දිව්‍ය නේත්‍රයෙන් දකින දිව්‍ය ආලෝකය

ජුනි 23, 2023

“එක යම රජ අණ නළ අං අවාකර” යැයි කීමෙන් අ අපායක්ෂරයක් කොට තිබෙන්නේ ඇයිදැයි සිතිය යුතුය. සමස්ත ඡ්‍යොතිෂයම ශබ්ද ශාස්ත්‍රයම එහි සියුම් වූ උමා ඡ්‍යොතිෂයෙහි ඇරඹුමට අ යන්නෙන් වන අතර ‘අම්මා’ යන අපගේ වදනද මෙහිදී සිහිපත් කළ යුතුව ඇත.

අ ක ච ට ත ප ය ශ භූමියම සියලු ජය භූමින්හි නායකත්වයෙහි වේ. අප මෙතෙක් කතා කළ ගුරුලු, බළල්, සිංහ, දිවි, නයි, මී, ඇත්, මුව යෝනි සඳහා අකචටතපයශ අක්ෂර ක්‍රමයෙන් හිමි වේ. සියල්ල අරඹන සූර්යයා ගුරුලාගේ අධිපතිත්වය ගන්නා අතරම අ ප්‍රමුඛ ප්‍රධාන ස්වර පසෙහි අධිපතිත්වය දරයි. හිරු බලවත් වනවිට නිරායාසයෙන් අ, ඉ, උ, එ, ඔ බලයට පත්වේ. සෙසු කියනලද කචටතපයශ වර්ගාක්ෂරයන්ද මෙකී ‘අ, ඉ, උ, එ, ඔ’ යන පංච ස්වරයම තුළ පවතින බව තේරුම් ගැනීමට තරමක් වැර දැරිය යුතු ය. කාලයේ මූලික සංකල්පය නිර්මාණය වනුයේ ද මෙකී ස්වර ශාස්ත්‍රය මුදුන්වමය. එය යමකාල ශාස්ත්‍රයෙන් විමසා බැලෙනු ඇත. යමකාල ශාස්ත්‍රය වූ කලී සප්ත යෝග ශාස්ත්‍රයෙහි ඉගැන්වීමක් වන අතර සප්ත යෝග ශාස්ත්‍රය සිංහල උමා ඡ්‍යොතිෂයෙහි එන්නකි.

අපි මෙතෙක් සිංහල උමා ඡ්‍යොතිෂය යනු කවරක් ද යන්නට ශාස්ත්‍රීය පිළිතුරක් ලබා නොදුන්නෙමු. අද පළමුව එය සිදු කරනු ලැබේ. මෙම පද පෙළෙහි සිංහල උමා ඡ්‍යොතිෂය යන ප්‍රධාන පද තුනෙකි. එහි ඡ්‍යොතිෂය යන්න බොහෝ දෙනෙකු දන්නා පදයක් වන අතර ඡ්‍යොති’ යන ආලෝක අර්ථයෙන් නිර්මාණය වූවක් වේ. එයද තෛ‍්‍රකාල වර්ති තෛ‍්‍රලෝක වර්ති වූ ආලෝකයකි. දිව්‍ය ආලෝකයකි. දිව්‍ය නේත්‍රයෙන් දැකිය යුතු වූවකි. මෙම ඡ්‍යොති පදයට බොහෝ අරුත් ගෙනහැර දැක්විය හැකිය. උමා යන පදයෙහි දෙපදයක් වේ. උ සහ මා යන්නයි. එහි උ ස්වරය පොළොව සඳහා ද මා යන්න මාතා - මව සඳහා යෙදෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේම උ ඊශ්වර දෙවියන් සඳහා පර්යාය පදයකි. ඡ්‍යොතිෂයෙහි ඊශ්වරයා යනු පෘථිව්‍යාධිපති දේවතාවා වෙයි. එම නිසාම ‘බහිරව‘ සංකල්පය ඊශ්වරයා හා බැඳී පවතී. ඊශ්වරයා යනු විටක බහිරවයාම වශයෙන් දක්වා ඇති අතර ඒ සඳහා වෙනම ඉගැන්වීමකි. එය ඊ ස්වර ලිත නම් වේ. මා යන්න චන්ද්‍රයාටද පර්යාය වේ. අ+ මා+ වක - අමාවක, හඳ නැති දවස උ+ මං උමං, පොළොවෙහි වූ මංමාවත් ආදිය පද මෙන්ම ශබ්ද කෝෂයන්හි දක්වා ඇති අරුත් ද තවදුරටත් විමසත්වා.

