ජනාධිපතිවරණයේ ප්‍රබල අපේක්ෂකයන් තිදෙනකුට ඒරාෂ්ටක

සැප්තැම්බර් 13, 2024

ශ්‍රී ලංකාවේ 2024 සැප්තැම්බර් 21 වැනි දින පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන බවට බොහෝ දෙනෙකු ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුගේ නම් වැඩිපුර සඳහන් කරන බව පෙනේ.

එම අපේක්ෂකයන් තිදෙනාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කේන්දර සටහන්වලට අනුව එම ජනාධිපති අපේක්ෂකයන් තිදෙනාගේම උත්පත්ති කේන්ද්‍ර සටහන්වල චන්ද්‍රයා මකර රාශිය තුළ තැන්පත්ව ඇති බව ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය.

එනම් එම අපේ‍්‍රක්ෂකයන් තිදෙනාටම මේ වන විට ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වන අතර 2025 වසරෙහි මාර්තු 29 වැනිදා දක්වාම එම ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වන බව පෙනේ. ඒ අනුව ජනාධිපතිවරණ දිනය වන 2024 වසරෙහි සැප්තැම්බර් 21 වැනිදා වද්දීද මේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් තිදෙනාටම ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වන බව පැහැදිලිය.

ඕනෑම අයකුට අන්තර්ජාලය පරික්ෂා කිරීම මඟින් එම අපේක්ෂකයන් තිදෙනාගේ උපන් දින ආදිය සොයා ගෙන මා විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු තවදුරටත් තහවුරු කරගත හැකි වනු ඇත. ඒ අනුව පෙනීයන්නේ මේ අපේක්ෂකයන් තිදෙනාගෙන්, මෙවර ජනාධිපතිවරණයේදී කුමන පුද්ගලයා ජයග්‍රහණය කළද එම ජයග්‍රහණය එම පුද්ගලයාට ලැබෙන්නේ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගතවද්දී බවය. එනම් මෙවර ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා ද ඒරාෂ්ටකවල සබඳතාවය පැහැදිලිවම බලපාන බවට නිගමනය කළ හැකි වනු ඇත. එසේනම් ඒරාෂ්ටකවලදී අසුබ පල පමණක්ම ලැබෙන්නේ යැයි පවසන්නේ කෙසේද?

මීට අමතරව මා දන්නා ශ්‍රී ලාංකික ප්‍රසිද්ධ පුවත්පත් කලාවේදියකුගේ ලග්නය “ධනු’ වන අතර ඒ හේතුවෙන් 2017 වසරෙහි ඔක්තෝබර් 26ත් 2020 වසරෙහි ජනවාරි 24 වැනිදාත් අතර කාලසීමාව තුළ ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත විය. එම කාලසීමාව තුළ විශාල අභියෝගවලට මුහුණ දීමට සිදු වුවද සිහිනෙන්වත් නොසිතන තරම් සුබ පල ද ලබා දීමට ඉඩ ඇති බව මා විසින් ඔහු හට අනාවැකියක් ලෙස පවසන ලදී. මෙහි විශේෂත්වය වන්නේ ඔහුවත් නොසිතූ මොහොතක “ගී‍්‍රන් කාඩ් ලොතරැයියක්” ජයග්‍රහණය කිරීම තුළින් ඔහු සහ ඔහුගේ පවුලේ සැමට 2019 වසරේදී ඇමෙරිකාවේ පදිංචියට යෑම සඳහා අවස්ථාවක් උදා වීමය. ඒ මහතා තම පවුලේ අනෙකුත් සාමාජිකයන්ද සමඟ දැනට වසර 5ක පමණ කාලයක් තිස්සේ අමෙරිකාවේ වාසය කරයි. ධනු ලග්නය දරන ඔහුට මේ මාහැඟි අවස්ථාව උදා වූයේ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිටියදීය.

ශ්‍රී ලංකාවේ සිටි ප්‍රබල දේශපාලනඥයකුට වරක් හදිසියේ මුදල් අමාත්‍යධුරය ලැබුණි. එම අමාත්‍යවරයාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උපන් දින සටහනට අනුව එම දිනය පුරාම චන්ද්‍රයා ධනු රාශිය තුළ ගෝචර වී ඇති බව හඳුනා ගත හැකි විය. එනම් මේ කීර්තිමත් තනතුරට ඒ මහතා හදිසියේ පත් වූයේ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරද්දීය. කෙසේ වෙතත් ඒ මහතාට එම ධුරයේ අඛණ්ඩව කටයුතු කළ නොහැකි වූ අතර හදිසියේ එල්ල වූ චෝදනාවක් හේතුවෙන් ඒ මහතාට මුදල් අමාත්‍යධුරයෙන් ඉවත් වීමට සිදු විය.

