සෙනසුරු වක්‍රයට පිළියම්

ජුනි 23, 2023

 

වැඩ කිරීම සතුට කරගත් ග්‍රහලොව කම්කරු සෙනසුරු පසුගිය ඉරිදා සිය වක්‍ර ගමන ඇරඹීම, එක් එක් ලග්න හිමියන් වෙත කෙසේ බලපානු ඇත් දැයි විග්‍රහ කර බලමු.

 

මේෂ ලග්නය

කුම්භ රාශියේ යෙදෙන සෙනසුරු වක්‍ර වීම ඔබට වාසිදායක ලෙස දැකිය හැක . පසුගිය සීමාවෙහි මගහැරුණු හෝ අතපසු වුණු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට හා සැලසුම්ගතව කටයුතු කර නව ආදායම් මාර්ග විවර කර ගැනීමට ඔබට අවස්ථාව සැළසේ.

පවත්නා දෝෂ දුරු කර ගැනීම සඳහා විෂ්ණු දෙවියන් වෙත භාර වීම මෙන්ම කකුලෙහි දණහිසට පහළින් තුවාල හෝ ආබාධ සහිත පුද්ගලයන් වෙත පිහිටවීම මැනවි.

 

වෘෂභ ලග්නය

නවය දහය රාශීන්ගේඅධිපතිීත්වය දරන සෙනසුරු ඔබේ ලග්නයේ දහ වැන්නේ වක්‍ර ගමනක යෙදෙන මෙම සීමාවෙහි ඔබේ රැකියා කටයුතු දියුණු කර ගැනීමට පහසු අවස්ථාවන් උදා වන කාලයක් වන බැවින්, ඔබගේ රැකියා කටයුතුවල උසස් දියුණුවක් ළඟා කරගැනීමට අවධානයෙන් කටයුතු කිරීම මැනවි. ඒ සඳහා බල පවත්නා දෝෂ දුරුකර ගැනීමට උසස් ගුණවත් පුද්ගලයෙකුට තද නිල් හෝ කළු පැහැති වස්ත්‍ර දානයක් ලබාදීම උචිත වන අතර කටයුතු සඵල කර ගනිමට විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීම මැනවි.

 

මිථුන ලග්නය

අට වැන්න හා නව වැන්න අධිපති සෙනසුරු වක්‍ර ගමනක යෙදෙන මිථුන ලග්න හිමියන්ට තම උරුම හිමිකම් ලබා ගැනීම සම්බන්ධව හෝ උසස් අධ්‍යාපන කටයුතු උදෙසා වාසනා ගුණ උපකාරී කරනු ලබන මෙම සීමාව තුළ ඔබ ඔබට හිමි වාසනා ගුණ ඉස්මතු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වීම ශුභයි. විශේෂයෙන් පිය උරුම ලැබෙන්නා වූ මේ සීමාවේ බෝධි පූජා දී පින්කම්වල නිරත වීමත්, අසරණයන්ට පිහිට වී දෙවියන්ට සහ පින් බලාපොරොත්තුව සිටින්නා වූ සැමට පොදුවේ පින් අනුමෝදන් කිරීමත් ඔබගේ බලාපොරොත්තු හොඳීන් ඉටු කර ගැනීමට අවස්ථා සලසනු ඇත.

 

කටක ලග්නය

කටක ලග්න හිමියන්ගේ 8 වැන්න හා හත්වැන්න හිමි සෙනසුරු අටවැන්නේ වක්‍ර වීම ඔබගේ ව්‍යාපාර කටයුතුවල දියුණුව උදෙසා හදිසි ධන ලාභ හෝ උරුම හිමිකම් ලැබීමක් බලපොරොත්තු විය හැකි කාල වකවානුවකි. මෙම සීමාවේ ඔබ නොසිතන පරිදි ඔබගේ ව්‍යාපාර කටයුතු දියුණුව සඳහා උරුම හිමිකම් හෝ මඟ පෙන්වීම් ආදී අවස්ථාවන් හදිසියේ මතුවනු ඇත. දෝෂ මගහරවා ගැනීම සඳහා දින 21 ක බෝධිි පූඡාවක් පැවැත්වීම ද පුලන්නන්ට උපකාර කිරීමද මැනවි. තවද ධාන්‍ය ආහාර, තෙල් දන්දීම මැනවි.

