ලෞකිකත්වය ගැන කියන දෛව රේඛාව

ජූලි 21, 2023

 

අපි සැමගේම බලාපොරොත්තුව සියලු ලෞකික සැප සම්පත් සහිතව ජීවත් වීමය. ඒ සඳහා නොයෙක් ආකාරයේ රැකියා වෘත්තීන් ව්‍යාපාරවල යෙදිමින් තමාගේ ගොඩ වැඩිකර ගැනීමට උත්සහායක නියළෙයි. නමුත් සමහර පුද්ගලයන්ට සුළු දේ පවා සාර්ථක වන අතර අයෙක්ට විශාල දේ පවා අහිමිවි යයි.

කරුණු එසේ වුවත් මෙම තත්ත්වයන් පුද්ගලයාගේ කර්මානුරූපව හිමි වු ජීවත රටාවද නැතිනම් උත්සහයෙන් හැඩගසා ගනු ලබන ජිවිත රටාවද යන්න නිවැරැදි අවබෝධයක් හස්ත පරික්ෂාවේදී දෛව්‍ය රේඛාව විමර්ෂණය කිරිමෙන් ලබාගත හැකිය.

පුද්ගලයකුට ලැබෙන සියලු සැප සම්පත් රැකියාවේ නැගීම් බැසිම්, අනාගත ජිවිතය හැඩගැසෙන ආකාරය සියලු කටයුතුවල සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මෙන්ම වෙනස් වීම් ආදියද පුද්ගලයා සමාජය කෙරෙහි ඇති සම්බන්ධතාවයද නිගමනය කළ හැක්කේ ද දෛව්‍ය රේඛාවෙනි.

සාමාන්‍යයෙන් දෛව්‍ය රේඛාව පුද්ගලයකුගේ අත්ලේ නෙප්චුන් මණ්ඩලයෙන් හෝ මැණික් කටු සංධියෙන් ආරම්භ වි සිරස්ව ඉහලට ගමන් කර ශනි මණ්ඩලයෙන් අවසන් වේ. නමුත් මෙහි ආරම්භය සහ අවසානය පුද්ගලයන්ගේ අත්ලෙන් අත්ල වෙනස් වේ. එමෙන්ම වෙනත් රේඛාවල ස්පර්ෂ නොවී තනිවම ආරම්භ වීම සහ ගමන් කිරිම යහපත් වන අතර දෛව්‍ය රේඛාව සාමාන්‍ය ගැඹුර පළල සහ එකකාරි බවක් තිබිය යුතුය.

පුද්ගලයෙකු තම පවුලේ උදවිය සමඟ තද සම්බන්ධතාවයක් පවත්වන්නෙ නම් සහ දෙමාපියන්ගේ අණසක යටතේ සියලු කටයුතු සිදුකරන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ දෛව්‍ය රේඛාව ජීවන රේඛාව සමඟ එකතු වෙමින් ආරම්භ වේ. මෙවැනි පිහිටිමක් සහිත පුද්ගලයන් ගේ මුල් කාලය ඉතා දුෂ්කරවේ. චන්ද්‍ර මණ්ඩලයෙන් දෛව්‍ය රේඛාව ආරම්භ වන්නේ නම් කලාව,සංගීතය,ප්‍රවාහනය,විදේශ සම්බන්ධතා යන ආදියෙන් ප්‍රධාන ආදායම් මාර්ගය සකසා ගැනීම යහපත් සේම එසේ වීමට පැහැදිලි ඉඩකඩක් ඇතිවේ. මොවුන් ජීවිත සිද්ධින් බැරෑරුම් ලෙස සිතට නොගන්නා පුද්ගලයන්වේ. ගුප්ත විද්‍යාව සඳහා දක්ෂ පුද්ගලයින් වන්නේ මෙවැනි පිහිටිමක් සහිත පුද්ගලයන්ය. දේශිය විදේශිය සංචාරය සඳහා වැඩි කැමැත්තක් සහිත පුද්ගලයන් වේ.

