අත්ලේ රේඛාවල පැහැයෙන් සුබ අසුබ කාල හඳුනා ගන්න

ඔක්තෝබර් 4, 2024

පරිසරයේ විවිධ ඍතුන්වලදී පැහැය වෙනස් වේ. ඉර පායන විට, වැස්ස වහින විට අහසේ පැහැය මෙන්ම අවට ලෝකයම පැහැය වෙනස්ව පෙනෙන බව අපි දනිමු. ඒ මේ ලෝකය තැනී ඇති අපෝ තේජෝ වායෝ පඨවි ආකාස යන පංච මහා භූතයන්ගේ වෙනස්කම් අනුව අප ඇසට එය දැක්වෙන ආකායරයයි. අපේ ජීවිතයේද ආලෝකමත් කාල මෙන්ම අඳුරු සමයන් ඇත. ඒවා අපේ හස්ත රේඛාවලින් මෙන්ම අත්ලේ පැහැයෙන් දැක්විය හැකිය. එය මෙසේ විග්‍රහ කෙරෙයි.

පඤ්ච මහා භූතයන්ගේ සංයෝග වියෝග ආදිය සත්ත්ව වර්ගයාගේ උත්පාද, ස්ථිති, භංගය යන කරුණු වලටට හේතු වෙයි. ඒ මහා භූතයන් ආශ්‍රය කළ මඟ, පෘථිවිය මතුයෙහි වී නම් පැහැදිලිව පෙනෙයි.

මේ අනුව

ගින්නෙන් දාගිය - ඒ මඟ කළු රේඛායෙකි.

ජලය ගිය මඟ - හෑරී ගිය ගැඹුරු නදී ආදි රේඛායෙකි.

වාතය ගිය මඟ - ගස් කොළන් දෙපසට වී මුඳුනින් නැමී තැලී ගිය රේඛායෙකි.

පෘථිවි ගිය මඟ - සමතලයෙන් උස්වූ කඳු වැටි රේඛාවන්ය.

ආකාශ ධාතු ගිය මඟ - සණ්ඨාන විරහිතව ස්පර්ෂයෙන් පමණක් දැන ගත හැකි රේඛාය.

මෙකී සියලු ලක්ෂණ මනුෂ්‍ය ශරීරයෙහි දවිද්‍යමාන වන්නේය. ඒ ඒ මහා භූතයන්ට හිමි ගුණ විපාක දෙන්නට ළංවත්ම ඒ ඒ භුතාකෘති රේඛාවෝ ඒ පුද්ගලයාගේ හස්තයේ නැඟී පෙනෙයි.

උදාහරණ - විනාශය, රෝග භය, ආසන්න වූ විට රේඛාවන් කළු පැහැයෙන් පෙනෙයි. ගින්නෙන් දා ගියාක් මෙනි. ලොකෝත්පත්තිය සහ එහි පැවැත්ම ගැන සිතමුු. මේ පෘථිවිතලය සිනිඳු වූ සමතල වූ රේඛා විරහිත වස්තුවක් නොවී යට කියන ලද පඤ්ච මහා භූතයන්ගේ ලක්ෂණයෙන් නන් අයුරින් පිහිටියේ ය. යථෝකත ලක්ෂණ ම ඇසුරු කරමින් නිරතුරු වෙනස් වෙමින් පවතින්නේ ය. එයට හේතු වන්නේ මහාභූත ක්‍රියාකාරීත්වයයි. ලොකෝත්පත්තිය වන විටද නැවත නැවත ද පෘථිවි තෙජෝ වායු ආදි මහා භූතවල වෙන වෙන ම ඒ ඒ තැන බලවත් ව පැවති අයුරුද පවත්නා අයුරු ද එහි විපාක ලෙස පර්වත, සමුද්‍ර, කෘෂණ වර්ණව දා ගිය වස්තු, ආකාශ ප්‍රදේශාදි ලක්ෂණ ඇසුරින් මනාව දැන ගත හැකි වන්නේය.

