නොවැම්බර් මුල සතුට උතුරන පැය කීපයක්

ඔක්තෝබර් 25, 2024

නොවැම්බර් මස 6 වැනිදා සිකුරු ධනු රාශි ගත වෙයි. ඒ සමඟම සඳු ද ධනු රාශිගත වීමෙන් ඉතා සොම්නස්දායක සඳු සිකුරු යෝගය උදා වෙයි. මේ යෝගය යෙදෙන්නේ කෙටි කාලසීමාවක් තුළය. එනම්, 2024 නොවැම්බර් 5 වැනිදා උදේ 09.35ට ධනු රාශියට පිවිසෙන සඳු 07 වැනිදා සවස 05.35 ට මකර රාශියට පිවිසෙයි. නොවැම්බර් 6 වැනිදා අලුයම 03.34ට සිකුරු ධනු රාශිගත වෙයි. මේ අනුව නොවැම්බර් 6 වැනිදා අලුයම 3.34 සිට 7 වැනිදා සවස 5.35 දක්වා වන පැය 14ක් වැනි කාලයක් තුළ සඳු සිකුරු යෝගය පවතී. මේ යෝගය සුබ යෝගයක් ලෙස ඡ්‍යොතිෂ පොත්වල සඳහන් වුව ද ග්‍රහයන් කේන්ද්‍රයේ පිහිටි ස්ථාන අනුවද පලාපලවල වෙනස්කම් ඇතිවේ.

මේ යෝගය පී‍්‍රතිය, සතුට සහ ක්‍රීඩා ව්‍යායාම ආදී කටයුතුවලටද සුබ පිහිටීමකි. කෞතුක දේවලට, අලංකාර ඇඳුම් රෙදිපිළි ආදියට වැඩි කැමැත්ත ඇතිවේ. ස්ත්‍රීන් සමඟ ආශ්‍රය කිරීමට, වසඟ කිරීමට ඉතා දැඩි කැමැත්ත ඇතිවේ. කරදර විපත් ඇති නොවේ. අසුබ තැනක අයහපත් ලෙස සඳු සිකුරු සිටීම විවාහ ජීවිතයට සුබ නැත. වෙළෙඳ ආදී ව්‍යාපාර කටයුතුවලට මේ යෝගය සුබයි. අජීර්ණ රෝග මෙන්ම දූෂිත රෝග ඇතිවීමටත් එයින් දුකට පත්වීමටත් ඉඩ තිබේ.

ජාතක රත්නාකරයේ මේ යෝගය පිළිබඳ මෙසේ සඳහන් වෙයි.

සඳුත් සිකුරු සිටී නම් එක රැස සරිය
මලුත් සුවඳ රෙදි පිළියෙහි වෙයි පිරිය
උගත්තෙක් නමුදු වැඩකට සිත මැළිය
කරත් වෙළඳාම සතතින් ගෙන දිරිය

 

සාරාවලියෙහි සඳහන් වන්නේ මෙසේය.

සඳු සිකුරු යෝගයෙහි උපන්නා මල් මාලා සුවඳ හා වස්ත්‍ර ආදියෙන් යුත් ක්‍රියාවෙහි සමත් තම කුලයට පි‍්‍රය කරන ඉතා අලස වෙළෙඳාමෙහි සමත් තැනැත්තෙකි.

වරහමිහිරයේ ද මෙසේ සඳහන් වෙයි.

වස්ත්‍ර, ක්‍රීඩා ආදියෙහි දක්ෂ වූ හෙවත් රෙදි විවීම්, වර්ණවත් කිරීම්, මැහුම් ආදී වස්ත්‍ර සම්බන්ධ කටයුතුවල සාමර්ථ්‍ය වූ කෙනෙකි.

එබැවින් මේ යෝගය යෙදෙන පැය 14 තුළ උපදින දරුවන්ගෙන් ඉහත ලක්ෂණ දැකිය හැකි වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.