පන්සල් පල්ලි භීතිකා ද ඇති වෙනවා

මැයි 24, 2019

උපදෙස් :– වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති
පී.එන්.විද්‍යාකුලපති

කුමන ආගමකට අයත් වුව ද අඥානයන් හික්මවාලීම පහසු නැත. බියකරු ම්ලේච්ඡ ත්‍රස්තවාදය නිසා මිනිසා මානසික සහනයක් ලබා ගැනීමට යන පන්සල, පල්ලිය, කෝවිල වැනි ආගමික ස්ථානවලට ද බියක් ඇති විය හැකිය. හයිරොෆෝබියා යනු ශුද්ධ වූ දෙයට ඇති බියයි. මේ භීතිකාව ආගමික ස්ථාන, ආගමික සංවිධාන හෝ ආගමික නායකයන් වෙත ඇතිවන භීතිකා තත්ත්වය වන එක්ලෙසියාෆෝබියාට නෑකම් කියයි.

එවනි තැනක බෝම්බ පිපිරීම් වැනි බරපතළ අනතුරක් සිදුවීම, ජානමය හේතු වැනි කරුණු මේ කෙරෙහි බලපායි. මොළයේ රසායන, ජාන සහ ජීවිතයේ ලබන අත්දැකීම් මඟින් භීතිකාවකට මුල පිරෙන්නට ඇති ඉඩකඩ වැඩියි.

භීතිකාව පවතින මට්ටම අනුව භීතිකාව පවතින ආකාරය වෙනස් වෙයි. ඇතැම් අය අවි ආයුධවලට බියක් දක්වයි. පිහි, කඩු, පැන්සල්, කුඩයෙහි අග වැනි තියුණු කෙලවරක් සහිත ද්‍රව්‍යයන්ට බියක් දක්වන්මෝ ඉක්මොෆෝබියා තත්ත්වයෙන් පීඩා විඳින්නන් ලෙස සලකයි. හොප්ලොෆෝබියා යනු තුවක්කුවලට ඇතිවන භීතිකාවයි. බෝම්බ පිපිරීම්වලට, යුද්ධයට ඇතිවන ඇටෙමොස්ෆෝබියා ද ත්‍රස්තවාදය නිසා ඇතමුන් පීඩා විඳින තත්ත්වයකි.

පුද්ගලයාගෙන් පුද්ගලයාට පවතින්නේ විවිධ භීතිකාවන්ය. අනතුරුවලින් වැළකීම, ආරක්ෂා වීමට සිතෙහි ඇතිවන සාමාන්‍ය බිය ප්‍රයෝජනවත් වෙයි. මෙය පරිණාමයෙන්ම මිනිසාට උරුම වු ප්‍රයෝජනවත් සොබා තිළිණයකි. එහෙත් අනතුරකට වැඩි බියක් ඇතිවීම අස්වාභාවිකය.

බිය ඇති වූ විට ඇඩ්‍රිනලින් හෝර්මෝනය ස්‍රාවය වෙයි. මේ හෝර්මෝනයෙන් ශරීරයේ පෙරළි රැසක් සිදු වෙයි. හද ගැස්ම වේගවත් වීම, හුස්ම ගන්නා වේගය වැඩි වීම, අත පය වෙවුලීම, මස්පිඬුවලට ගලන රුධිර ප්‍රමාණය වැඩිවීම, තොල කට වියළීම, ක්ලාන්තය, කරකැවිල්ල ඉන් කිහිපයකි. ඇතිවන වෙනස්කම් නිසා බිය දෙගුණ තෙගුණ වන අතර මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි වෙයි.

ඇතැම් විට ජීවිතයේ දිගින් දිගටම පවතින්නේ ළමා වියේ සිදුවීමක් සමඟ ඇති වූ බියක් නිසා විය හැකිය. උපතින්ම බියගුලු පුද්ගලයන් භීතිකාවලට ගොදුරුවීමේ වැඩි ඉඩක් පවතී. වඩාත්ම භීතිකාවන්ට ගොදුරු වන්නේ යෞවන යෞවනියන් වුව ද කෙනකු වැඩිහිටි වියේදිත් භීතිකාවට ගොදුරුවීමට පුළුවන.

භීතිකාව කුමක් වුවත් භීතිකාවකට ගොදුරු වන තැනැත්තාට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයි. ඒ මෙබඳු පුද්ගලයන් පහසුවෙන්ම මත් වතුර වැනි අයහපත් දෙයට යොමුවීමට අවදානමක් ඇති නිසයි. තවත් අතකින් භීතිකා කෙනකුගේ දෛනික කටයුතුවලට, අනාගත දියුණුවට විශාල බාධාවක් වීමට පුළුවන. එනිසා මීට හඳුනා ගත් වහාම ප්‍රතිකාර ලබා දිය යුතුය. ඒ සඳහා ස්වාපනික, මනෝ විද්‍යාත්මක සහ චර්යාත්මක ප්‍රතිකාර තිබේ.

 

සටහන – චම්පිකා දීපානි රණසිංහ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.