සඟවන රෝගය අර්ශස්

ඔක්තෝබර් 27, 2023

අර්ශස් යනු, ගුද මාර්ගය තුළ ඇතිවන ලේ පිරුණු ගෙඩි වර්ගයකි. මේවාට හොඳ රුධිර සැපයුමක් තිබෙන බැවින් තුවාල වීම නිසා ලේ පිට වේ.

මේවා විශාල වූ විට ගුද මාර්ගයෙන් පිටතට පැමිණිය හැකිය. මෙය වේදනාකාරී කලකිරෙනසුලු සහ බොහෝ විට ප්‍රතිකාර ලබා ගැනීමට පවා මැළිකමක් දක්වන රෝගී තත්වයකි. දීර්ඝ කාලීන මළබද්ධය, ගර්භනීභාවය නිසා ඇතිවන ශාරීරික පීඩනය, මළපහ පිටකිරීමේදී ඇතිවන වෙහෙස, දිගු වේලාවක් වාඩි වී සිටීම හා පාරම්පරික සාධක ඇතුළු හේතු කිහිපයක් මේ තත්වය සඳහා බලපායි.

මළ බද්ධය අර්ශස් රෝගයේ මූලිකම රෝග ලක්‍ෂණයකි. එසේම ගුද මාර්ගයේ නිරන්තර තෙත් ස්වභාවය, උදර දාහය හා නිතර බඩ පුරවා දැමීම ද අර්ශස් රෝගයෙහි ලක්‍ෂණයන්‍ය. ගුද මාර්ගයේ කැසීම, ඇතුළත සහ පිටත ගෙඩි, ආහාර ගත් විගස මළ පිටකිරීමේ අවශ්‍යතාවය ඇති වීම, ගුද මඟ වේදනාව සහ දැවිල්ල, මළ සමඟ රුධිරය පිටවීම අර්ශස් නිසා ඇතිවිය හැකියි. මළ මාර්ගය පහත් වීමත් අර්ශස්හි රෝග ලක්‍ෂණයකි.

මෙහිදී වේදනාව සමනය කිරීම සඳහා මඳ උණුසුම් වතුරේ විනාඩි විස්සක් පමණ වාඩිවී සිටීම දැවිල්ල අඩු කිරීමට උපකාරී වේ. අයිස් පැක් තැබීමෙන් වේදනාවෙන් සහ කැසීමෙන් සහනයක් ලබා ගත හැකිය.

හයිඩ්‍රොකෝටිසෝන් හෝ ලිඩ්නොකේන් අඩංගු ආලේපන ද රෝග ලක්ෂණ යම්තාක් දුරට සමනය කිරීමට උපකාරී වේ. ඒ කිසිවකට අඩු නොවේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් වේ.

අර්ශස් රෝගයෙන් වැළකීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමයක් වන්නේ ආහාර හා ජීවන රටාව වෙනස් කිරීමයි. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමත් තන්තු අධික ආහාර වේලක් ගැනීමත් මළබද්ධය වළක්වා ගැනීමට හා මළපහ පිට කිරීම පහසු කිරීමට උපකාරී වේ. නිරන්තරයෙන ක්‍රියාශීලීව සිටීම සහ දිගු වේලාවක් වාඩි වී සිටීමෙන් වැළකී සිටීමද මේ තත්ත්වය වළක්වා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග වේ.

අර්ශස් රෝගීන් සඳහා ගුණ දෙන ප්‍රධාන ආහාර පාන කිහිපයක්ම ඇත. ගොටුකොළ හා කතුරු මුරුංගා කොළ වැඩිපුර ආහාරයට ගැනීම සුදුසුය. තවද තන්තු සහිත කොහිල අල, නෙළුම් අල, කෙසෙල්මුව, බාගෙට පැසුණු ගස් ලබු, අළු කෙසෙල් බඩය, පොළොස්, කැරන් කොකු හා කෙකටියද වෑංජන ලෙස පිළියෙල කොට ආහාරයට ගැනීම මේ රෝග සුවයට ගුණදායකයි.

උදෑසන කොළ කැඳ කෝප්පයක් පානය කිරීමද ඉතාම යෝග්‍ය ය. කැඳ පිළියෙළ කර ගැනීම සඳහා කොහිල අල හා රතු කැකුළු හාල්, ගොටුකොළ, මොණරකුඩුම්බිය හා හීන් බෝවිටියා වැනි දෑ භාවිත කිරීම වඩාත් සුදුසුය.

මේ රෝගයෙන් වැළකී සිටීමට මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්පානයෙන් තොරවීමද අත්‍යාවශ්‍යය. නිරන්තර ව්‍යායාම්වල නිරතවීමත්, ඇවිදීමත් අවශ්‍යය.

වාඩිවීමේදී හොඳීන් වාතාශ‍‍්‍රය ලැබෙන සිදුරු සහිත ආසන භාවිතයටත් හුරුවිය යුතුය. මානසික ආතතියත් අර්ශස් රෝගයට ගොදුරුවීමට හේතුවන කරුණක් නිසා මනසට සැහැල්ලුවක් ගෙන දෙන ක්‍රියාකාරකම්වල නිරත වීමටත් අවධානය යොමු කළ යුතුය.

අර්ශස් යනු සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගයක් වන අතර ආයුර්වේදය තුළ මේ සඳහා විශේෂ ප‍‍්‍රතිකාර ක‍‍්‍රම ඇත. බටහිර වෛද්‍ය ක‍‍්‍රමය තුළ ශල්‍ය කර්ම සිදුකිරීමට නියමිත අර්ශස් රෝග අවස්ථා කිසිදු සැත්කමක් සිදු නොකරම කෙටි කලක් තුළ ආයුර්වේද ප්‍රතිකාර මඟින් සුවකළ හැකිය. මේ සඳහා අභ්‍යන්තර ඖෂධ ලබා දෙන අතරේ ගුද මාර්ගයේ ඇතුළතට සිදු කෙරෙන තෛලමය වස්ති හා ආලේපයන් භාවිත කරනු ලබයි.

මේ ප‍‍්‍රතිකාර ගන්නා කාලසීමාව තුළ හා ඉන් පසුව ඉස්සෝ, දැල්ලෝ, බලමාළු, තක්කාලි වැනි උෂ්ණාධික ආහාරත් පිෂ්ඨය බහුල ආහාර හා කෘත්‍රිම වර්ණක හා රසකාරක යෙදූ ක්‍ෂණික ආහාරපානවලින් වැළකී සිටීමත් රෝගය සුවවීමට බෙහෙවින් උපකාරී වේ.

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල

කොළඹ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 19 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.