මේ දැන් පවත්නා පොළෝ තලය සෑදුණු කල්හි එහි සණ්ඨාන රේඛාදියක් වී නම් මහා රේඛා ශාස්ත්‍රඥයකු ද එවකට වී නම් පොළොවෙහි ආයුෂ එවකට ඔහුට නොකිය හැකිද? එසේ නම් රේඛා සහිත ගල තුළ මේ නම් වස්තුව ඇතැයි නිශ්චය කළ හැකි වන්නේ ය. එසේම ගසෙකින් ගලෙහිත් මෘත්‍යු රේඛාවෝ ද වෙත්. ගලේ ‘ඉල්ලම’ නම් මෙය යැයි මේ රේඛා ලක්ෂණ අනුසාරයෙන් ඒ වස්තූන් පිළිබඳ සියලු කරුණු ශාස්ත්‍රඥයන්ට දැනගත හැකි වන්නේය.

ගස පිළිබඳව ද මෙසේම දැනගත හැකිය. එසේම මනුෂ්‍ය ශරීරය පිළිබඳ සියලු කරුණු ද ඒ හා සමානව දත හැකිය. රුක් පොතුයෙහි බොහෝ රේඛාවන් ඇත. ලපද කැලැල් ද ඇත. ඒ බලා ඒ ගසෙහි ඵලදායකත්වය, ආයුෂය, වීර්යය යනාදිය ප්‍රකාශ කිරීමට ශාස්ත්‍රඥයෝ පොහොසත් වෙති.

වාස්තු විද්‍යාව අනුව ඉඩමක් සීමා කිරීමේ දී මායිම ලෙස කුමක් තෝරා ගනු ලැබේ ද? දැක්විය හැකි අන්‍ය ප්‍රකට සීමාවක් නැති විට අගලක් කපා ලකුණු කරනු ලැබේ. මේ වනාහි රේඛාවක් අමුතුවෙන් උපදවා ඒ ඇසුරින් ඒ බිම් කොටසින් කිසියම් විශේෂ ප්‍රතිපලයක් බලාපොරොත්තු වීමෙකි.

“යමක් කරණකොට ආලෝකධාරා පැතිරේ ද ඒ පරමාණු ස්වරූප වූ අති සූක්ෂ්ම ද්‍රව ධාරාව සකල ලෝක තලයෙහි පවත්නා වායු ආදි පඤ්චමහා භූතයන්ගේ අවකාශ තැන් පුරා සිටී. ලෝක ප්‍රතිබන්ධ භූතයන්ගෙන් ප්‍රමුඛ වූ තෙජො වායුමය පවා මේ ද්‍රවයෙන් සිසාරන ලද්දේ නිරනතර වූ නානාප්‍රකාර විකාර ස්වභාවයට යන්නේ ය. නැවත තෙජො වායූහු, අමුඛ්‍ය ධාතු සිසාරා ඔවුහු විකාර ස්වභාවයට පමුණුවමින් තුමුද විකාර ස්වභාවයට යන්නාහු පඨවී ආපස් යන භූතයන් කෙරෙහි බල පවත්වති. ඒ මතුද නොවෙයි. වෘක්ෂලතාවන් හා ප්‍රාණීන් කෙරෙහිද බල පවත්වන්නාහු මැයි.”

මේ වනාහි මිශ්‍ර දේශයෙහි හරිශ්චන්ද්‍ර රජුගේ කාලයේ ජීවත්ව සිටි ටොලමි නම් ශාස්ත්‍රඥයාගේ පරිකල්පනය යි. ග්‍රහ තාරකාවන්ගෙන් නිකුත්වන සූක්ෂම ද්‍රවයාගේ ක්‍රියා ශක්තිය හේතුකොට මිනිස් කයෙහි අතුල් පතුල් හා මුහුණු යන අංගයන්හි විශේෂයෙන් රේඛා සලකුණු වන්නේ මේ අයුරිනි. ඒ අනුව ඔබේ අතද පරීක්ෂා කර බැලුව හොත් යම් යම් කාලවකවානුවල ඔබට ඇති වන සැප දුක් ආදි දේ රේඛාවේ පැහැයෙන් සහ අත්ලේ පැහැය වෙනස් වීමෙන් අවබෝධ කරගත හැකි වනු ඇත.

හස්ත රේඛා පර්යේෂණ විද්‍යාඥ

මාතලේ

එච්.ඩබ්ලිව්. අභයපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.