මෙසේම ‘උමා’ යන පදයට කටපයාදී අංකන ක්‍රමයෙන් 50 හිමි වේ. මේ සියල්ල සමඟ පොළොව සහ සඳ අතර ඇති සහ සම්බන්ධතාවය උමා ඡ්‍යොතිෂය වන්නේ යැයි කිව හැකිය. පොළොව මිහිකතගේ අසිරිමත් චර්යාව උමා ඡ්‍යොතිෂය වේ යැයි ද කිව හැකිය. එය චක්‍රයකින් 1/50ක කාලය නිවේදනය කරනු ලැබේ.

සියලුම ඡ්‍යොතිෂ ක්‍රමය ඇසුරෙහි සෙසු සියලු ග්‍රහයෝ පෘථිවියට බලපාන අයුරු විමසන විටදී සියලු ග්‍රහයන් පෘථිවියට එල්ලකරන ශක්තිය උරාගන්නා පෘථිවිය එය ඒ මත ඇති ජීව අජීව වස්තූන්ට එල්ල කරන බලපෑම උමා ඡ්‍යොතිෂයෙන් විස්තර කෙරෙනු ඇත. ඉදින් මෙය සුක්ෂමයෙනුත් සුක්ෂම වු ගණිතමය නිර්මාණයක්ම වන්නේ ය.

දැන් මෙහි සිංහල කියා විශේෂණ පදයක් ද ඇත. උමා ඡ්‍යොතිෂය පිළිබඳ මූලාශ්‍ර විමසීමේ දී රාම රාවණ ඇම සතර කොටා තරාලූ හෙයින් පුලතිසි නිදන කළ සිවලිත යැයි පවසා ඇත. එසේම උමා ඡ්‍යොතිෂයෙහි එන දඬු මරණ ශාස්ත්‍රයෙහි ලස්සන පද පෙළකි.

මැණිකක් අරගෙන යුදයට යන්නේ

මැණික ගන්න රජු සූදු කෙළින්නේ

පූර්ණකයි රජු පරදා ලන්නේ

මෙලෙසට සිංහල දඬු මරණේ පවසන්නේ

 

එහිද සිංහල නාමය වෙයි. භාරතීයන් පවා මුදුන් මල්කඩක් වශයෙන් සලකන ‘යාමල’ ග්‍රන්ථාභ්‍යන්තරයෙහි ‘සිංහල භූමිය’ සිංහල නම ලංකා නාමය දක්නට ලැබේ. ඉදින් එසේම මෙය පුරාණයේ හිරණ්‍ය කෂිපු නම් මුනිවරයකු විසින් ප්‍රකාශ කොට ඇති බවද පවසයි. ඉදින් හිරණ්‍ය කෂිප්‍ර, පුලතිසි ආදීහු මේ සිවු හෙළයේ වූවෝ වෙති. එබැවින් එය සිංහල උමා ඡ්‍යොතිෂය නමින් පවසනු ලැබේ.