මීට කලින් ලිපිවලින්ද පෙන්වා දුන් පරිදිම තදබල ඒරාෂ්ටක කාලවකවානුවලදී නොසිතු අසනීප තත්ත්ව නිසා පීඩාවට පත්වීමට සිදු විය හැකි බව අප විසින් අත්දැක ඇත. විශේෂයෙන් තදබල ඒරාෂ්ටක කාලවකවානුවල ගැස්ට්‍රයිටීස් වැනි අසනීප උග්‍රවීමේ අවදානමක් අප විසින් නිරීක්ෂණය කර ඇත. ඒරාෂ්ටයක කාලවකවානුවලදී ඇති වන පීඩාකාරි අත්දැකීම්ද එයට හේතු වන්නට ඇත. මීට අමතර ලෙස මුළු ජීවීත කාලයටම එක් වරක් පමණක් හෘදයාබාධ වැලඳෙන පුද්ගලයන්ට එසේ හෘදයාබාධ හට ගන්නේ ඉතා තදබල ඒරාෂ්ටක කාලවකවානුවලදී බවද අප විසින් අත්දැක ඇත. උදාහරණ ලෙස කීර්තිමත් රක්ෂණ සමාගමක හිටපු ප්‍රධානියකු වරක් මා හට මුණ ගැසුණි. “ධනු” ලග්නය හිමි ඔහුට ඒ වන විට අෂ්ටම ඒරාෂ්ටකයේ අත්දැකීම් ලැබෙමින් තිබුණි. ඒ අනුව, ඔහුට නොසිතූ අසනීප සෑදීමේ අවදානමක් ඇතැයි මම අනාවැකියක් පැවසුවෙමි. ඡ්‍යොතිෂය තඹයකටවත් මායිම් නොකර ධනාත්මක චින්තනය කෙරෙහිම විශ්වාසය තබා සිටි ඔහු එය ගණනකටවත් ගත්තේ නැත. සති කිහිපයකට පසුව මා හට ඔහුව මුණ ගැසුණු අතර ඒ වන විටද ඔහුට අෂ්ටම ඒරාෂ්ටකය ගත වෙමින් තිබුණි. මා දෙස මවිතයෙන් අවධානය යොමු කළ ඔහු පැවසුවේ මා පැවසූ අනාවැකිය නිවැරැදි වූ බවය. එනම් ඔහුට එම තදබල ඒරාෂ්ටක කාලසීමාව තුළ අනපේක්ෂිත ලෙස හර්දයාබාධයක් සෑදී ඇත. ජීවිතයේ කිසිදා කොලෙස්ටරෝල්වලට ඖෂධ නොගත්, එමෙන්ම ඊට ටික කලකට පෙර සිදු කළ පූර්ණ වෛද්‍ය පරීක්ෂණයෙන්ද කිසිදු විශේෂ ඉඟියක් අසනීප පිළිබඳව නොලැබුණ ඔහුට මෙසේ හදිසියේ හෘදයාබාධයක් ඇති වීම පිළිබඳව ඔහු මවිතයෙන් කතා කළේය. එදින ඔහුට ඡ්‍යොතිෂය කෙරෙහි ඉතා දැඩි විශ්වාසයක් ඇති වූ බව ඔහු මා සමඟ පැවැසුවේය.

මීට අමතර ලෙස, පවුලේ කිහිප දෙනෙකුට ඉතා තදබල ඒරාෂ්ට කාලවකවානු ගත වන විට ඉතා කම්පණකාරි අත්දැකීම් ලැබෙන්නට ඉඩ ඇති බව අප විසින් නිරීක්ෂණය කර ඇත. ඒ නිසා එවැනි ඒරාෂ්ටක කාලවකවානු ගත වද්දී, මීට කලින් ලිපියකින්ද සඳහන් කළ පරිදිම ප්‍රසිද්ධ, විනයධර ස්වාමීන් වහන්සේනමක නිවෙසට වැඩම කරවා, ජනතාවට විවෘත ආරාධනාවක් සිදුකර, මිදුලට සෙනඟ රැස් කරවා පින්කමක් සිදු කිරීම සුදුසුය. මීට අමතර ලෙස එවන් අවස්ථාවකදී ලේ දන් දීමේ පින්කමක් සංවිධානය කිරීම හෝ ලේ දන්දීමේ වැඩසටහනක් වෙනුවෙන් මූල්‍යමය දායකත්වයක් දැරීම හෝ කිහිප වතාවක් ලේ දන්දීම සිදු කිරීම උචිතය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.