මේ දිනවල පැතිරෙන ඇස් රුදාව පිළිබඳ විමසිලිමත්ව කටයුතු කරන්න

ඔක්තෝබර් 20, 2023

 

උණුවතුර සේවනය, බටර් බෝංචි, කැරට්, ලීක්ස්, දඹල, තලනබටු, වැටකොළු, පතෝල, අළුකෙසෙල්, ගොටුකොළ, මුකුණුවැන්න, බෙහෙත් සාරණ (පිටසුදු සාරණ) මෙවැනි දේ පමණක් ආහාරය දෙන්න.

 

මේ වන විට දිවයින පුරා ව්‍යාප්ත වන ඇස් රුදාව ඉතා ඉක්මනින් බෝවන රෝගයකි. දේශීය පාරම්පරික වෛද්‍ය කර්මයේදී මෙම රෝගයට ඇස් රුදාව (ඇසේ රත) නැතහොත් අභිෂ්‍යන්ද රෝගය යන නම්වලින් හඳුන්වනු ලැබේ.

 

ඇස්රුදාව නමින් හඳුන්වන මෙම රෝගී අවස්ථාව ඉතා ඉක්මනින්ම බෝවන ඇස් දෙකෙහිම හටගන්නා රෝගයකි. අප ශරීරයේ පවත්නා තුන් දොස එසේ නැතිනම් ත්‍රිදෝෂ තත්වය වන වා, පිත්, සෙම් යන තුන් ආකාර දෝෂයන්ට සිව් වන දෝෂයක් ලෙස ලේ ධාතුව එක්කිරීමේ වා, පිත්, සෙම් රත්තජ යන සිව් ආකාර දෝෂ තත්වයන් මෙම අක්ෂිරෝග අවස්ථාවටද පැන නැඟේ. මෙම දරුණු වූ (ඇස් රුදාව) අභිෂ්‍යන්ද රෝගය ඇසේ දරුණුවූ තවත් රෝගී අවස්ථා කිහිපයක් හට ගැනීමට උපකාර වේ.

රෝග ලක්ෂණ

ප්‍රථමව ඇසේ දැවිල්ල හටගෙන පසුව ක්‍රමයෙන් ඇසේ රතුපාට ස්වභාවය දක්නට ලැබේ. කබ, කඳුළු ගැලීම ඇස තුළට වැලි ගියාක් මෙන් ඇස පිල්ලම් ගසන විට කෙවිට ඇතිවේ. මෙය දහවල් කාලයට අව් රශ්මියට ඉතා අධිකය. අව්ව බැලීම ඉතා අසීරුය. තද හිසරදය හිසෙහි පැත්තක වේදනාව, ඇස වටා ඉදිමීම නැතහොත් ඇස වටා තඩිස්සි ගතියක්ද බොහෝ අවස්ථාවල මේ රෝගීන් වෙතින් දක්නට ලැබේ. ඇසේ සුදු ඉංගිරියාව (ශුක්ල මණ්ඩලයේ) රතුපාට ඉරි මතුවේ. සමහර විට ඇස ඇරීමට පවා අපහසු වේ. ඉහත සඳහන් කර ඇති රත් ඉරි නැතහොත් එම කේශනාලිකා පිටවී ගොස් එය පිපිරී සෙවිත මණ්ඩලය රක්තවර්ණයට පත්වේ. මේ පිම්බී පිපිරීගිය කේශනාලිකා නැවත යථා තත්ත්වයට පත්වීම ඉබේම වාගේ සිදුවේ. සමහර රෝගී අවස්ථාවලදී එසේ නොවන්නට හැකියාවද ඇත. දහවල කබ ඉනීම රාත්‍රි කාලයට වඩා මද වශයෙන් පවතී.

