුරා ගිය අවදිවල දී ඇට බිඳුම් සිදුවීම වැනි තත්ත්වයන්ටද පෙබරවාරි උපන් පුද්ගලයන් ලක්වේ.

පෙබරවාරි මාසයේ ශනි සහ යුරේනස් පාලනය කරයි. එම නිසා ගුවන් කටයුතු විදුලි රැහැන් පද්ධති දුම්රිය සමාගම් ඉන්ෂුවරන්ස් සහ බැංකු කටයුතු ආර්ථිකය යහපත් කර ගැනීම සඳහා ඉතාම සුදුසු වේ. සූදුවේ යෙදීම මෙම පුද්ගලයන්ට වාසි දායක නොවන බැවින් එයින් වැළකීම යහපත් වේ. පෙබරවාරි මාසය ප්‍රසිද්ධ වන්නේ ධනවත් භාවය පහසුවෙන් ළඟාකර දෙන මාසයක් ලෙසය. එසේ වුවද ශනිගේ වසර වල එනම් වයස අවුරුදු 4, 8, 13, ආදි කාලවල දුෂ්කරතාවයන් වරදින්නේ නැත.

මෙම මස උපන් පුද්ගලයන්ට විවාහ සම්බන්ධතාවය සඳහා සහ හවුල් ව්‍යාපාරවලට සුදුසු වන්නේ පෞද්ගලික අංක ගැළපීමට යටත්ව වායු තිවංකයට අයත් පෙබරවාරි අයවලුන් සහ මැයි 21 සිට ජුනි 21,සැප්තැම්බර් 21 සිට ඔක්තෝබර් 21 දක්වා උපන් අයවේ. තවද සප්තමයෙන් ජුලි 21 සිට අගෝස්තු 21 දක්වා අයවලුන්ද සුදුසුය.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.