වයස අවුරුදු 10 සිට වැලඳෙන සන්ධි රෝග

නොවැම්බර් 3, 2023

සන්ධි ආශි‍්‍රතව වැලඳෙන රෝගීතාවයන් බොහොමයකට හේතුවී ඇත්තේ වැරැදි ඇවැතුම් පැවැතුම් හා ආහාර විහරණයන්ය. නිවැරැදි ඉරියව් භාවිතය හා නිවැරැදි ආහාර පුරුදු රෝගීබවින් මිදී නීරෝගිව ජීවත්වීමට උපකාරී වේ.

වර්තමානයේ දක්නට ලැබෙන සන්ධි ආශි‍්‍රත රෝගී තත්ත්වයන් අතර බහුලව දක්නට ඇත්තේ උරහිස් වේදනාව, කොන්දෙ වේදනාව, දණහිස් වේදනාව හා බෙල්ලේ වේදනාවයි. මැණික් කටුව හා වළලුකර ආශි‍්‍රත සන්ධිවල ඇතිවන රෝගී තත්ත්ව පුද්ගලයකු අධික වේදනාවට පත් කරවන්නකි. සන්ධි ආශි‍්‍රතව ඇති වන රෝගී තත්ත්වයන් බොහොමයකටම හේතුවී ඇත්තේ වැරැදි ඉරියව් භාවිතය හා ආහාර විහරණයන්ය. සන්ධි ආශි‍්‍රත රෝගවලට වැඩි වශයෙන්ම ලක්වන්නේ වයස අවුරුදු තිස්පහ ඉක්ම වූ කාන්තාවන්ය. වඩාත්ම මේ තත්ත්වයට පත්ව ඇත්තේ ප්‍රතිකාර ගැනීමට පැමිණෙන සංඛ්‍යාව අනුව බලන විට කාර්යාල සේවයේ යෙදෙන හා රැකියාවල නියුතු කාන්තාවන්ය.

ශරීරයේ ලොකු කුඩා සන්ධිස්ථාන ඉදිමී වේදනාව සමඟ ආරම්භ වන කල් යත්ම සන්ධි අකර්මණ්‍ය කරන්නා වූ රෝග තත්ත්වයන් කීපයක්ම ඇත. ඒ අතරින් බහුලව දක්නට ලැබෙන්නේ ආම වාතයයි. ආමවාතයෙන් වැඩි වශයෙන් පෙළෙන්නේ වැඩිහිටි කාන්තාවන් හා පිරිමි වුවත් යෞවන යෞවනියන් ද ඒ අතර දක්නට ලැබේ. ආමවාත රෝගයේදී බොහෝ විට පීඩාවට පත් වන්නේ ලොකු සන්ධි ස්ථානයන් ය. එම සන්ධි එකක් හෝ දෙකක් ඉදිමීමෙන් වේදනාව ගෙන දේ. මෙහිදී පළමුව ඇති වන්නේ තුනටියේ වේදනාවයි. තුනටියේ තද බව, නැවීමේ දිග හැරීම අපහසුව, හැරීමේ අපහසුව සමඟ රෝගය ආරම්භ වේ. මෙම ලක්ෂණ ඇති වූ විට වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවිය යුතු ය.

කොන්දෙ අමාරුව නැතහොත් තුනටියේ අමාරුව අඩුවේ යැයි කියා ප්‍රතිකාර නොගෙන සිටියහොත් මැණික් කටු සන්ධිය වැළමිට සන්ධිය, උරහිස් සන්ධිය දණහිස් සන්ධිය, වළලුකර සන්ධිය උකුල් සන්ධිය ආදී වශයෙන් සිරුරේ අනික් සියලුම සන්ධි කරා රෝගය පැතිරී යා හැකිය. එබැවින් කළ යුතු වන්නේ රෝගී ලක්ෂණ දුටු වහාම ආයුර්වේද ප්‍රතිකාරවලට යොමුවීමෙන් රෝගය සුවපත් කරගැනීමයි. මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ගැනීමෙන් ඕනෑම ලෙඩක් සුව කරගැනීමට පහසුය. දේශීය වෙදකමින්, ආයුර්වේදයෙන් ප්‍රතිකාර ලබා දෙන්නේ රෝග නිධානයටයි. විශේෂයෙන් ආමාවත රෝගයේදී බඩගින්න ගැන විමසා බලා බඩගින්න ඇති නොවන්නේ නම් බඩගින්න ඇතිවීමට, ප්‍රතිකාර ලබා දෙයි. ඉන් අනතුරුවය රෝගයට ප්‍රතිකාර ලබාදෙන්නේ. එසේ ප්‍රතිකාර ලබා දීමෙනුයි මෙය සුවපත් කළ හැක්කේ.

