ප්‍රබල සරසවි යෝගයෙන් ලග්න හතක් බලවත් වෙයි

අගෝස්තු 9, 2024

මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්නවලට ප්‍රබල සරසවි යෝගයක් අගෝස්තු සහ සැප්තැම්බර් දෙමස පුරා වරින් වර උදා වීමෙන් එම ලග්න හිමියන් බලවත් මෙන්ම කලාකාමී පුද්ගලයන් බවට පත් කෙරෙන අතර, අදාළ දිනවල උපදින දරුවන් ප්‍රකට කලාකරුවන් බවට පත්වනු ඇති බව ඡ්‍යොතිෂ මතයයි.

2024 අගෝස්තු මාසය ආරම්භයේදී සිකුරු සිංහ රාශිගත වන විට ඥානකාරක බුධ ද එහිම තැන්පත්ව සිටිය දී බුද්ධිකාරක ගුරු වෘෂභ රාශියේ ගෝචරව පවතී.

බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන් තිදෙනාගේ මේ පිහිටීම 1, 2, 4, 5, 7, 9, 10 යන භාවගත වූ විට සරස්වතී යෝගය උදාවන බව ශාස්ත්‍ර නියමයකි.

ඉහත ග්‍රහ පිහිටීම අනුව අගෝස්තු 01 සිට 22 වැනි දින දක්වා මේෂ ලග්න හිමියන්ට දෙවැන්නේ හා පස්වැන්නේ ගුරු බුධ හා සිකුරු පිහිටිමෙන්ද, වෘෂභ ලග්න හිමියන්ට 1 හා 4 වැන්නේ පිහිටීමෙන් ද සිංහ ලග්න හිමියන්ට 1 වැන්නේ හා 10 වැන්නේ සිටීමෙන් ද වෘශ්චික ලග්න හිමියන්ට 7 හා 10 වැන්නේ ගෝචර වීමෙන්ද කුම්භ ලග්න හිමියන්ට 4 හා 7වැන්නේ යෙදීමෙන්ද මේ මාහැගි යෝගය උදාකර දේ.

අගෝස්තු 22 වැනි දින දක්වා බුධ, ගුරු සිකුරු ඉහත ලග්නගතව සිටී. අගෝස්තු 22 වැනි දින බුධ වක්‍රයෙන් කටක රාශියට හා 25 වැනි දින සිකුරු කන්‍යා රාශිගත වීමෙන් ද මේ ප්‍රබල යෝගය උදාවන අතර ගුරු, බුධ, සිකුරු ග්‍රහයන් 5, 7 සහ 9 යන භාවවල පිහිටීමෙන් මකර ලග්න හිමියන්ට ඒ කාලය තුළ මේ යෝගය උදා කෙරේ.

සැප්තැම්බර් 04වැනි දින බුධ නැවත සිංහ රාශිගත වීමෙන් පසු අදාළ ග්‍රහයන් තිදෙනා 1, 4, 5 යන භාවගත වීමෙන් වෘෂභ ලග්න හිමියන්ට ද 1, 2, 10 භාවගත වීමෙන් සිංහ ලග්න හිමියන්ටද මේ යෝගය නැවත උදා වන අතර සැප්තැම්බර් 18 වැනි දින සිකුරු තුලා රාශිගත වීමෙන් පසු 23 වැනි දින දක්වා 1, 5, 7 යන භාවගතව එම ග්‍රහයන් පිහිටීමෙන් මේෂ ලග්න හිමියන්ටද 4, 7 සහ 9 භාවගත වීමෙන් කුම්භ ලග්න හිමියන්ටද මේ යෝගය උදාකර දේ.

එමෙන්ම සැප්තැම්බර් 23 වැනි දින බුධ කන්‍යා රාශිගත වීමෙන් පසු බුධ, ගුරු, සිකුරු ග්‍රහයන් 1, 2, 9 භාවගත වීමෙන් කන්‍යා ලග්න හිමියන්ටද 5, 9, 10 භාවගත වීමෙන් මකර හිමියන්ටද මේ යෝගය උදාකර දේ.

ප්‍රබල සරස්වතී යෝගය එළැඹීමෙන් එම ලග්න හිමියන් බලවත් වනවා මෙන්ම කලාත්මක කටයුතුවලින් මහත් ප්‍රසිද්ධියක් ලැබෙනු ඇත. මේ යෝගයෙන් ජන්ම ලාභය ලබන්නන්ට අනාගතයේ කලාකරුවන් බවට පත්වීමට භාග්‍යය ඇති අතර ඔවුන් ප්‍රසිද්ධ කවියන් වේ. ජනතා ප්‍රසාදයට ලක් වේ. යහපත් විවාහයක් හිමිය.

මේ යෝග කාලය දරුවන්ට අතපොත් තැබීමට ග්‍රන්ථකරණයට පොත් ප්‍රදර්ශන පුස්තකාල සහ ග්‍රන්ථ වෙළෙඳාම ආරම්භයට සුදුසු වේ.

බලංගොඩ ආනන්ද මෛත්‍රය හිමියන්, මහත්මා ගාන්ධිතුමා, ගායක මොහිදින් බෙග්, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා වැනි අය මේ යෝගය සහිතව උපන්නෝ වෙති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.