සිරුරත් මනසත් අඩපණ කරන පෝෂණ ඌණතාවය

ඔක්තෝබර් 13, 2023

දරුවන්ගේ කායික, මානසික බුද්ධි වර්ධනයට මහා ක්‍රියාශීලිත්වයට බෙහෙවින් බලපානු ලබන්නේ යකඩ බහුල, විටමින් බහුල හොඳ පෝෂණීය ආහාරයක් ගැනීමයි. හැදෙන වැඩෙන දරුවකුට විටමින් සී අඩංගු හා යකඩ අඩංගු ආහාර වන එළවළු හා පලතුරු කෑම වේලට වැඩියෙන් එක්කර ගත යුතුය.

මේ සමාජයේ ක්ෂණික කෑමට වැඩි කැමැත්ත දක්වන බොහෝ දෙනකු එළවළු, පලතුරු කෑම අඩුකර බත් වැඩියෙන් කෑමට පුරුදුව සිටිති. මේ නිසා ඇතිවන යකඩ ඌනතාවය නිසා ඇතිවන නීරක්තිය බෙහෙවින් වැඩිවී ඇත. වැඩිහිටියන් යෞවනයන්ට වඩා දරුවන්ට ඇතිවන මන්දපෝෂණය දරුවන්ගේ ශාරීරික හා මානසික වර්ධනයට ඉතා තදින්ම බලපාති. මෙවැනි තත්ත්වයන් නිසා දරුවන්ට ඇති විය හැකි රෝගාබාධ ගැන දෙමාපිය වැඩිහිටියන් වඩාත් සැළකිලිමත් විය යුතුය.

දරුවකු වැඩෙන අවස්ථාවේදී ශරීරයට යකඩ අවශ්‍යතාවය බෙහෙවින් පවතී. යොවුන් විය සමඟ වැඩිහිටිවියට පත්වන ගැහැණු දරුවන්ට යකඩ අවශ්‍යතාවය බෙහෙවින් පවතී. මාසික සුද්ධිය ඇතිවීමේදී ශරීරයෙන් පිටවන රුධිරය නිසා යම් යකඩ ප්‍රමාණයක් අඩුවේ. එය සපුරාගත හැකිවන්නේ පෝෂණීය ආහාරවලිනි. එසේ නූවහොත් යකඩ ඌනතාවය ඇතිවීම වළක්වා ගත නොහැකිය. යකඩ ඌණතාවයෙන් පෙළෙන විට ප්‍රධාන වශයෙන් කායික ක්‍රියාවලියට බාධ ඇතිවේ. ඉතා ඉක්මනින් වෙහෙසට පත්වේ. අලස බව ඇතිවේ. කුමන කටයුත්තකට වුවද ඉදිරිපත් නොවී වැළකී සිටිති. මතක ශක්තිය ද අඩුවේ. ගර්භණී මව්වරුන්ට යකඩ ඌණතාවය ඇති වූ විට රෝගී තත්ත්වයන්ට ලක්වීමේ අවධානය එමටය. ශරීරයේ සහ ඇටමිදුළුවල සාමාන්‍ය තන්තු අවසන්වීමෙන් යකඩ ඌණතා නීරක්තියට පත්වේ.

යකඩ ඌනතා තත්ත්වය ඇතිවීමට වැඩි අවධානමක් ඇති අය වන්නේ ගර්භණී කාන්තාවන් හා කිරිදෙන මව්වරුන්ය. ළදරුවන් හා යෞවනයන්ගේ පසුවන දරුවන්ය. එමෙන්ම පුරුද්දක් වශයෙන් වසර ගණනාවක් පුරා යකඩ බහුල ආහාර වන මස්, මාළු, එළවළු කෑම අඩු කළ විටත් නීරක්තියට පත්වේ.

