නීරෝගි වකුගඩු යුගලයක් අවශ්‍ය ඇයි?

ඔක්තෝබර් 13, 2023

අපේ වකුගඩු යුගල මහා ප්‍රාචීර පේශියට පහළින්, උදර බිත්තියට පිටතින්, සිරුර පිටුපස බිත්තියට ආසන්නව, කශේරුකාව දෙපස සමමිතිකව පිහිටා ඇත. දොළොස්වැනි උරස් සහ තුන්වැනි කටී කශේරුකා අතර, ස්ථානගත වී ඇති අතර, සාමාන්‍යයෙන් දකුණු වකුගඩුව වම් වකුගඩුවට වඩා තරමක් පහතින් පිහිටා ඇත.

එක් වකුගඩුවක වෘක්කාණු මිලියනයක් පමණ අඩංගු වන අතර, එය වකුගඩුවේ කාර්යයන් හා ගැළපෙන පරිදි නිර්මාණය වී ඇත. වකුගඩු මඟින් ශරීරයේ අත්‍යාවශ්‍ය කාර්යයන් ගණනාවක් ඉටු කරයි.

 

වකුගඩුවල ප්‍රධාන කාර්යයන්

 

ඇමෝනියා සහ යූරියා වැනි අපද්‍රව්‍ය බහිස්‍රාවය කිරීම.

සෝඩියම් සහ පොටෑසියම් වැනි ලවණ වර්ග සහ අම්ල භෂ්ම යාමනය.

රතු රුධිරාණු නිෂ්පාදනය සඳහා උත්තේජනයක් වන එරිත්රොපොයිටීන් (Erythropoietin) නිෂ්පාදනය කිරීම.

ක්‍රියාකාරි විටමින් නිෂ්පාදනය කිරීම.

රුධිර පීඩනය පාලනය කිරීම.

 

කාලීන වකුගඩු අකරණිය(Chronic Kidney Disease) (CKD)

 

කාලීන වකුගඩු අකරණිය යනු දීර්ඝ කාලයක් පවතින රෝගී තත්ත්වයක බලපෑම නිසා හෝ වෙනත් හේතු සාධක නිසා, වකුගඩු මඟින් අපේක්ෂිත ක්‍රියාවලීන් නිසි පරිදි සිදු නොවීමයි.

දීර්ඝකාලීන වකුගඩු අකරණිය සිදුවීම සඳහා බලපාන හේතු සාධකයන් කිහිපයක් මෙසේය.

මනා පාලනයෙන් තොර දියවැඩියාව.

මනා පාලනයෙන් තොර අධි රුධිර පීඩනය.

වකුගඩුවල ලේ හට ගැනීම

වකුගඩු ප්‍රදාහය ඇතිවීම.

ආවේණික වකුගඩු රෝග

වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ භාවිතය.

 

වකුගඩු දුර්වල වීමේ රෝග ලක්ෂණ

 

මේ රෝගය වැඩිහිටියන් අතර, බහුලව දක්නට ලැබෙන නමුත් කුඩා ළමුන් අතර වාර්තා වී නොමැත. රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන්නේ, රෝගය නිසා වකුගඩු යුගළම සම්පූර්ණයෙන්ම වාගේ ක්‍රියා විරහිත වූ විටයි.

රෝගය මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමට නම්, මුත්‍රා සහ රුධිර පරීක්ෂණ සහ වකුගඩුවල ස්කෑන් (Ultrasound Scaning) පරීක්ෂණයක් කළ යුතු වේ.

ඉහත සඳහන් පරිදි වකුගඩු දෙකම බොහෝ දුරට ක්‍රියා විරහිත වූ පසු ඇතිවන රෝග ලක්ෂණ නම්,

කෑම අරුචිය සහ වමනය

ඇඟපත කැසීම

ශාරීරික මහන්සිය

රක්තහීනතාවය

ශරීරයේ ඉදිමුම

අධික රුධිර පීඩනය

අස්ථි සහ තුනටියේ වේදනාව

මානසික ආතතිය

 

රෝගය හඳුනා ගැනීම

 

වකුගඩු රෝගීන්ගේ රෝග විනිශ්චය සඳහා සහ වකුගඩු රෝගය නිසා ශරීරය අභ්‍යන්තරයේ සිදුවූ

බලපෑම් නිර්ණය කිරීමට රෝගීන්ගේ මුත්‍රා සහ රුධිර පරික්ෂාවන් බොහෝ සේ ඉවහල් වේ. ඒ සඳහා බහුල වශයෙන් සිදුකරන ඉතා වැදගත් පරීක්ෂණයන් කිහිපයක් පහත දැක්වේ.

