ප්‍රඥාවන්තයන් බබලවත් කරමින් බුධ සිංහයට සංක්‍රමණය වෙයි

ලග්න රැසකට ඥාන ශක්තිය, සුරවීර බව, ධන බලය උදා වෙයි
අගෝස්තු 30, 2024

ලග්න එකොළහකට සුබපල උදා කරමින් සැප්තැම්බර් 04 වැනිදා බදාදා දින උදේ 11.40ට බුධ ග්‍රහයා සිංහ රාශිගතවන අතර සැප්තැම්බර් 23 දක්වා බුධ සිංහයේ ගමන් කරයි.

මේ ග්‍රහ ගමන අනුව මේෂ, වෘෂභ, වෘශ්චික, ධනු, මීන ලග්න හිමියන්ට සුබපල උදා කෙරෙන අතර මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, කුම්භ ලග්න හිමියන්ට මිශ්‍රපල උදා කෙරෙනු ඇත.

බුද්ධිමතුන්ට, අධ්‍යාපනය ලබන්නන්ට ශුභ වෙයි. බුද්ධියෙන් කරන යහපත් කටයුතුවලින් සාර්ථක ප්‍රතිපල ලැබේ. දේශපාලනයට බුද්ධිමතුන්ගේ උනන්දුව වැඩිවෙයි.

රවි හා බුධ ග්‍රහ සංයෝගය නිතරම සිදුවන බැවින් රවි ග්‍රහයාගෙන් බුධ අංශක 28ට වඩා ඈත් වන්නේ නැත. එසේ අංශක 28 (විසි අට) කටවඩා ඈත්වීම දෝෂයක් ලෙස පිළිගන්නා අතර එම දුරස්ථභාවය බොහෝ අගුණ උදා කරන බවද පෙන්වයි. මෙය මානසික වශයෙන් දුර්වල දරුවන් බිහිවීමට හේතු විය හැකිය. බුධ ග්‍රහයා නිතරම තමාට ළංවූ බලවත් ග්‍රහයාගේ ගතිගුණ ගන්නා අතර එසේ නැති නම් තමා සිටිනා රාශියේ ගුණය පෙන්වයි. බුධ සිංහ රාශියේ දී තරමක බලවත් වූ ශූර බවක් ද පෙන්වයි. හොඳ ස්ථිර ගති පෙන්වයි. පාලනය තුළ තමා ප්‍රධාන තැන ගෙන මූලිකත්වය ලබා ගැනීමට බලයි. ඉගෙනීම උසස් කරයි. පුළුල් ව සිතා වැඩ කරයි. පුළුල් අදහස් ඇත. බුධ ග්‍රහයා බලවත් වන අවස්ථාවල දී රවි හා බුධ සංයෝග වීමෙන් ඉතා ශුභඵල දෙන ප්‍රඥාවන්තයන් බිහිවන රවි -බුධ ආධිත්‍ය නම් ශුභ යෝගය ද උදා කරයි.

මේ බුධ ග්‍රහයා සිංහ රාශිගතවීම අනුව ඔබට යම් අගුණ අපල තත්ත්වයක් උදා වන්නේ නම් බෝධි පූජාව දින 7 ක් තබන්න. විෂ්ණු දෙවියන්ට නිල් මල් වට්ටි 3ක් පූජා කර, එළඟිතෙල් පහනක් දල්වා පින්දීම ශුභයි.

ඇළ දොළ, ගංගාවල මාළුන්ට බත් හා පොරි කෑමට දීම යහපත් වෙයි. ඉගෙන ගන්නා දුප්පත් ළමයින්ට පොත්, පෑන්, බෑග් ලබා දීම යහපත් වෙයි. විෂ්ණු දෙවියන්ට නිල් මානෙල් මල් 7 ක් පූජා කිරීමත් ශුභවෙයි. විෂ්ණු දෙවියන්ට එළඟිතෙල් පහන් 3 හෝ 7 ක් දල්වා සෙත් ලබා ගන්න.

 

මේෂ ලග්නය -

මේෂ ලග්න ඔබට ඉගෙනීමේ කටයුතුවලට ශුභයි. බුද්ධි වර්ධනයට ශුභයි. විදේශගතව ඉගෙන ගන්නා අයටත් ශුභ වෙයි. ගෙදර දියුණුවට කටයුතු කරයි. වාසනාවන්ත දරු උපත්වලටත් ශුභයි. රාහුගේ දශා ඇති අයට විදේශවීම්වලට ශුභයි. රවි හා බුධගේ දශා ඇති අයට ශුභයි. කේතු දශාව ඇති අයට අගුණයි. රෝග ලෙස ආමාශගත රෝග හා පපුවේ රිදීම් ඇති වීමට පුළුවන.