සිකුරු මණ්ඩලයෙන් දෛව්‍ය රේඛාව ආරම්භ වන්නේ නම් පුද්ගලයා කුඩා කාලය ගෙවා ඇත්තේ දුෂ්කරතා මැද වේ. හදිසි අනතුරුවලට භාජනය වීම් මෙන්ම ජිවිතය නසා ගැනීමට අවස්ථාද ඇතිවිය හැකිය. දෛව්‍ය රේඛාව දුර්වල නම් මුළු ජීවිත කාලයම පවුලේ උදවියගේ බලපෑමට යටත්ව ගත කිරිමට සිදුවේ. කාන්තාවකගේ අතේ මේ ලක්ෂණය ඇත්නම් ස්වාමි පුරුෂයා සම්පුර්ණයෙන් ඇයව පාලනය කරයි. එමෙන්ම අත්ලේ මැදින් දෛව්‍ය රේඛාව පටන් ගන්නෙ නම් එම වයසෙන් පසුව වගකීම් ගනු ලබන අතර එතෙක් ජිවිතය ඉතා සැහැල්ලුවෙන් වගකීම් රහිතව ගෙවා දමා ඇත. බොහෝවිට රේඛාව පටන් ගන්නා වයසේදි රැකියාවක් ලැබීම හෝ මහන්සි වී දියුණුව ළඟාකර ගත යුතුයි යන සිතුවිල්ලෙන් කටයුතු ආරම්භ කිරීමද විය හැකිය. ශීර්ෂ රේඛාවෙන් දෛව්‍ය රේඛාව ආරම්භ වන්නේ නම් බුද්ධිය මෙහෙයවා කරන කටයුතු හේතුවෙක් ආර්ථිකමය දියුණුවට පත්වන බව පෙන්වයි. මෙහිදි දෛව්‍ය රේඛාවෙන් වයස ගණනය කරනු ලබයි. දෛව්‍ය රේඛාව ආරම්භ වන්නේ මැණික් කටු රේඛාවලින් නම් ජීවන රේඛාවට සම්බන්ධ නොවී රේඛාව පිහිටයි නම් එම පුද්ගලයා කුඩා අවධියේ සිටම තමාගේ අනන්‍යතාවය තහවුරු කරගෙන ස්වාධීනත්වයෙන් ඉදිරියට යන ගමනක් පෙන්වයි. නිතරම ඔහුගේ මතය තහවුරු කරයි. එම රේඛාව ගමන් කරන්නේ ගුරු මණ්ඩලය දිශාවට නම් කුඩා කාලයේ සිටම දියුණු වීමට අධිෂ්ඨානයෙන් තම ජීවන ගමන සකස් කරගනිමින් ඉදිරියට එන පුද්ගලයෙක් බිහිවේ.

දෛව්‍ය රේඛාවේ දුපත් සලකුණු පිහිටා ඇත්නම් එම කාලයම ඉතාම දුෂ්කර කාලයක් ගෙවීමට සිදුවන සලකුණකි. දුපත පිහිටා ඇත්තේ හෘද රේඛාවට ආසන්න ප්‍රදේශයේ නම් තමාගේ හැඟීම්වල වැරැදි නිසා ඇතිවන බාධාවකි. අත්ලේ පිහිටා ඇත්තේ දගර ගැසුණු දෛව්‍ය රේඛාවක් නම් නිතර වෙනස් වන ආර්ථික රටාවක් හිමිවන අතර පුද්ගලයාට කලහකාරි ස්වභාවයක සිතක් උරුම වේ. සමාජයේ පුද්ගලයා ක්‍රියාත්මක වීමේදි තීන්දු තීරණ ගැනීමට දක්ෂතාවයක් නැති බව පෙනේ. මෙය බොහෝ සෙයින් රැකියාවට මෙන්ම තමාගේ ව්‍යාපාර කටයුතුවලටද සෘජුවම බලපායි. දෛව්‍ය රේඛාව දම්වැල් ආකාරයක් ගන්නේ නම් පුද්ගලයාගේ අනුවනකම හේතුවෙන් සහ විශ්වාසය කඩකිරිම්වලට පෙළඹීම නිසා ආදායම් මාර්ගවල හවුල් කරුවන් අහිමි වීම හේතුවෙන් ව්‍යාපාර ආදිය කඩා වැටිමට හේතුවේ. එසේම එවැන්නකුට මුදල් සෙවීම සඳහා බොහෝ සෙයින් මහන්සි වී වැඩකිරීමටද සිදුවේ.

දෛව්‍ය රේඛාව කැඩී තිබීම පුද්ගලයාට එතරම් සුබ ප්‍රතිඵලයක් නොවේ. රැකියාව නැතිවී අලුත් රැකියාවක් ලැබීම හෝ ජීවන ක්‍රමයේ වෙනසක් සිදුවීම මෙයින් පෙන්නුම් කෙරේ. නමුත් මෙම පිහිටීම අවාසනාවන්ත ලක්ෂණයක් යැයි කිව නොහැකිය. මන්ද රැකියාව අහිමිව නැවත ලැබෙන රැකියාව කලින් රැකියාවට වඩා හොඳ රැකියාවක් විය හැකිය.