 

සිංහ ලග්නය

⁣සෙනසුරු වක්‍ර ගමනක යෙදෙන මෙම සීමාවේ සිංහ ලග්න හිමි ඔබ තම ව්‍යාපාර කටයුතු මෙන්ම සබඳකම්වලදී ද පරෙස්සමින් කල්පනාකාරීව කටයුතු කළ යුතු කාල සීමාවකි. මෙම සීමාව තුළ සතුරු කරදර යෙදිය හැකි අවස්ථා උද්ගත විය හැකි බැවින් විමසිලිමත්ව කටයුතු කළ යුතුය. නව අවස්ථාවන් සම්බන්ධව කටයුතු කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය. තරගකාරිත්වය තුළින් දිනිය හැකි අවස්ථා ඉස්මතු වේ. පසුගිය සීමාවේ වූ වැරැදි නිවැරැදි කර ගැනීමට අවස්ථා සැලසෙන බැවින් ඒ සම්බන්ධව අවධානයෙන් සිටීම මැනවි. ඔබට මෙම අවස්ථාවේදී පවත්නා වූ දෝෂ දුරුකර ගැනීම සඳහා විෂ්ණු දෙවියන්ට බාරවීම ද කළු තල පරිත්‍යාග කිරීමද මැනවි.

 

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න හිමියන්ගේ පස්වැන්න හා හය වැන්නාධිපති සෙනසුරු වක්‍ර ගමනක යෙදෙන්නා වූ මෙම සීමාව තුළ ඔබට දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක දීමට සිදු වන්නා වූ කාලපරිච්ඡේදයක් වනු ඇත. ඔබගේ නව නිර්මාණ හෝ නව අදහස් ක්‍රියාත්මක කර ගැනීම සඳහා සුදුසු වන්නාවූ අවස්ථා උදාවනු ඇත. අසනීප ආදියෙන් තරමක බාධාවන් පැමිණිය ද ඔබගේ නිර්මාණශීලී කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය වන්නා වූ සහයෝගය නොමඳව ලැබෙන්නා වූ කාලයකි.

සූර්ය නමස්කාරයේ යෙදීමද මහා ශිවදෙවි වන්දනාවේ යෙදීම මැනවි. සෙනසුරාදා බදාදා දිනවල අසරණ දරුවන්ට පිහිට වීම ද රෝගීන්ට උපකාර කිරීමද සිය කුසල ශක්තීන් ඉස්මතු කිරීම සඳහා උපකාරී වනු ඇත.

 

තුලා ලග්නය

තුලා ලග්නයේ පස්වැන්න හා හතරවැන්න හිමි සෙනසුරු පස්වැන්නේ ගමන් ගන්නා මේ සීමාව ඔබේ දියණුුවට නිවෙසින් වඩාත් සහයෝගයක් ලැබෙන කාලයකි. අලුත් අදහස් ක්‍රියාත්මක කිරීමට සුදුසු කාලයකි. නිවෙස් අලුත් වැඩියා කිරීමට, සැප පහසුව වැඩි කරගැනීමට අවස්ථා උදා වේ. දෝෂ දුරු කර ගැනීම සඳහා අසරණ වැඩිහිටි කාන්තාවකට කළු වස්ත්‍රයක් දන් දීම මැනවි.

 

වෘශ්චික ලග්නය

තුන හතර අධිපති සෙනසුරු වක්‍ර ගමනක යෙදෙන මෙම සීමාව ඔබ ඔබේ පවුලේ කටයුතු කෙරෙහි වඩාත් අවධානය යොමු කළ යුතු කාලයකි. තම දියුණුව සඳහා වෙහෙස දරන්නා වූ කාලයක් මෙන්ම නව රැකියා අවස්ථාවන් ද උදා කර ගන්නා වූ කාලයකි. පවුලේ සමීපතමයන් හා ගැටුම් ඇතිකර ගැනීමෙන් වැළකී සිටීම ඔබට වාසිදායක වනු ඇත. දුර ගමන් යෙදී දියුණුවට හේතු සැලසෙන කාලයකි. ගිතෙල් පහන් ආලෝක පූජාවන් පවත්වා ප්‍රාර්ථනා කිරීම මඟින් දෝෂ දුරුකර ගැනීම මැනවි.

