මණිබන්ධන රේඛා හෙවත් මැණික්කටු රේඛා

අගෝස්තු 25, 2023

ඕනෑම පුද්ගලයකුගේ ආයු ප්‍රමාණය හා වසනාවන්තභාවය ප්‍රකාශ කරන මැණික්කටු රේඛා හෙවත් මණිබන්ධන රේඛා හස්ත රේඛා පරීක්ෂාවේදී ඉතාම වැදගත් වේ. අත්ලක ආරම්භය වන මැණික් කටු සීමාවේ මණි බන්ධන රේඛා එකක්, දෙකක් හෝ තුනක් වශයෙන් පිහිටා ඇත. එසේම රේඛා තුනම සමදුරින් ප්‍රබලව ඇති පුද්ගලයින්ට රාජ යෝග ඇතැයි හින්දු ශාස්ත්‍රයේ පිළිගැනීමකි.

පූර්ව ජන්මයන්හිදි කරන ලද කර්මයන්ගේ විපාක මේ භවයේදි ලබාදෙන ආකාරය පෙන්නුම් කරන ස්ථානය ද මේ කොටස ලෙස සැලකිය හැකිය. කෙනකුගේ අභිවෘද්ධිය ශ්‍රේෂ්ඨත්වය හා අධ්‍යාපනය ද මේ ස්ථානයට සම්බන්ධ රේඛාවලින් පෙන්වන හෙයිනි. ආයුෂ සම්බන්ධ ජීවන රේඛාවත් ජීවන කටයුතු වෘත්තීය හා බැදුණු දෛව්‍ය රේඛාවත් කලා කෞශල්‍ය හා දක්ෂතාත් ප්‍රසිද්ධියත් ප්‍රකාශ කරන රවි රේඛාවත් කර්මය කෙරෙහි බලපාන ශනි ඇඟිල්ලට මුහුණ ලා පිහිටි මෙම ස්ථානයෙන්ම ආරම්භවීමෙන් ඒ බව පැහැදිලි වේ.

මැණික්කටු සන්ධි රේඛා තුන මඟින් වෙන්වෙන් වශයෙන් පුද්ගලයකුගේ පෞරුෂයේ ලක්ෂණ‘තුනක් පෙන්නුම් කරයි. අත්ලට ආසන්නයේ ඇති පළමු රේඛාවෙන් පුද්ගලයාගේ සෞඛ්‍ය පිළිබඳවත් (විශේෂයෙන් ලිංගික සෞඛ්‍ය පිළිබඳව)දෙවැනි රේඛාවෙන් ධනය පිළිබඳවත් තුන්වන රේඛාවෙන් බූද්ධිය පිළිබඳව විස්තර දැනගත හැකිය. මෙම රේඛා දුබලව නිර්මාණය වී ඇත්නම් දුර්වල ශරිරයකින් යුක්තය. එසේම නාස්තිකරයෙකි. රේඛා දම්වැල් ආකාරයට සකස් වි ඇත්නම් කම්කරුවකු සේ වැඩ කිරිමට සිදුවේ. පළමු රේඛාව දම්වැල් ආකාරයේ නම් ජීවිතයේ මුල්කාලයේ ද දෙවැනි රේඛාව දම්වැල් ආකාරයේ නම් ජීවිතයේ මැදකාලයේ ද තුන්වැනි රේඛාව දම්වැල් ආකාර නම් ජිවිතයේ අග කාලයේ ද දුක්විඳීමට සිදුවන බව පෙන්නුම් කරයි. එසේම රේඛා පළල නොගැඹුරු රේඛා නම් පුද්ගලයා දුර්වල ශරිර ශක්තියකින් හෙබි පුද්ගලයෙකි. එමෙන්ම රේඛා කොටස්වලට කැඩී ඇත්නම් ජීවිතයේ දුක් දොම්නස් ගැටලු සහ පරාජ වීම් බහුල එකකි.