දෛව්‍ය රේඛාවෙන් ඉහළට විහිදෙන අතු ශාඛා පුද්ගලයාගේ යහපත් දියණු වීමක් පෙන්වයි. විශේෂයෙන් දෛව්‍ය රේඛාවෙන් අතු ශඛා මණ්ඩලවලට ගමන් කරන්නේ නම් මණ්ඩලය සතු ගූණාංගයන්ගෙන් පුද්ගලයා දියුණු වේ. අතු ශාඛාව ගමන් කරන්නේ ගුරු මණ්ඩලයට නම් තමාගෙ නොපසු බසින අධිෂ්ඨානය පාලනය කිරීමේ හැකියාව මඟින් දියුණුව සලස්වා ගනී. අතු ශාඛාව ගමන් කරන්නේ රවි මණ්ඩලයට නම් රසාද්වාදය මුල් කරගත් ක්‍රම ඔස්සේ බුද්ධිය මෙහෙයවා ප්‍රසිද්ධිය සමඟින් දියුණුවට පත්වේ. අතු ශාඛාව ගමන් කර ඇත්තේ බුධ මණ්ඩලයට නම් තීක්ෂන බුද්ධිය මෙහෙයවා සියලු ආදයම් මාර්ගයන් දියුණු කර ගනි.

දෛව්‍ය රේඛාව මත තරු සලකුණ පිහිටිම අවාසනාව ගෙන දෙන ලක්ෂණයකි. වෙනත් පුද්ගලයෙකුගේ සටකපට වැඩක් නිසා වැඩ වරද්දා ගන්නා බව කියන පිහිටිමකි. රේඛාව ශනි මණ්ඩලයේ පිහිටි දුපතකින් අවසන් වන්නේ නම් තමාට හිමිවිය යුතු වරප්‍රසාද රහිතව රැකියාව අහිමිවීම පෙන්නයි. තමාගේ යහළුවන් සහ අසල්වාසින් නිසා තමාගේ වෘත්තීයට හෝ රැකියාවට බධා ඇතිවීම දෛව්‍ය රේඛාව මත හරස් කෙටි රේඛා පිහිටිමෙන් පෙන්නුම් කෙරේ. හරස් කෙටි රේඛා රාශියක් ඇත්නම් නිරතුරුවම ඇතිවන බධා පෙන්නුම් කෙරේ. තිත් ලප පිහිටීම පුද්ගලයා නිතී මඟින් දඬුවම් ලබන බව පෙන්වන සලකුණු වේ. හෘද රේඛාවෙන් ප්‍රබල අතු රේඛාවක් පැමිණ දෛව්‍ය රේඛාව කපයි නම් වේදනාත්මක ආදර සම්බන්ධයක් පෙන්වයි. ශීර්ෂ රේඛාවෙන් එන ප්‍රබල අතු රේඛාවකින් දෛව්‍ය රේඛාව කපයි නම් නීතියෙන් දඩුවම් ලැබිමත් එම නිසා මුල්‍යමය කරදර බාධක ඇතිවන තත්ත්වයකි. නමුත් බුධ මණ්ඩලයෙන් විහිදෙන රේඛාවක් චන්ද්‍ර මණ්ඩලයේදි දෛව්‍ය රේඛාව ස්පර්ෂ කරයි නම් එය වසනාවන්ත පිහිටීමකි.

පුද්ගලයෙකුගේ දෛව්‍ය රේඛාව දිවි ගමනේ සියලුම ලෞකික සිදුවීම්වලට සම්බන්ධ වන අතර එක් එක් අවස්ථාවල සිදුවන වැදගත් සිදුවීම් දෛව්‍ය රේඛාව මත මනාව සටහන් වේ. නමුත් මෙහිදි ප්‍රතිඵල තහවුරු කර ගැනීම සඳහා දෛව්‍ය රේඛාවට සමගාමීව ජීවන රේඛාව, හෘද රේඛාව, ශීර්ෂ රේඛාව වගේම අනිකුත් රේඛාවන් ද නිරීක්ෂණය කළ යුතුය.

ජීවන රේඛාව ගැන ලබන සතියේ කතාකරමු.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.