අපල දුරැලීමට- කතරගම දෙවියන්ට රතු නෙළුම් මල් 7 ක් පූජා කරන්න. දානයක් ලෙස කෙසෙල් ගෙඩි දෙන්න.

වෘෂභ ලග්නය -

වෘෂභ ලග්න ඔබට ඉගෙනීම් කටයුතු සාර්ථක වෙයි. විදේශගතව ඉගෙනීමටත් ශුභයි. ගෙදර දියුණුවට කටයුතු කරයි. මවු පාර්ශ්වයේ අයට උදව් කිරීමට ලැබේ. සිකුරු හා බුධගේ දශාව ඇති අයට මංගල යෝග උදා වෙයි. රාහුගේ දශාව ඇති අයටත් යහපත් වෙයි. අඟහරුගේ හා කේතුගේ දශාව ඇති අයට තරමක් අගුණයි. රෝග ලෙස ඇස්වල අමාරු හා උගුරේ රිදීම් හා උදර දෝෂ හෝ තුනටියේ රිදීම් ඇති විය හැකිය.

අපල දුරැලීමට- කතරගම දෙවියන්ට තල තෙල් පහනක් දල්වා පින් දෙන්න. රතු හා කහ මල් පූජා කරන්න. දානයක් ලෙස කෙසෙල් ගෙඩි දෙන්න.

මිථුන ලග්නය -

මිථුන ලග්න ඔබට ඉගෙනීම් කටයුතු සාර්ථක වෙයි. විදේශගතව ඉගෙනීමේ බලය හා ගණිත අංශයේ ඉගෙන ගන්නා අයට ඉතාම ශුභ වේ. තාක්ෂණික ඉංජිනේරු අයට ඉගෙනීම් සාර්ථක වෙයි. ගෙදර සතුට ඇතිවේ. ගෙදර දියුණුවට කටයුතු කරයි. විදේශ ගමන්වලටත් ශුභයි. රවි, බුධ හා සෙනසුරුගේ දශා ඇති අයට යම් සහන උදා වෙයි. සඳු සිකුරුගේ දශාව ඇති අයටත් ශුභයි. අඟහරුගේ දශාව ඇති අයට අගුණයි. කරදර මතුවේ. රෝග ලෙස දෙපාවල රිදීම් හා පපුවේ හිරවීම් ඇති විය හැකිය.

අපල දුරැලීමට-කතරගම දෙවියන්ට රතු නෙලුම් මල් පූජා කර, තල තෙල් පහනක් දල්වා පින් දෙන්න.

කටක ලග්නය -

කටක ලග්න ඔබට හිතට සතුටුදායක තත්ත්වයක් උදා වේ. ඉගෙනීමේ කටයුතුවලට ශුභයි. ධනය ඇති වෙයි. ගුරු වෘත්තිකයන්ට ශුභ යි. එහෙත් වරින්වර බාධා මතු වේ. වියදම් තත්ත්වය වැඩිවේ. හදිසි විපත් අනතුරු වීමට ඉඩ ඇත. බ්‍රහස්පති හා රාහුගේ දශා ඇති අයට ලැබීම් හා විදේශගතවීම්වලට ශුභයි. සෙනසුරුගේ දශා ඇති අයට අගුණයි. වියදම් අධික වේ. කරදර මතු වෙයි. රෝග ලෙස ඔළුවේ රිදීම් හා මුත්‍රාවල හා තුනටියේ රිදීම් මතු වෙයි.

අපල දුරැලීමට- විෂ්ණු දෙවියන්ට එළඟිතෙල් පහනක් දල්වා නිල් මල් වට්ටියක් පූජා කරන්න.

සිංහ ලග්නය -

සිංහ ලග්න ඔබට ඉතාම ශුභවෙයි. ඉගෙන ගන්නා අයට හා විදේශගතව ඉගෙන ගන්නා අයටත් ශුභයි. ගුරුවරුන්ට ශුභවේ. වෙළෙදාම් ව්‍යාපාර කරන අයටත් ශුභවෙයි. කාන්තාවක් නම් මුහුණ පවා පැහැපත්වීමට බලපායි. බුද්ධිමත්ව එඩිතරව තීරණ ගැනීමට බලන කාලයයි. රාහු හා කේතුගේ දශා ඇති අයට තරමක් අපලයි. රවි, බුධ හා සෙනසුරුගේ දශා ඇති අයට යහපත් වෙයි. රෝග ලෙස ඇස්වල දෝෂ, තුනටියේ අමාරු හා මුත්‍රාවල ආසාදන මතුවීමට ඇත.

අපල දුරැලීමට-බෝධියට හා සමන් දෙවියන්ට වැටකේ මල් හා පිච්ච මල් පූජා කර, සෙත ලබා ගන්න. කතරගම දෙවියන්ට තල තෙල් පහනක් දල්වා පින් දෙන්න.