පළමු මැණික්කටු රේඛාව අත්ල දෙසට වක්‍ර වී පිහිටන කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතිය දෝෂ සහ දරු ප්‍රසූතියේදි අමාරුකම් පෙන්වයි. එම වක්‍රය කැඩි ඇත්නම් වදභාවය පෙන්නුම් කරයි. පුරුෂයන්ගේ පළමු රේඛාව ඉහළට නැවී ඇත්නම් ශුක්‍ර හීනතාවය පෙන්නුම් කරයි. මනිබන්ධන රේඛාවලින් ඉහළට අතු ශාඛා විහිදි යම් මණ්ඩලයක් තුළට ගමන් කරයිද එම මණ්ඩලයේ ගුණ වඩාත් ප්‍රබලව පෙන්නුම් කරයි. එනම් මෙම රේඛාවලින් ආරම්භවන අතු රේඛා ගුරු මණ්ඩලයට ගමන් කරයි නම් ජීවිතය සාර්ථක වී උසස් ජීවන තත්ත්වයක් ඇතිවේ. එසේම දිර්ඝ සංචාරවල නිරත වීමට අවකාශය ලැබේ. නමුත් මෙම රේඛාව ගුරු මණ්ඩලය අසලට විත් එක්වරම ශනි මණ්ඩලය දෙසට යොමු වුවහොත් සංචාරය අසාර්ථක වනු ඇත. ශනි මණ්ඩලයට අතු ශාඛාවක් ගමන් කරන්නේ නම් ආගම හෝ විද්‍යාව තුළින් පුද්ගලයා උසස් තලයකට පැමිණේ. රේඛා දෙකක් ශනි මණ්ඩලයට යයිද ඒවා එකිනෙක කපයිද නම් දීර්ඝ සංචාර දෙකක් යෙදේ. එවායින් පසුව යන සංචාරයෙන් ආපසු නොපැමිණේ. රවි මණ්ඩලයට අතු රේඛාවක් ගමන් කිරිම මඟින් පොහොසත් ප්‍රසිද්ධ සහ සාහිත්‍ය මඟින් දියුණුවීම පෙන්වයි. එසේ උසස් තත්ත්වයකට පත්වී අන්‍යන්ගේ පිළිගැනීමට භාජනය වේ. බුධ මණ්ඩලයට අතු ශාඛාවක් ගමන් කිරිම මඟින් කර්මාන්ත දියුණුවද නොසිතු හදිසි ධන ලාභද පෙන්වයි. බොහෝ විට ජීවිතය ගෙවන්නේ පිටරටය. මේ රේඛා මඟදි කැඩි හෝ බුධ මණ්ඩලයට ළඟා නොවි ඇත්නම් එම පුද්ගලයා බොරු කියන අවිශ්වාස අයෙකි. එසේම ඉහළ කුජ මණ්ඩලයට අතු ශාඛාවක් විහිදුණොත් එම පුද්ගලයා බොහෝ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවේ.

කුජ තලාවට අතු විහිදෙන අත්ල සහිත පුද්ගලයා මිතුරන්ගේ උදව් ඇතිව දියුණු වේ. චන්ද්‍ර මණ්ඩලයට විහිදෙන අතු මඟින් සංචාර පෙන්නුම් කරයි. මනිබන්ධන රේඛා මත ත්‍රිකෝණයක් සමඟ කතිරයක් පිහිටා ඇත්නම් පරම්පරාගත බූදලයක් ලැබෙන බව පෙන්වන ලක්ෂණයකි. කතිරයක් පමණක් පිහිටා ඇත්නම් විශාල අමාරුකම් සහ එවායෙන් මිදිමට සැහෙන වෙහෙසක්වීමට සිදුවන බවත් අවසානයේ වාසනාව උදාවෙන බවක් කියැවේ.

මනිබන්ධන රේඛාවලින් ආරම්භවන අතු රේඛාවක් සිකුරු මණ්ඩලයේ සිරස්ව පිහිටි රේඛාවකට මුණ ගැසේද එම රේඛාව ගුරු මණ්ඩලයට ගමන්කරයි නම් ධනවත් පුද්ගලයකු සමඟ විවාහවීමට නියමිතය. ඉහළට විහිදෙන රේඛාව ගුරු මණ්ඩලයට නොගොස් ශනි මණ්ඩලයට යයි නම් තමාට වඩා වැඩිමහලු කෙනකු සමඟ විවාහ වේ. මෙම රේඛාව රවි මණ්ඩලයට යයි නම් චිත්‍ර ශිල්පියකු සමඟ විවාහ වේ. මෙම රේඛාව බුධ මණ්ඩලයට යයි නම් ව්‍යාපාරිකයකු සමඟ විවාහ වේ. මනි බන්ධන රේඛාවලින් ඇරඹෙන අතු ශාඛාවක් චන්ද්‍ර මණ්ඩලයට ගොස් නැවත ජීවන රේඛාවට යයි නම් එම පුද්ගලයා සංචාරයක් කරන අතරතුර මරණයට පත්වේ. දෛව්‍ය රේඛාව මනි බන්ධන රේඛාව කපයි නම් දුක් කරදර සහිත දිවියකට උරුමකම් කියයි.

කරුණු එසේ වෙතත් අප අවබෝධ කර ගත යුතු වන්නේ පුද්ගලයකුගේ අනාගතය ධෛර්යයෙන් සහ බුද්ධියෙන් මෙහෙයවා ගොඩනඟන අනාගතයක් ම නොවන බවත් යම් මුලික සැලැස්මක් තුළ අප ගමන් කරන බවත්ය. එසේ වුවද එම මුලික සැලැස්මද වෙනස් කර ගත නොහැක්කක් නොවේ. බුද්ධිය හා ධෛර්ය මෙහෙයවා දුර්විපාක මඟහරවා ගත හැකිවනු ඇත. ඒ අනුව වෙනස්කර ගත යුතු සැලැස්ම පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතු වේ. ඒ සඳහා හස්ත රේඛා ශාස්ත්‍රය උපයෝගිතාවයෙන් ඉමහත් ප්‍රතිඵල ලබා ගත හැකිය.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.