වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
අපේ අත් බෙහෙත්
අත් බෙහෙන් යනු අප පාරම්පරිකව ලත් උරුමයකි. මෙය අපේ දේශීය දැනුම් පද්ධතිය තුළ ඉතා වැදගත් තැනක් ගනී. සුළු රෝගාබාධයකදී කළ යුතු පිළියම් ලෙස, ගෙවත්තෙන් ලබාගත් පැළෑටියක් හෝ මුළුතැන්ගෙයින් පහසුවෙන් ලබා ගත හැකි කුළුබඩු වැනි ද්‍රව්‍ය භාවිතයෙන් රෝගාබාධයන් ප්‍රශමනය කර ගැනීමට අපි හුරු පුරුදුව සිටිමු. අත්බෙහෙත් යනුවෙන් හැඳින්වෙනුයේ එවැනි සරල ප්‍රතිකාර ක්‍රමයි.
අත්බෙහෙත් සංස්කරණය බොහෝවිට තමන් විසින්ම සිදු කරයි. මෙහිදී නිවෙසක ගෘහණියට ඉතා වැදගත් ස්ථානයක් හිමිවෙයි. තවත් විටෙක පළපුරුදු වැඩිහිටියෙකුගේ උපදෙස් අනුව සකස් කෙරේ. අත් බෙහෙත් පිළිබඳව පැරැණි සිංහලයන් තුළ තිබූ දැනුම් සම්භාරය ඉතා ඉහළය. සෑම ලාංකිකයෙක්ම වෛද්‍යවරයෙක් යැයි “රෝබට් නොක්ස්” පවසා ඇත.
එහෙත් වර්තමානය වන විට සුළු රෝගාබාධයන් වැලඳුණු පමණින්ම වියදමක් දරා වෛද්‍ය ප්‍රතිකාර සොයා යාමට බොහෝදෙනෙකු පෙලඹී ඇත. අත්බෙහෙත් භාවිතය ක්‍රමයෙන් ඈත්වී යාමට හේතුවන කරුණු කිහිපයකි. ඉන් ප්‍රධාන ඖෂධ පැළෑටි හා ඒවායේ ඇති ඖෂධීය ගුණ පිළිබඳව නොදැනුවත්කම හා ඔසු පැළ සොයා ගැනීමේ අපහසුවයි. මේ පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම දේශීය වෛද්‍යවරුන් සතු කාර්යභාරයකි.
සරල රෝග අවස්ථාවන්හිදී මේ උපක්‍රම භාවිතයෙන් රෝහල්වල ඖෂධ සඳහා වැය වන අතිමහත් විදේශ විනිමය රටේ සංවර්ධන කාර්යයන් සඳහා ඉතිරි කර ගත හැකි වෙයි. අපේ පැරැණි අත්බෙහෙත් වට්ටෝරු සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වීම ද විදාර්ථයන් සතු කාලීන අවශ්‍යතාවයකි. තම ගෙවත්තේ ආහාරමය වැදගත්කමක් ද සහිත ඔසු පැළ කීපයක් වවා ගැනීමටද පුරුදුවීම වැදගත්ය. මේඔසු පැළ හා අත්බෙහෙත් පිළිබඳව ඉදිරි පරපුර දැනුවත් කිරීමෙන් අපේ සංස්කෘතික දායාදයෙන් ගිලිහී යා නොදී රැක ගැනීමට හැකිවේ යැයි යනු අපගේ විශ්වාසයයි.
පහසුවෙන් සොයාගත හැකි අත්බෙහෙත් කිහිපයක ඖෂධීය වටිනාකම පහත දැක්වේ.
1. අරළු - අග්නි බලය වඩවයි. බලකාරකයි. මෘදු විරේකයකි.
2. ඇඹුල් ඇඹිලිය - අක්මාව කෙරෙහි ක්‍රියාකර ලේ වඩයි. විස නසයි. ග්‍රහණී හා ඇරැඹි රෝගවලදී විශේෂයෙන් ගුණදායකයි.
3..ඉඟුරු – අග්නිදීපනයි. අජීර්ණ ආදියට යහපති. ආහාර දිරවීම පහසු කරයි. කාස ශ්වාස හික්කා සහ ප්‍රතිශ්‍යා උණ නසයි.
4.ඉරමුසු - ලේ පිරිසුදු කරවයි /රක්ත ශෝධකයි. ගර්භ ස්ථාඵකයි. මූත්‍රජනකයි. දාහ ප්‍රශමන හා ජ්වරාඝනයි (ජ්වර නාඩි / උණ රෝග)
5.කතුරුමුරුංගා - ආහාරමය වැදගත්කමක් ද සහිතයි. රාත්‍රි කාලයේදී ඇස් නොපෙනීම, පීනස් රෝග, ඉරුවාදරය යන රෝගවලදී ගුණදායකය.
6.කරපිංචා - බඩගින්න වැඩිවීම, ආහාර පැසවීමට උපකාරිවීම, අජීර්ණාබාධ සුවය, කරපිංචා කැඳ ප්‍රබල විස නාශකයකි. සර්ප විසේදී විශේෂයෙන් පොළොං විසේදී ලුණු නොදමා කැඳ පිසදෙනු ලැබේ. සිරුරේ විස පැතිරීයාම වළකයි. අධික රුධිර පීඩනය සහ ලේවල මේදය කොලෙස්ටරෝල්වලදී පොල්කිරි රහිතව කොළවලින් සකසාගත් කැඳ ප්‍රයෝග කරයි.
7. කහ - මුළුතැන්ගෙයි නිතර භාවිත වෙයි. ලේ පිරිසුදු කරයි. පීනස, දැවිල්ල, ඉදිමුමට, සමේ වර්ණය, පැහැපත් කිරීමට, සමේ රෝගවලට කොහොඹ කොළ අමුකහ තම්බාගත් ජලයෙන් සෝදයි.
8.කොහිල -ග්‍රහණී අර්ශස් මූල රෝගවලට යහපති.
9.ගම්මිරිස් - අජීර්ණය, අග්නිමාන්දිය, බඩ පුරවා දැමීම, උදර වේදනා, පණුරෝග, අක්මාරෝග ප්‍රතිශ්‍යාව, කැස්ස , ඇදුම ආදි තත්වවලදී භාවිත කරයි. දේශීය තැම්බුම් හොද්දේ ප්‍රධානතම සංඝටකයකි.
10.දෙහි පානය පිපාසය සංසිඳවයි. පණූු රෝග , බඩ රිදීම, අග්නිදීපනයට හිතයි. විස නසයි. සර්පාදි සතුන් දෂ්ට කළ විට දංශක දෂ්ට මුඛයට දෙහි බෑයක් ඇතිල්ලීම සිදු කරයි. හිස්සොරි ප්‍රතිශ්‍යාවේදි වේදුපෑමට ආදියට ඉතා අවශ්‍ය ගසකි.
11.නෙල්ලි, නෙල්ලි යුෂ පානය පිපාසය, මුත්‍රරෝග දුරලයි. නෙල්ලි ඵලය රසායන ගුණයෙන් යුක්තයි. හිසකෙස් වඩවයි, ස්නායු ශක්තිමත් කරයි. මොළයට හා හෘදයට ඉතා හිතකර දිව ඔසුවකි.
විස වෙදකම පිළිබඳ විශේෂ
ආයුර්වේද වෛද්‍යාචාර්ය
ටී.සී. රුවන් ජයතිලක