කට පරෙස්සම් කරගෙන දියවැඩියාව පාලනය කරමු

නොවැම්බර් 10, 2023

දියවැඩියා රෝගයට බෙහෙත් ගන්නවා වගේම කෑමෙන් බීමෙනුත් ප්‍රවේසම් විය යුතුය. සමහර රෝගීන් කියන කරුණක් තමයි බෙහෙත් ගත්තට තවම ගුණයක් නැහැ කියන එක. ඒකට හේතුව තමයි බෙහෙත් දීලා වෙද මහතා හෝ වෙද මහත්මිය කියන විදියට කටයුතු නොකිරීම. සමහර දියවැඩියා රෝගීන් බෙහෙත් බොන ගමන් මද්‍යසාර වර්ග පානය කරනවා, පැණිබීම වර්ග, පැණි රස කෑම කනවා වගේම දුම්පානය කරමින් චොක්ලට්, සීනිබෝල වගේම බයිට් වර්ගත් කනවා. එපා කියන කෑම වර්ගමයි කන්නෙ. ලෙඩේ පාලනය කරගන්න කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. රෝගීන් දැන ගන්න ඕන වෛද්‍යවරයා දෙන උපදෙස් ඒ අයුරින්ම පිළිපදින්න.

වෙද නෝනා එසේ කීවේ දියවැඩියා රෝගයට ප්‍රතිකාර ගැනීමට සිටි රෝගීන් අමතමිනි. වෛද්‍යවරුන් රෝගයට ප්‍රතිකාර ලබා දෙනවා. ඒ දෙන බෙහෙත් කියපු විදියට බොන්න ඕන කියපු කෑම ජාති, බීම ජාති බොන්න ඕන. එහෙම නැතිව තමන් කැමති කෑමබීම ගන්න ගියොත්, රෝගියා සුව වෙන්නේ නැහැ. හිතුවක්කාර විදියට කටයුතු කරන්න ගියාම තමයි පාදවල ඇතිවන ආබාධ නිසා කකුල්වල කොටස් ඉවත් කරන්න වෙන්නේ. ඇස් දුර්වලතාවයට පත්වන්නේ.

රෝගියෙක්, මොනවද කන්න බොන්න ඕනේ වෙද නෝනා එහි සිටි එක් අයකු විමසීය.

රෝගයට බෙහෙත් බොනව වගේම සුදුසු කෑම, බීම තෝරා ගැනීමටත් දැඩි උනන්දුවක් දක්වන්න ඕනෑ. සීනි පාලනය කරන එළවළු, පලතුරු වඩාත්ම ගුණදායකයි.

 

දඹල

මේ දඹල වාරයයි. වෙළෙඳපොළේ දඹල ඕනතරම් තියෙනව. ප්‍රෝටීන්, බහුල ආහාරයක් වන දඹල දියවැඩියාවට ඉතාම ගුණදායකයි. දඹල ව්‍යංජනය, මැල්ලුම, සම්බෝලය ලෙස සාදා ආහාරයට ගත හැකියි. ශරීරයට ඉතාම ගුණදායක දඹල රුධිරයේ පවතින සීනි මට්ටම අඩු කරනවා.

 

ඇඹරැල්ලා

ඇඹරැල්ල රසවත් පලතුරක් වගේම එළවළුවක් ද වේ. ආහාර රුචිය ඇති කරන ඇඹරැල්ලා ආහාර හොඳින් ජීර්ණය කරයි. කෑමට පි‍්‍රය උපදවන අතර, මළ පිට කිරීමේ අපහසුතාවයන් ද දුරලයි. රුධිර ගමනාගමනයද පහසු කරන අතර, කෙඳි සහිත බැවින් සිරුරට වඩාත්ම ගුණදායක වේ. ඇඹරැල්ලාවල පවතින ඇඹුල් රසය මෙන්ම ඉදුණු ඇඹරැල්ලාවල පවතින සුවඳවත්භාවය කෑමට පි‍්‍රය උපදවයි.

 

කරවිල

දියවැඩියාවට විශේෂයෙන් ගුණදෙන එළවළුවක් වන කරවිල අධික පෝෂ්‍ය ගුණයෙන් යුත් එළවළුවකි. කරවිල අඩු කැලරි ප්‍රමාණයකින් පවතී. කරවිලවල තුන්දොස් සමනය කිරීමේ බලයක් ද පවතී. ශරීරයේ ලේ පිරිසුදු කරන අතර, මුත්‍රාගල් දියකර හැරීමේ ගුණයක් ද පවතී. විටමින් සී ජීව පදාර්ථය බහුලව ඇති කරවිලවල විටමින් ඒ, විටමින් බී, විටමින් ඊ සහ විටමින් කේ ද අන්තර්ගතව ඇත. කරවිල ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය ආශි‍්‍රත සියලු රෝගයන්ට ගුණදායක වේ. ඇස් පෙනීම වර්ධනය කරන කරවිලවල ද ප්‍රතිශක්තිය ද වර්ධනය කරයි.

 

තෙබු

තෙබු කොළ ආහාරයට ගැනීමෙන් ලේවල සීනි මට්ටම පහළ යන බවට ජනතාව අතර මතයක් පවතී.