 

ධනු ලග්නය

ධනු ලග්නයෙන් උපන් ඔබට දෙවැන්න හා තුන්වැන්න අධිපති සෙනසුරු වක්‍රවීම වාසිදායක වනු ඇත. වෙහෙස මහන්සි වී කටයුතු කිරීමෙන් අමතර ආදායම් උපදවා, ඉතිරි කිරීමට ඔබට හැකියාව සැලසෙනු ඇත. පවුලේ සාමාජිකයන් හා දුර බැහැර ගමන් යෙදී ඉදිරි දියුණුවට අවස්ථාවන් මතුවනු ඇත. බෝධි පූජාවන් පවත්වා දෙවියන්ට සහ පින් බලාපොරොත්තුවෙන් සිටින්නාවූ සැමට පින් අනුමෝදන් කරවීම වඩාත් ඵලදායක වනු ඇත.

 

මකර ලග්නය

ලග්නාධිපති සෙනසුරු දෙවැන්නේ ගමන් ගන්නා වූ මෙම කාලසීමාව ඔබගේ දියුණුවට මෙන්ම ස්ථාවරත්වයට හේතු වන්නා වූ කාලයකි. ඒ සඳහා අවශ්‍ය වන්නා වූ වටපිටාව සකස් වන කාලයක් වන අතර දියුණුව ඇති වී තම තත්ත්වය උසස් වීමට ද පවුලේ තත්ත්වය ඉහළ යාමට ද හේතු සැලසෙන්නා වූ කාලයකි. පවත්නා ඒරාෂ්ටක තත්වයන් සදහා අදාළ වන්නා වූ වත් පිළිවෙත්වලට අමතරව පූජ්‍ය පක්ෂය සඳහා දානමය පින්කමක් පැවැත්වීමෙන් අගුණ දෝෂ දුරු කර ගැනීමට හැකි වේ.

 

කුම්භ ලග්නය

ලග්නාධිපති සහ දොළොස්වැන්නාධිපති වූ සෙනසුරු ලග්නගතව වක්‍ර වන මේ කාල සීමාව ඔබට විදෙස්ගත කටයුතුවලින් යහපත සැලසීමට හේතු සැලසේ. දුර ගමනේ යෙදීම හෝ විදෙස් ගමන් යෙදීම හෝ ඒ සම්බන්ධ කටයුතුවලින් තම තත්ත්වය තහවුරු කර ගැනීමට හැකි වේ. ලග්න ඒරාෂ්්ටකයක් ගත වුව ද සෙනසුරු ලග්නයේ බලවත්ව යෙදී තිබීම යහපතට හේතුවනු ඇත. බෝධි පූජා සෙත් ශාන්ති තැබීමද කළු ඇඳුම් සහ තෙල් වර්ග දන්දීම මඟින් දෝෂ දුරුකර ගැනීම මැනවි.

 

මීන ලග්නය

11 12 අධිපති සෙනසුරු දොළොස්වැන්නේ වක්‍ර වන්නා වූ මේ කාල සීමාව ඔබ වියදම් පක්ෂය කෙරෙහි වඩා සැලකිලිමත් විය යුතුය. රෝගාබාධ සඳහා හෝ විවේකය පිණිස වියදම් කිරීමට සිදු වන කාලයක් බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වීම වටී. දුර බැහැර ආදායම් මාර්ග උදා කර ගතහැකි කාලයකි. කපුටු දානය දීමද, කළු ඇණ 21 ක් ගලා යන ජලයට දැමීමද මඟින් දෝෂ දුරුකර ගැනීම මැනවි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.