තේරුම් ගත යුතු රෝග ලක්ෂණ

සන්ධිගත රෝගයේදී දැනුම්වත්වීමට එකක් දෙකක් නොව රෝග ලක්ෂණ බොහොමයක්ම තිබේ. ඇවිදීමට අපහසු බව අලස බව නිදිමත ගතිය හා සෑම සන්ධියකම ඇතිවන වේදනාව ඒ රෝග ලක්ෂණ අතර වේ. විශේෂයෙන් දකුණු අතේ මැදඟිල්ල නැවීමට අපහසුවීමෙන් ඇතිවන වේදනාව, මැණික් කටුව, කලව, වැළමිට හන්දිය දණහිස් හා වළලුකර හන්දිය දක්වා වේදනාව පැවතීම සමහරවිට දණහිස් හන්දිය ඉදිමී නැවීමට හා ඇවිදීමට නොහැකි තත්ත්වයක් පැවතීම, වැසිකිළියේ ඉඳ ගැනීමට මෙන්ම බිම ඉඳ ගැනීමට නොහැකිවීම ඒ සඳහා මහත් උත්සාහයක් දැරීමට සිදුවීම හා අප්‍රාණික ගතියක් දැනීම රෝග ලක්ෂණවේ. සන්ධි අතර ප්‍රධාන වශයෙන් දණහිස් සන්ධිය මෙහිලා සඳහන් කළ යුතුමය. ශරීරයේ බර උසුලන නිසා ඒ සන්ධියට බලපෑම් වැඩියෙන් දැනේ. දණහිස් සන්ධිය ඉදිමීමෙන් තදබල වේදනාවක් දැනේ. උකුල් සන්ධියට බලපෑම් ඇති වුවහොත් වේදනාව අනෙක් සන්ධි කරාත් පැතිරිය හැකිය. ඉන් කොඳු ඇට පෙළට ද ඇතිවන්නේ මහත් බලපෑමකි. මාංශ පේශීවලට ද එම බලපෑම් බෙහෙවින්ම ඇතිවේ.

හන්දිපත් ඉදිමීමේ ප්‍රවණතාවයක් කාන්තාවන් අතර බහුලව පවතී. රෝග තත්ත්වය ගැන සැලකීමේ දී පිරිමින්ට වඩා තුන් ගුණයකින් කාන්තාවන්ට අස්ථි ආශි‍්‍රත රෝග වැලඳී ඇත. හන්දිපත්වල දැනෙන වේදනාව අවුරුදු දහයේ සිට අවුරුදු හැත්තෑව දක්වා වූ වයස් කාණ්ඩයේ බෙහෙවින් පවතී. අස්ථියක් බිඳීගිය විට එම අස්ථියට ද ඊළඟ අස්ථියටද ආසන්න අස්ථියටද හානි පැමිණේ. අධික තරබාරුකම ද අස්ථි රෝග වැලඳීමට තවත් හේතුවකි. ආමවාත හා රක්තවාත මුල්කරගෙන ඇතිවන රෝග තත්ත්වයන්ද බොහෝ ය. රෝගාබාධ තේරුම් ගෙන ප්‍රතිකාර නොකළහොත් හන්දි විනාශවීමේ තත්ත්වයකටද පත්විය හැකිය. වයසට යනවිට ඇතිවන හන්දිපත් රුදාව හේතුවෙන් සන්ධි ගෙවීයාමෙන් කාටිලේජවලට සිදුවන හානිය නිසා ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයක් ඇතිවේ.

අපහසුතා

නුහුරට සන්ධි නැමුණු විට ද තාවකාලික වේදනාවක් හා ඉදිමුමක් සන්ධි තුළ හට ගනී. නින්දෙන් පිබිදුණු අවස්ථාවලදීත් සන්ධිවල තද බවක් ඇතිවේ. සන්ධිවලට විෂබීජ ඇතුළුවීමෙනුත් තදබල ලෙස වේදනාවක් ඇතිවේ. මෙහිදී තවත් රෝග ලක්ෂණයක් ලෙස පෙන්නුම් කරන්නේ එකම ඉරියව්වක යම් වේලාවක් එකසේ සිටීමට නොහැකිවීමයි. දණහිස නවාගෙන වාඩිවී සිට නැඟිටීමට ද අපහසුතාවක් ඇතිවේ. යම් අවශ්‍යතාවයකදී දෙකට නැමී අමාරුවෙන් හෝ පැදුරක හෝ පිලක වාඩි වී සිට එක එල්ලේ නැගිට සිටීමට මහත් වීර්යයක් දැරීමට සිදුවේ. පුටුවක ඇඳක හෝ වෙනයම් උස් ස්ථානයක සිට නැඟී සිටීමටද අපහසු වේ. පඩි පේළියක් හෝ උස්බිමකට නැඟීමට නොහැකි තත්ත්වයක් උදාවේ. ඒ සෑම විටම දණහිසේ වේදනාවක් ඇති වේ.

ප්‍රතිකාර

සන්ධිගත රෝගයට ප්‍රතිකාර ලබා දීමේදී රෝගියාගෙන් රෝගියාට රෝගය සුවවීමේ වෙනස්කම් පවතී. මූලිකව සොයා බලන්නේ රෝගියාගේ බඩගින්න ගැනයි. එයට අවශ්‍ය උපදෙස් හා බෙහෙත් වර්ග ලබාදීමෙන් අනතුරුව තෙල් වර්ග කසාය වර්ග ලබා දෙයි. හන්දි තෙල හා කසාය නිසි පරිදි සකස්කොට රෝගියාට ලබාදේ. විශේෂයෙන් ප්‍රතිකාර ගන්නා විට එදිනෙදා කෑම බීම ගැන උපදෙස් මාලාවක් ද රෝගියාට දෙනු ඇත. විශේෂයෙන් අස්ථි රෝග සඳහා දෙන හන්දි තෙල සන්ධිස්ථානවල වේදනාව පැවැති විට ආලේප කිරීමෙන් ඉතා සුළු මොහොතකින් වේදනාව ඉවත් වී සුවයක් ඇතිවේ.

ආහාර පාන

රෝගයට ප්‍රතිකාර ගන්නා විට විශේෂයෙන් උණු වතුර පාවිච්චි කළ යුතුයි. බටු, මෑකරල්, බණ්ඩක්කා, නිවිති, පිපිඤ්ඤා හා එළකිරි වැනි ආහාර තාවකාලිකව කෑමට හෝ බීමට ගැනීම නවතාලිය යුතුයි.

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

සටහන

එස්.එස්.එස්. ප්‍රනාන්දු  

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.