 

මූත්‍රා පරීක්ෂණ

 

මුත්‍රා ඇලබියුමින් (ප්‍රෝටීන්) Urine Albumin

මූත්‍රා සම්පූර්ණ පරීක්ෂාව Urine Full Report

මූත්‍රා ඇල්බියුමින් (හෝ ප්‍රොටීන්) ක්‍රියැටිනීන් අනුපාතය පරික්ෂාව Albumin (or protein) Creatinine Ratio
 

රුධිර පරික්ෂණ

ක්‍රියැටිනීන් පරීක්ෂණය erum Creatinine, Glomercular Filtration Rtate (estimated) - eGFR  අගය ගණනය කිරීම සඳහා මෙම පරීක්ෂණය යොදා ගනී.

ක්‍රියැටිනීන් ක්ලියරන්ස් Creatinine Cleara nce

රුධිරයේ ලිපිඩ මට්ටම Serum Lipds

කැල්සියම්

පොස්පරස්

සම්පූර්ණ රුධිර වාර්තාව Full Blood Report

ප්‍රෝටීන් මට්ටම

රුධිරයේ අයන ප්‍රමාණය Serum Electrolytes (සෝඩියම්,පොටෑසියම් සහ බයිකාබනේට් වැනි)

වකුගඩු අකර්මන්‍යතාවයට ලක්වීමත් සමඟ ගුච්ඡිකාවෙහි ක්‍රියාකාරීත්වය ද ක්‍රම ක්‍රමයෙන් දුර්වල වීමට පටන් ගනී. මෙය අවස්ථා පහක් වශයෙන් හඳුනාගෙන ඇත. එය පහත වගුවෙන් සංඛ්‍යාත්මකව පෙන්නුම් කරයි.

වකුගඩු අකර්මන්‍යතාවය (අදියර) GFR  අගය (ml /min/1.73m2) ලෙස හදන්න.

1 වැනි අවස්ථාව > 90

2 වැනි අවස්ථාව > 61 -90

3 වැනි අවස්ථාව > 31 - 60

4 වැනි අවස්ථාව > 16 -30

5 වැනි අවස්ථාව > 0 -15

 

මේ රෝගය නිර්ණය කිරීම සඳහා වකුගඩුවක් පටක කොටසක් (kidney Biopsy) පරික්ෂා කර වාර්තාවක් ඇතැම්විට අවශ්‍ය වේ. මෙය සිදු කරන්නේ පහසුකම් සහිත වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකවලදී පමණක් වෛද්‍ය නිර්දේශ මතය. රෝගියා මේ සඳහා බිය වීමට කිසිදු සාධකයක් නොමැත.

 

ක්ෂේත්‍රයේ සිදු කරන වකුගඩු සායන (Screening Programs )

 

මෙහිදී සිදුකරනු ලබන්නේ පහත පරීක්ෂණයන්ය.

1. මුත්‍රවල ප්‍රෝටීන් සඳහා පරීක්ෂණ

2.රුධිරයේ ක්‍රියැටිනීන් සාන්ද්‍රණය මැන බැලීම

ඉන් මූලිකව හඳුනාගන්නා රෝගීන් වෛද්‍යවරුන් විසින් විස්තරාත්මකව පරීක්ෂා කර බලා වකුගඩු ස්කෑන් පරීක්ෂණයක් (Ultrasound Scan) මඟින් ඔවුන් එම රෝගීන් බව සනාථ වුවහොත් දීර්ඝකාලීන වෛද්‍ය අවධානය සඳහා අදාළ සායනවලට යොමු කරනු ලැබේ.

 

රෝග නිවාරණය හා ප්‍රතිකාරයන්

 

ගුණාත්මක බවින් ඉහළ පානීය ජලය භාවිත කිරීම.

මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතයෙන් වැළකීම.

ඇලුමිනියම් භාජනවල ආහාර පිසීම හැකිතාක් සීමා කිරීම.

දිනපතා ක්‍රමානුකූලව ව්‍යායාමවල යෙදීම

මුල් අවධියේදීම රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාරවලට යොමු වීම.

හේතුව හඳුනා නොගත් කාලික වකුගඩු අකරණය සඳහා සිදු කරනු ලබන ප්‍රතිකාරයන්, අනෙකුත් කාලික වකුගඩු අකරණයන්හි දී කරන ප්‍රතිකාර ම වේ.

වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩු වූ විට ප්‍රෝටීන් සහිත ආහාරයන් සීමා කිරීම

අධික රුධිර පීඩනය පාලනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම.

රක්තහීනතාවයට ප්‍රතිකාර කිරීම.

වකුගඩු සම්පූර්ණයෙන්ම අකරණයට පත් වූ විට (එනම් 5 වැනි අවස්ථාවේදී) රුධිර කාන්දුකරනය සිදුකිරීම.

වකුගඩු බද්ධ කිරීම වශයෙන් ප්‍රතිකාර සිදු කෙරේ.

 

උපදෙස්

වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ

වෛද්‍යාචාරිණී – ධම්මිකා අමරසේකර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.