පියයුරු පිළිකා ගනිමුද වළකා

ඔක්තෝබර් 13, 2023

ලෝකයකට පණ දෙන්නට සොබාදහමේ වටිනාම ආහාරය වූ මව්කිරි නිපදවන්නට සොබාදහමෙන් දුන් දායාදයක් වන පියයුරු ජීවිතයට වටිනාකමක් හා පියකරු බවක් එකතු කරන්නට මිස ජීවිතය අකාලයේ උදුරා ගැනීමට හේතුවක් වන තුරු බලා සිටිනවාද?

දිනකට රෝගීන් නව දෙනෙකුත්, වසරකට තුන්දහස් පන්සීයකුත් වශයෙන් අලුත් රෝගීන් හඳුනා ගන්නා, දිනකට දෙදෙනකුට මරණය කැඳවන පියයුරු පිළිකාව දැන් අපේ රටේ කාන්තාවන් අතර පවතින බහුලම පිළිකාව වී හමාරයි.

එය කල්තියා හඳුනා ගන්නේ කෙසේද එයට කුමක් කළ යුතුද? වශයෙන් ගැටලු රාශියක් දැන් පැන නැඟෙනු ඇති. මේ ඔක්තෝබරය පියයුරු පිළිකා වැළැක්වීම සඳහා දැනුවත් කිරීමේ මාසයේ ඒ ගැන අවධානය යොමු කරමු.

පියයුරු පිළිකාවක් බොහෝවිට ආරම්භ වෙන්නේ කිරි නිපදවන නාළවල හා ග්‍රන්ථි පටකවල තිබෙන සෛල කුටීර තුළ වැඩෙන ආක්‍රමණශීලී සෛලවලිනි.

මේ තත්ත්වය ඇති වීමට අවදානම වැඩි කළ හැකි හේතු එකිනෙකට වෙනස් විය හැකිය. වයස අවුරුදු 12 ට පෙර ආර්ථවය ඇතිවීම, දරුවන් බිහි කර නොමැතිවීම හෝ ප්‍රමාද වීම, මව්කිරි ලබා නොදීම, උපත් පාලන පෙති දීර්ඝ කාලයක් ගැනීම, අනවශ්‍ය ලෙස විකිරණ ප්‍රතිකාරවලට භාජනය වීම, හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාරය දීර්ඝ කාලීනව භාවිතය, ලේ ඥාතීන්ට පියයුරු පිළිකා වැල¼දී තිබීම, ආර්තවහරණය ප්‍රමාද වීම, ජාන විකෘතිතා, කෘතීම ආහාර, අයහපත් ජීවන රටාව, මත්ද්‍රව්‍ය භාවිතය හා දුම්පානය, ඇබ්බැහි වූ පුරුදු සහ පාරිසරික හේතූන් වැනි දෑ ඊට ඇතුළත්.

පියයුරු පිළිකාවක ප්‍රධාන ලක්ෂණය වන්නේ පියයුරුවල මෘදු පටක ඝන වී, එය පියයුරේ ගැටිත්තක් ලෙස මතුවීමයි. එසේම පියයුරුවල වේදනාව, දොඩම් ලෙල්ලක මතුපිට මෙන් පියයුරේ සමේ ස්වරූපය සිදුරු සහිත වීම, පියයුරු පුඩු වටා ඇති වන තුවාල, රුධිරය හෝ ශ්‍රාවයන් පිටවීම, ඇතුළට ගිලී ගිය තන පුඬුවක්, පියයුරෙහි ප්‍රමාණය, හැඩය හෝ පෙනුමේ යම් ආකාරයක කලින් පැවතියාට වඩා වෙනසක් ඇති වීම, තන පුඩුව හෝ පියයුරුවල සම වටා වර්ණකවල වෙනසක් හෝ ඉදිමීමක්, පිම්බීමක් ඇති වීම පියයුරු පිළිකාවක ලක්ෂණයක් වීමට බොහෝ ඉඩ ඇත.

කෙසේ වෙතත් දිගු කලක් මවුකිරි දීම සහ අඛණ්ඩ ව්‍යායාම්වල නිරත වීම යන කාරණා පියයුරු පිළිකා සෑදීමේ අවදානම අඩුකිරීමට හේතුකාරක වෙයි. තවද ශරීර ස්කන්ධ දර්ශකයේ අගය නියමිත සීමාවේ පවත්වා ගැනීමත් වැදගත් වේ. එසේම පිළිකා නාශක ගුණයෙන් සපිරුණු සැමන්, තක්කාලි, කරවිල, බ්රෝකෝලි, කොළ ගෝවා, වට්ටක්කා, අනෝදා, දෙළුම්, සුදුළූණු සහ කහ නිරන්තරයෙන් ආහාර සඳහා එකතු කරගැනීමත් වැදගත්.

පියයුරු පිළිකාව මරණයට හේතුවක් නොවේ. නිසි කලට පරීක්ෂණ හා ප්‍රතිකාර වෙත යොමු වීමෙන් පියයුරු පිළිකාවෙන් ජීවිතය බේරාගත හැකිය.

අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක්ම මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවකට ලක්කර බැලීම සුදුසුය. නැතිනම් සුවනාරී සායනයකට ගොස් පරීක්ෂාවට ලක් විය හැකිය.

ඔක්තෝබරය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම හා වැළැක්වීම පිළිබඳ මාසයයි. කාන්තා සිරුරේ ලාලිත හැඩය පවත්වා ගැනිමට මෙන්ම කාන්තාවකට සිරුරේ වැදගත්ම අංගයක් වන පියයුරු යුගල පිළිබඳව වඩා සැලකිලිමත් බවක් දක්වන්න. ශරීරයේ ආගන්තුක වෙනස ඔබේ ජීවිතයේ සතුට උදුරා ගන්නා තෙක් බලා නොසිට වහා පියයුරු පිළිකාවෙන් ආරක්ෂිත වීමට කටයුතු කරන්න.

 

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල

කොළඹ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.