උදය අවදිවන විට ඇසිපිය දෙක එකට ඇලී කබ තැවරී පවතී. මෙම ඇස් රුදාව බොහෝ විට පැතිර යන්නේ එම රෝගියා පරිහරණය කරන දේ අන් අය පරිහරණය කිරීම නිසාවෙන්ය. තවද සුළඟ මඟින්, මැස්සන්, විශේෂයෙන්ම කෝඳුරුවන්ගෙන් මෙම රෝගය ඉතා සීඝ්‍ර ලෙස බෝවේ. කිසිදු වයස් භේදයක් මේ රෝගි අවස්ථාවට නොමැත. ඕනෑම අයෙකුට බෝවීම සිදුවේ. මේ රෝග ලක්ෂණ බොහෝ අයට උදා වුවත් කලාතුරකින් කෙනෙකුට මෙවැනි රෝග ලක්ෂණ නොමැතිව ඇස රත්පැහැ ගැන්වී ඇත. කඳුළු ගැලීම හා කෙවීම ඇතිවන විට මේ රෝගින් ඇඟෙහි පවතින උෂ්ණය යැයි කියා දිය නෑම සිදු කරයි. එය මේ රෝගී අවස්ථාවට කිසිසේත් උචිත නැත. මේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඉතා දරුණු වූ තවත් අක්ෂි රෝග පැන නඟී. නිසි ප්‍රතිකාර නොකිරීම හේතුවෙන ඇස්රුදාව පසුව අධිමන්ථ යන රෝගී අවස්ථාවට පත්වේ. තවද මල්පොල සුද, ඇස පැසවීම, ඇසෙහි දර්ශය වන වස්තූන් දැලක් දැම්මාක් මෙන්,පටලයක් මෙන් බොඳවීමක් මෙන් හෝ දුර හා ළඟ පෙනීමේ විකෘතිතා හා ඇස පැසවීමකට පවා ලක්වේ. එම නිසා ඔබ දැනුවත් කිරීම උදෙසා ඉතා සරලව මේ රෝගි ලක්ෂණ හා එහි ඇති අවදානම් තත්වය පිළිබඳව ගෙන හැර දැක්වීම අපගේ වගකීම වන අතර, මේ රෝගි තත්වයෙන් නිවසේ සාමාජිකයන් හට පහත සඳහන් වත්පිළිවෙත් කිරීම රෝගය පැතිරීයාම වළක්වා ගැනීමට උපකාර වේ. මෙම ක්‍රමයන්ද රෝගියාටද කිරීමට දීමෙන්ද එම රෝගී අවස්ථාවන් ඉතා ඉක්මනින් මිදීමට පිටිවහලක් වනු ඇත. දේශීය පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ප්‍රථමව උපදෙස් දිම සිදුකරනුයේ ඇල්ජලය සේවනය අහිතකර බවයි. එමෙන්ම ශීත අධික උෂ්ණ හා කටුක ආහාරයන්ගෙන් වැළකී සිටීමයි.

වම්බටු, මෑකරල්, බණ්ඩක්කා, කැකිරි, පිපිඤ්ඤා, එළකිරි, යෝගට්, මීකිරි, ඉස්සෝ, දැල්ලෝ, බලමාළු, හුරුල්ලා, කෙලවල්ලා, තක්කාලි, ඇඹුල් ආහාරවර්ග, විනාකිරි මිශ්‍ර ආහාර කෘතිම ආහාර තෙල් බැදුම් වර්ග, වෙන් වෙන් වශයෙන් කිව නොහැකි තරම් අඟුණ ආහාර පාන ඇතත්, තවද, ඇල්ජලය, ස්නානය මේ අවස්ථාවේ දින ගණනක් එසේත් නැතිනම් ඇසේ ඇතිවන රත ස්වභාවය නැතිවන තුරුම ඇල්ජලය සේවනය අත්හළ යුතු වන්නේය.

 

ඇවතුම් පැවතුම්

රෝගියාට සුදුසු ඇවතුම් පැවතුම් හා පත්‍ය දේ ගැන අපි දැන් අවදානය යොමු කරමු.

