වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
දූත ලක්ෂණයෙන් දෂ්ඨ කළ සර්පයා හඳුනාගන්නා අපේ සර්ප වෙදකම
දේශීය වෛද්‍ය ශාස්ත්‍රය තරම් පැරණි වෛද්‍ය ශාස්ත්‍රයක් ලොව අන් රටක නැත. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැති සමීප සම්බන්ධතාව මත භාරතයේ උපන් ආයුර්වේදයේ ආභාසය අප රටද ලැබීය. මේ අනුව දේශීය වෛද්‍ය ශාස්ත්‍රයත්, ආයුර්වේදයත් සංකලනය වූ ඉතා සාර්ථක වෛද්‍ය ක්‍රමයක් අතීතයේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙයි.
සර්වාංග වෙදකම, ඇස් වෙදකම, ගෙඩි වෙදකම, ගව වෙදකම, කැඩුම් බිඳුම් වෙදකම, සර්ප වෙදකම ආදි විවිධ වෙදකම් සඳහා ප්‍රවීණ වෙදමහත්වරුන් වූවා මෙන්ම ඒ පිළිබඳ පොත පතද ලියැවිණි.
පැරණි සිංහල ගමේ වෙද ගෙදරක් නොමැති ගමක් නොවූ තරම් වන අතර “සිංහල ගැමි සෑම අයෙක්ම වෙද්දුහ”යි යන රොබට් නොක්ස් ප්‍රකාශයද සඳහන් කළ යුතුය. මිනිසුන්ට පමණක් නොව සතුනට පවා වෙද හෙදකම් කළ රෝහල් පැවති මේ රටේ සර්පයන්ට, අලින්ට, ගවයින්ට ආදි ලෙස වෙදකම් කළ විශිෂ්ට වෙදවරු වූහ. ඔහු කටයුතු කළේ සේවයක් ලෙස මිස ආදායම් මර්ගයක් ලෙස නොවේ. ගමේ හැම කටයුත්තකම නැකත් හැදුවේ ඔහුය. ඡ්‍යොතිෂය පිළිබඳ පුළුල් දැනුමක් ඔහු තුළ විය.
සර්පයකු දෂ්ඨ කළ විට සර්පයා දෂ්ඨ කළේ කවර දිනකද කවර තැනකද යන්න බලන වෙද මහතා ඒ ඔස්සේ රෝගියා සුව කළ හැකිද, නොහැකිද, සාධ්‍යද, අසාධ්‍යද යන පූර්ව නිගමනයකට බසියි.
“කත්ති කා භරණි රුද්ද මසා පුබ්බත්ත යාදිසු
සස්ප දට්ඨො නජීවෙය්‍ය භවේවා කිච්ඡසාදියෝ
නවම් පඤ්චමි ජට්ඨි තථා කණ්හෙ චතුද්දසි
චතුත්ථි තිථියජඣංච දට්ඨානං විස්මාමතං
කැති, බෙරණ, අද, මා, පුවසල, පුවපුටුප, පුවපල් යන නැකතින් සපුන් දෂ්ඨ කළහොත් ජීවිතය රැකිය හැකි නොවේ. ඇතැම් කෙනෙකුන්ට කෘච්ඡසාධ්‍ය හෝ වෙයි. සෙසු නැකත්හිද විෂ පාදයෙන් කන ලද්දේ අසාධ්‍ය වේ. නවවක, විසේනිය, සැටවක, කළුවර පක්ෂයෙහි තුදුස්වක අව ජලවක සොහොන් මිනී දවන තැනකදී සපුන් දෂ්ට කළහොත් ඒ ද අසාධ්‍යයයි දන්නේය. “ (භේසජ්ජ මඤ්ජුසා නූතන සන්නය – විලේගොඩ ශ්‍රී ධම්මානන්ද නාහිමි 58 පද්ධති 5 -6 ගාථා 690 691 පි.)
මේ පැරණි පද්‍ය දෙකකි
දකුණ හිමි දවස ට
විසුවොත් වමය සහතුට
සපු විස අඩු ඌ ට
සුවය ගෙන දෙයි දනුව එම විට
වම නියම දින ටා
විසුවොත් දකුණ එම ටා
විස අඩුය සතුටා
බසී සපු විස ගතේ නොසිටා
ඒ ඒ දිනවලට ඒ ඒ තැන් දෂ්ට කිරීම ගැන කියැවෙන අයුරු බලන්න.
පෑල වියට දකුණත යා
කෑවොත් කළ විය විස යා
දියවක් පිට පතුලක යා
විස නොබසී මෙලෙසක යා
තියවක - වළලුකර, ජලවක - දෙදන, විසවක - උකුල, සටවක - පෙකණිය, සතවක, - බදවට, අටවක - පියයුරු, නවවක - ගිරිමඬල, දසවක - ගෙල, එකොළොස්වක - නාසය, දොළොස්වක, කන, තෙලෙස්වක – ඇස, පිටත තුදුස්වක – නළලත, පසළොස්වක – සිරස, ආදි ලෙස කෑව හොත් රෝගියා අසාධ්‍යද නැද්ද ජීවත් කරලිය හැකිද, නැද්ද යනාදි කරුණුූ ගැන වෙද මහතා
සර්ප විෂ වෙදකම පිළිබඳ බොහෝ දක්ෂ වෙද මහතා, තමා කැඳවාගෙන ඒමට පැමිණෙන දූතයාගේ ස්වභාවය මත ද කෑ සර්පයා කවරෙක්ද යන්න පමණක් නොව රෝගියා සුව කළ හැකිද නැද්ද යන්න ගැන වටහා ගනියි.
බිලිඳෙක් කැටුවම කතක්ද එන් නේ
ඇවිත් තමා ළඟ අඬා වැටෙන් නේ
මූණ ද සිඹිමින් මෙසේ කියන් නේ
රැව් දෙන නයි විෂමයි පවතින්නේ
දූත ලක්ෂණ අනුව කෑ සතා නයා බව අඳුනාගනියි.
වරලස උනාගෙන එන, වම් කකුලෙන් බිම හාරන, උතුරු පැත්තේ සිට ගෙන පවසන දූතයෙක් වුවොත් රෝගියා දෙපැයෙන් නැසෙන ලක්ෂණයෝ දක්වති.
වරලස උනා එන බව දැන කියමින් නේ
වමේ පයින් බිම හාරයි දැන ගන්නේ
උතුරේ සිටගෙන මයි පවසන්නේ
එසේ වුවොත් දෙපැයින්ම නසින්නේ
අපේ සර්ප විෂ වෙද මහතුන්ගේ දැනුම් සම්භාරය හා ප්‍රතිකර්ම ක්‍රම පිළිබඳව සලකන විට විස්මිත බව හැඟී යයි. නාගයාගේ උගුරේ ගෙඩිය සුවපත් කළ බුද්ධදාස රජතුමා වැන්නන් සිහියට නගමු.
කලාභූෂණ,ශාසනදීපන, සාහිත්‍යකීර්ති
ආචාර්ය සිරිපාල මාදුවගේ