ශාරීරික හා මානසික වර්ධනය නිසි පරිදි සිදුවීමට අලස බවෙන් තොර ක්‍රියාශීලිත්වයක් ඇතිවීමට මතක ශක්තිය හා අවධානය ඇතිකිරීමට ගැබිනි සමයේ ඇතිවන සංකූලතා අඩුකර ගැනීමට සිරුරට අවශ්‍ය යකඩ නො අඩුව ලබා ගත යුතුය. එසේ නොතිබුණහොත් යකඩවල අඩුකම නිසා උපත් බර අඩු දරුවන් බිහිවීමට ද හැකියාව පවතී. දරුවන්ගේ වර්ධනය බාල වේ. ලෙඩ රෝග වැලඳීමේ ප්‍රවණතාවයද බොහෝ ය. යකඩ ඌණතාවයෙන් පෙළෙන විට සිරුර දුර්වල වේ.

හිසකැරකැවිල්ල, හිසරදය මෙන්ම උස්බිමකට හෝ පඩිපේලියක් නගින විට ඇතිවන වෙහෙසද ක්‍රියාකාරි කටයුතුවල නියැළීමට ද අපහසු තත්ත්වයක් ඇතිවේ. යකඩ ඌනතා නීරක්තිය ඇතිවූ විට යකඩ බහුල තෙල් නැති මස් මාළු ලබා දිය යුතුය. කොළ පාට පලා වර්ග , සාරණ, මුරුංගාකොළ, කතුරුමුරුංගා සහ තම්පලා, නිවිති ඉතාම ගුණය. සාරණවල ග්‍රෑම් සියයක ප්‍රමාණයක යකඩ මිලිග්‍රෑම් 38.5 ද නිවිතිවල යකඩ මිලිග්‍රෑම් 10 ද කතුරුමුරුංගා කොළ ග්‍රෑම් 100ක මිලිග්‍රෑම් 70 ද ගොටුකොළ මිලිග්‍රෑම් සියයක යකඩ මිලි ග්‍රෑම් 68.8 ද කංකුංවල යකඩ මිලිග්‍රෑම් 16.7ද ඇත. ඊට අමතරව දෙහිවලද යකඩ මිලිග්‍රෑම් 2.3 ද පිපිඤ්ඤවල යකඩ මිලිග්‍රෑම් 1.5 ද වේ.

පලතුරුවල යකඩ ඇති ප්‍රමාණය අනුව ග්‍රෑම් සියයක පැවතීම දිවුල් ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 0.6 ද, පේරවල යකඩ මිලිග්‍රෑම් 1.4 ද, දොඩම් ග්‍රෑම් 100ක යකඩ මිලිග්‍රෑම් 0.3ද ,පැපොල් ගස් ලබුවල මිලිග්‍රෑම් 0.5ද, කෙසෙල්වල මිලි ග්‍රෑම් 0.9ද, ඇපල්වල මිලිග්‍රෑම් 0.66ද, දෙළුම් වල මිලිග්‍රෑම් 1.79 ද, රටඉඳිවල මිලිග්‍රෑම් 0.9, මුද්දරප්පලම්වල මිලිග්‍රෑම් 7.7ද , අලිගැටපේර මිලි ග්‍රෑම් 0.7ද, රඹුටන්වල මිලිග්‍රෑම් 7ද, ඇත්තේ ග්‍රෑම් 100 ප්‍රමාණයකය. තම්බන ලද සහල් ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 2.8 ඇති අතර, කැකුළු සහල් ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 3.1 ද ඇති අතර සෝයාබෝංචි ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 11.5, වියළි හාල්මැස්සන් ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 3.7 ද ඇති අතර කිකිලි බිත්තරයක යකඩ ග්‍රෑම් 2.1 මෙන්ම ගවමස් ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 3.0ද ඇත.

මුං ඇට ද ගුණාත්මක ඖෂධීය ආහාරයකි. මුංඇටවල මෙන්ම කවුපිවලත්, කඩලවලත් යකඩ අන්තර්ගතව ඇත. විටමින් සී බහුල ඇති එළවළු හා පලතුරු ද වැඩියෙන් ආහාරයට ගත යුතුය. ආහාරවර්ග සකස්කිරීමේදී දෙහි සියඹලා, තක්කාලි වැනි ආම්ලික එකතු කළ යුතුය. මස් මාළු හෝ කරවලත් ආහාරයට එක්කර ගැනීම ගුණාදායකය.

 

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.