මෙහිදී අතුරු ප්‍රශ්නයක් පැන නඟී. උමා ඡ්‍යොතිෂය නමින් ම ඉපැරණි මූලාශ්‍රවල සඳහන් දෙයක් වේද යන්නයි. එවැනි මුග්ධ ප්‍රශ්න නඟනවුන් කිසිදිනෙක ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය ‘චෞඩි පද්ධතිය’ ගුරුමූර්ති ක්‍රමය ගැන ප්‍රශ්න නොකිරීමම විහිළුවකි. අපි බොහෝ දෙනෙකු කාල සර්ප යෝගය ගැන කතා කරමු. පසුකාලීනව ලියැවුණු ග්‍රන්ථයන්හි එම නම දක්නට ලැබුණේ නමුදු ශාස්ත්‍ර ග්‍රන්ථ්‍යාභ්‍යාන්තරයෙහි එම නාමය දක්නට නොලැබෙන්නේමය. එහෙත් එහි සාරය මුලය දක්නට ලැබේ. වරහ මිහිර පුත් පෘථිවි යශස්හු විසින් සම්පාදනය කරන ලද සුවිශේෂ ග්‍රන්ථයකි. එය ‘ෂට් පංච ශිඛාව නම් වෙයි. සමහරු ඊට චප්පනය යැයි කියති. එය වහරය. එකල උමා ඡ්‍යොතිෂය යැයි කී විෂයෙහි ඉතාමත් සුළු කොටසක් අද චූල ඡ්‍යොතිෂය නමින් කරලියෙහි ඇතිමුත් ප්‍රායෝගිකව එහි සත්‍යයක් පවසන්නට තරම් කිසිවකු සිටිනවාදැයි අප නොදනිමු. එහෙත් ලංකාවේ ප්‍රකට ලිත් කතුවරයෙකු ඒ පිළිබඳව තබන ලද සටහනක් අප මෙසේ උපුටා දක්වමු.

ඉන්ද්‍ර ගුරුලුව රාහු පිහිටීම, යමකාලය පංච පසිය, දඬුමරණය, ශිවා ලිඛිතය යනුවෙන් ගුප්ත ශාස්ත්‍ර නැකැත් ක්‍රමයක්ද නුවර යුගයේ දී බොහෝ ජනපි‍්‍රය වී තිබූ බව පෙනේ. ඉහත අපේ රටේ බොහෝ ජනපි‍්‍රය නැකැත් ක්‍රමයකට වඩා වෙනස් මඟක යන්නා වූ ඉන්ද්‍ර ගුරුලුව, පංච පක්ෂිය යන යම කාලය ආදී නම්වලින් හඳුන්වනු ලබන චුල නක්ෂත්‍ර ක්‍රමද මහා නක්ෂත්‍ර ක්‍රම අනුව සකස් කරන ලද නැකැත් ක්‍රමයට සමාන නොවන තවත් නැකැත් ක්‍රමයකි. නැකැත්වලින් බලාපොරොත්තු වන මූලික කාරණය කිසිවකු විසින් ආරම්භ කරන ලද කාර්යයකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමය. ඉන්ද්‍ර ගුරුලු පංච පක්ෂි යම කාලය ආදි වූ චූල නක්ෂත්‍ර ක්‍රමවලින් පෙනෙන්නේ ද තමන් ආරම්භ කරන ලද කටයුත්තකින් සාර්ථක ප්‍රතිඵල ලැබීම සඳහා ඒවා උපයෝගී කරගත් බවයි. ඒ නිසා මෙම පංච පක්ෂි හෝ ආදී කොට ඇති ‘චූල නක්ෂත්‍ර’ ශාස්ත්‍රයද නැකැත් ක්‍රමයක් සේ හඳුන්වාදිය හැකිය. මේවා පිළිබඳ නොයෙක් පත පොත ලියැවී ඇති නමුත් ඒවායින් ප්‍රයෝජනය ගන්නා ආකාරය පිළිබඳව හරි හැටි ගුරු උපදේශ දක්වා නොමැති බැවින් ඒවා පලක් නොමැති ශාස්ත්‍ර බවට අද පත්ව ඇත. මේවා පිළිබඳ ලියා ප්‍රසිද්ධ කර ඇති පොත්පත්වල පවා අපැහැදිලි සහ පැටලිලි සහිත තැන් බොහෝ ය. ඇතැමෙක් එම ශාස්ත්‍ර ක්‍රම දන්නා බව අඟවතත් ඒවා බොහෝ දෙනාගේ යහපත සඳහා ප්‍රසිද්ධියට පත් නොකරති.