උෂ්ණාධික ගුණයෙන් යුත් ශරීර ඇති අය තෙබු ආහාරයට ගැනීමෙන් සිරුර සිසිල් කරයි. කොලෙස්ටරෝල් පාලනය කිරීමට හා දියවැඩියාව පාලනය කිරීමට තෙබු බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

 

කෝවක්කා

කෝවක්කා කොළ මැල්ලුම දියවැඩියා රෝගීන්ට ඉතාමත්ම ගුණ වේ. කෝවක්කා කොළ හොඳින් සෝදා සිහින් වෙන්න කපා මැල්ලුම සාදා ආහාරයට ගැනීම ගුණදායකය. එමෙන්ම කෝවක්කා කොළ මැල්ලුම අර්ශස්වලට සහ මළ බද්ධයට ද ගුණදායකය. සමේ ඇතිවන හොරි, දද, කුෂ්ට කැසීම් ආදියට ද ගුණදායකය.

 

කෙසෙල්මුව

කෙසෙල්මුව මැල්ලුම ද සිරුරට ඉතාම ගුණදායකය. කෙසෙල්මුවවල කෙඳි ගතිය බෙහෙවින් පවතින බැවින් ආහාර හොඳින් දිරවයි. එමෙන්ම සිරුරේ විස කොටස් ඉවත් කිරීමට ද පියවර ගනී. ශරීරගත මළ ඉවත් කොට සුවයක් ලබා දෙයි. කෙසෙල්මුව පිට ආවරණය පොත්ත ඉවත් කර සිහින් වෙන්න කපා ගැනීමෙන් පහසුවෙන්ම මැල්ලුම සාදා ගත හැකිය.

 

පොළොස්

පොළොස් ඉතා රසවත් ආහාරයකි. ව්‍යංජනයක් මෙන්ම පොළොස් මැල්ලුමක් ලෙස ද ආහාරයට සකස් කරගනි. පොළොස් රෝග ගණනාවකටම ගුණදෙන දෙන ආහාරයකි. ආහාර රුචිය වැඩි කරනු ලබන අතර, බඩගින්න ද ඇති කරයි. මළබද්ධය ද දුරු කරනු ලබන අතර, ශක්තියක් ද ගෙන දේ.

 

මුං ඇට

දියවැඩියා රෝගීන් සඳහා උදේ ආහාරයක් සඳහා මුං ඇට ද ගුණදායකය. පෝෂ්‍ය පදාර්ථ ගැන සැලකීමේදී මුං ඇට ග්‍රෑම් සියයක අඩංගු පෝෂ්‍ය පදාර්ථ ප්‍රෝටීන් ග්‍රෑම් විසිහතරක් ඇති අතර, කැල්සියම් ඇත්තේ මිලිග්‍රෑම් එකසිය විසිහතරක් පමණකි. යකඩ මිලිග්‍රෑම් හැත්තෑතුනක් ඇති අතර, මුංඇටවල පිත් නසන ගුණයක් ද ඇත. මුං ඇට ආහාරයට ගැනීමෙන් ඇස්වල පෙනීම ද වර්ධනය කෙරේ.

කොතලහිඹුටු

කොතලහිඹුටු, දියවැඩියාව පාලනය කිරීමට බෙහෙවින් සමත් වේ. එය තම්බා බීම වඩාත්ම ගුණදායකය.

තවත් රෝගියකු ඒ අසා මෙසේ කීවේය. වෙද නෝනාගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා මම දැනගන්න කැමතියි, මම ආහාර පාලනය කරගෙනයි ඉන්නෙ. ඒත් ගිය මාසෙ ලේ පරික්ෂා කළාම තියෙන අගය නෙවෙයි මේ මාසෙ බැලුවම තියෙන්නෙ?

වෙද නෝනා එයට මෙසේ පිළිතුරු දුන්නාය.

දියවැඩියාව පාලනය කරන විට වෙද මහත්වරු හරි වෙද නෝනල හරි දෙන උපදෙස් පිළිපදින්න ඕනෑ. දියවැඩියාවට දෙන චූර්ණය එහි සඳහන් විදියට බොන්න ඕනෑ. කෑම වුණත් ගන්න ඕනෑ උපදෙස් අනුවයි. ඒ වගේම මත්පැන්වලින් හා දුම්පානයෙන් වැළකී සිටීමත් වැදගත්. ව්‍යායාම යෙදීමත් අවශ්‍යයයි. ටික දුරක් හෝ ඇවිද යන්නත් ඕනෑ. විශේෂයෙන් අධික ලුණු යෙදූ ආහාර ගැනීමෙන් වැළකිය යුතුයි. දියවැඩියාවෙන් පෙළෙන රෝගියකු නම් ඔබට හෘදය ආශි‍්‍රත සංකූලතා ඇතිවීමේ හැකියාව ඉහළ යන බැවින් ද අධිරුධිර පීඩනය වැලඳීමට බෙහෙවින්ම ඉඩ ඇති බැවින් ද ලුණු යෙදූ ආහාර වැඩියෙන් කෑමෙන් වැළකී සිටිය යුතුය. විශේෂයෙන් සෝස් වර්ග, ෂෝටීස් වර්ග, අච්චාරු වර්ග, චයිනීස් අච්චාරු, ලුණුදෙහි, ලුණු යෙදීමෙන් අලෙවි කරනු ලබන අන්නාසි ආදී ආහාරවලින්ද වැළකී සිටිය යුතුය.

 

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

සටහන – එස්.එස්.එස්. ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.