උණුවතුර, (උණුකර නිවාගත් ජලය සේවනය, බටර් බෝංචි, කැරට්, ලීක්ස්, දඹල, තලනබටු, වැටකොළු, පතෝල, අළුකෙසෙල්, ගොටුකොළ, මුකුණුවැන්න, බෙහෙත් සාරණ (පිටසුදු සාරණ) මෙවැනි දේ පමණක් ආහාරය දෙන්න.

බත් තුන්වේලකට ලබා දෙන්න. පිටි සහිත ආහාර සේවනයෙන් වළකින්න.

හිසට ඖෂධීය තෛල වර්ගයක් දමන්න. එය බිංදු 6 -8 පමණ සෑහේ.

පිළී සහිත ආහාර සේවනය රෝගය සංසිදෙන තෙක් වළකින්න.

 

රෝගය පැතිරීම වළක්වා ගැනීමට

 

මද උණු ජලයට දෙහිඇඹුල් දමා කලවම්කර ඇස හා මුහුණ සෝදන්න. සියඹලා කොළ, දෙළුම්කොළ තම්බා ඇස තවා මුහුණ සෝදන්න. (මෙය දවසට හතරවතාවක්වත් කිරීම ඉතා යෝග්‍යය. මදක් පැසුණුූ දෙහිගෙඩියක් දෑත් දෙකට මැදිකොට පොඩිකොට එම දෙහිගෙඩිය පසෙක තබා අත බොකොටු කර දෑස වසන්න. ඇස් අරින්න. එම පැඟිරි ස්වභාවය ඇස තුළට වදින සේ ඇස පිල්ලම් ගසන්න. මෙය දවසට කිහිප වතාවක් කළ යුතු වේ.

නීරෝගී පුද්ගලයන්හට උතුරවා නිවා පෙරාගත් ජලය බින්දු 6ට දෙහි ඇඹුල් බින්දු 1 දමා කලවම් කර බිංදු 3 බැගින් ඇසට දමන්න. මෙය උදේ සවස කරන්න.

මේ සත්කාර හා ප්‍රතිකාර පැන නැඟී ඇති උවදුරින් යම්තාක් ප්‍රමාණයකට සන්සිඳීමට උපකාරය වන අතර, අප වෛද්‍ය පරපුරට අයත් ඉතා සියුම් අක්ෂියට සිසිලසක් මෙන්ම සුවදායි තාවයට පත්කිරීමට සකසා දෙන ලද නේත්‍ර බිංදු හා අක්ෂි පැලැස්තර ඇති බවද සඳහන් කරමි. මෙය එම රෝගීන් හට පැන නැගී ඇති රෝගී අවස්ථාව අනුව ඉක්මන් සුවය පතා දෙනු ලබන යෝග තවත් බොහෝ ඇත.

මෙම බෝවන ඇසේ රත හෙවත් ඇස් රුදාව නමැති රෝගය ඉතා ඉක්මනින් වළක්වා ගැනීමට අප සතු වෛද්‍ය කර්මයට හැකියාව ඇති බවත් එම වෛද්‍ය කර්මයෙන් මෙවැනි වූ රෝග මෙන්ම ඇසෙහි හටගන්නා නොයෙකුත් රෝගාබාධවලට ඉතා ප්‍රත්‍යක්ෂ අත්දුටු ඖෂධයන්ය. බිය නොවන්න. ඇපේ දේශයේ ගස්වැල්, මුල්, පොතු, මල්, ගෙඩි යන පංචාංගය ඇතළත් ඖෂධ මෙන්ම ඍත, තෛල, රසඖෂධ, ප්‍රමිතියෙන් සදාගන්නා ඉතා විශිෂ්ඨ ඝණයේ ඖෂධවල බලය රස ගුණ වීය¸ විපාක ප්‍රභාවයන්ගේ සැදුණු ඖෂධ ඉතා විශිෂ්ඨ ප්‍රතිඵල ගෙන දෙන්නේය.

 

 

වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත

පාරම්පරික අක්ෂි හා සර්වාංග

රෝග පිළිබඳ විශේෂ වෛද්‍යාචාරිණී

ඒ.එම්.ඒ.අශෝකා පි‍්‍රයන්ති අලගියවන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.