මේවායින් ඉන්ද්‍රගුරුවා යමකාලය, රාහු පිම්ම, දඬුමරණය ආදී කොටගෙන ඇති ශාස්ත්‍ර ක්‍රම හොඳ නරක දෙකම සඳහා යොදාගත හැකි ඒවා බව කියනු ලැබේ. ඒ නිසා පුරාණයේ මේ ශාස්ත්‍ර ක්‍රම හොඳහැටි දැන සිටි අය මේ ශාස්ත්‍රය වාලයන් අතට පත්වුවහොත් අන් අයට විපතක් කරාවී යන අදහස නිසාම ඒවා විනාශ කර දැමුවා විය හැකිය. කිසියම් දෙයක් ලියා තැබුවා නම් එය ගුරු මුෂ්ටි තබාගෙන තමන්ට හෝ තම අතවැසියන්ට හැර අන් කිසිවෙකුට ප්‍රයෝජන ගත නොහැකි ලෙස කරුණු සඟවා ලියා තබන්නට ඇත. (ආචාර්ය ආර්.කේ. රෝෂන් සිසිර කුමාර, ඡ්‍යොතිෂ පිවිසුම 11 - 12 පිටුව)

මේ සටහනින්ම මෙම ශාස්ත්‍රයේ දුර්ලභ ස්වභාවය සහ වටිනාකකම පිළිබඳ අවබෝධ විය යුතු ය. උමා ඡ්‍යොතිෂය මුල් ග්‍රන්ථවල දක්වා ඇත්තේ උමා හෝරා නමිනි. එය වහරේ දී උමා හෝරා ශාස්ත්‍රය වෙයි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට ද හෝරා ශාස්ත්‍රය යැයි කියති. ඉදින් හෝරා ශාස්ත්‍රය ඡ්‍යොතිෂය වෙයි. උමා හෝරා ශාස්ත්‍රය උමා ඡ්‍යොතිෂය නමින් වහරට පැමිණෙන්නේ මේ අයුරිනි. මේ සඳහා තවත් පර්යාය නාම තිබේ. එසේම උමා ඡ්‍යොතිෂය යනු නැකැත් ක්‍රමයන් පමණයි යන අදහසද සමාජගතව ඇති බොරුවකි. එය ඡ්‍යොතිෂය කවරක් සඳහා උපකාර වේද? උමා ඡ්‍යොතිෂය ඒ සඳහා උපකාර වන සුවිශේෂ විෂය රත්නයයි. ඖෂධ අතර රස ඖෂධ ශ්‍රේෂ්ඨ වන්නේ යම් සේද ඡ්‍යොතිෂය තුළ ශූක්ෂම වූ උමා ඡ්‍යොතිෂයම ශ්‍රේෂ්ඨ වන්නේමය.

යමෙකින් ඇස් ඉදිරිපිට ප්‍රතිඵල පෙනේද උමා ඡ්‍යොතිෂය එහි ප්‍රමුඛ වේ. අ, ඉ, උ, එ, ඔ ආදී අකුරු කලාව එහි වෙයි. අකුරක දිග පළල, සංඛ්‍යාතය, සංඛ්‍යානය ආදී නොයෙකුත් විෂය ක්ෂේත්‍ර එහි වෙයි.

රිදී විහාරයේ මෑතක් වන තුරු තිබූ වර්ෂ දෙසියයකට වඩා පැරැණි උණ බම්බුව ඔබට මතක තිබේදැයි නොදනිමි.

ඒ ඡ්‍යොතිෂ කලාව අද චූල ඡ්‍යොතිෂය බවට පෙරළා එහි මුල් නම පවා විනශ මුඛයට ඇද දමා ඇත.

අපගේ මේ වෑයම යටපත් වූ ඒ සත්‍ය මතුකරලීම සඳහා වේ.

අපගේ ලියමන් සඳහා දේශීය මෙන්ම විදේශීය මූලාශ්‍රද හේතු භූත වේ.

 

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.