කන්‍යා ලග්නය -

කන්‍යා ලග්න ඔබට තරමක් වියදම් අධික කාලයක් වෙයි. මුදල් නාස්තිවීම් මතුවෙයි. රහස් සතුරු කරදර එයි. ඉගෙන ගන්නා අයට ශුභයි. වරින් වර බාධා මතුවෙයි. දුර බැහැර ගමන් යෙදේ. හිතවත් අය හා නෑදෑයන්ගේ කටයුතු තමා පිට පැවරෙයි. හිතට සහනය අඩුවෙයි. විදේශගතවීම්වලට ශුභයි. රාහු හා කේතුගේ දශා ඇති අයට කරදර ආ හැකිය. හිතවත් අය පවා අමනාප වෙයි. බුධ සිකුරු දශා ඇති අයට තරමක් යහපත් වෙයි. ඔළුවේ රිදීම් හා දෙපාවල රිදීම් ඒමට ඇත.

අපල දුරැලීමට-නිතරම සූනියන් දෙවියන්ට පිච්ච මල් පූජා කර පින් දෙන්න. කතරගම දෙවියන්ට පහනක් දල්වා පින් දෙන්න.

තුලා ලග්නය -

තුලා ලග්න ඔබට ධනය ලැබීමට ශුභයි. ඉගෙනීමේ කටයුතුවලට ශුභයි. වෙළෙඳාම් ව්‍යාපාර කරන, කලා නිර්මාණ කටයුතුවල නිරත වන අයටත් ශුභයි. ගණිත, විද්‍යා, තාක්ෂණික අංශයේ කටයුතු කරන අයට ශුභයි. බ්‍රහස්පති හා කේතුගේ දශා ගත කරන අයට අපලකාරීයි. රාහු දශා ඇති අයට විදේශගතවීම්වලට ශුභයි. රෝග ලෙස මුත්‍රාවල දෝෂ මතුවේ. තුනටියේ රිදීම් ඒමට ඇත. උදරයේ උෂ්ණ රෝග මතුවීමට ඇත.

අපල දුරැලීමට-කතරගම දෙවියන්ට රතු හා කහ මල් පූජා කර පින් දෙන්න. කහපාට, රිදී පාට, තැඹිලි පාට වස්ත්‍ර දන් දෙන්න.

වෘශ්චික ලග්නය -

වෘශ්චික ලග්න ඔබට ගුණාගුණ මිශ්‍ර කාලයක් උදා වෙයි. ඉගෙනීම් කටයුතු, වෙළෙඳාම් ව්‍යාපාර කරන අයටත් ශුභයි. ගෙදර කටයුතුවලට යම් බාධා මතුවූවත් අවහිර මැඩගෙන ඉදිරියට යන බව පෙනේ. උත්සාහවන්ත වේ. උනන්දුව හා හිත හයිය බව මඟින් ජය ලැබේ. රාහු හා සිකුරු දශා ඇති අයට තරමක් බාධා මතුවෙයි. සඳු හා රවි දශා ඇති අයට ශුභයි. පපුවේ රෝග හා දෙපාවල වේදනා ඒමට ඉඩ ඇත.

අපල දුරැලීමට-සූනියන් දෙවියන්ට සහ පත්තිනි මෑණියන්ට තලතෙල් පහනක් දල්වා පින් දෙන්න.

ධනු ලග්නය -

ධනු ලග්නයේ ඔබට පෙර පින් බලය ඉස්මතු වේ. ශුභ පල උදා වෙයි. ධර්ම කර්මාධි පති යෝගයද උදා වෙයි. ඉගෙනීමේ බලය හා විදේශගතව ඉගෙනීමේ වාසනාව ලබාදෙයි. හිතට සතුට දැනේ. පින් දහම්වල යෙදෙන අයට වහා ගුණ අත්වෙයි. ඔබ නිතරම සත්‍යගරුකබව නීති ගරුකබව අගය කරන බැවින් තව තවත් සාධාරණ වෙයි. කරන දේ හරියට කරයි. වෙළෙඳාම් ව්‍යාපාරවල දියුණුව හා තනතුරුවල උසස් තත්ත්ව ලැබීමට යහපත් වෙයි. සඳු හා රාහු, කේතු දශා ඇති අයට තරමක් අගුණයි. ඓහෙත් ඔළුවේ රිදීම් හා පපුවේ රෝග මතුවීමට ඇත.

අපල දුරැලීමට-සුමන සමන් දෙවියන්ට, කතරගම දෙවියන්ට හා සූනියම් දෙවියන්ට මල් පූජා කර පින් දෙන්න.

මකර ලග්නය -

මකර ලග්න ඔබට පීඩාකාරී බවක් මතුවේ. මේ ග්‍රහ මාරුව ඔබට එතරම් ගුණදායක නැත. වියදම් තත්ත්වය ද ඉහළ යයි. රහස් සතුරු කරදර මතුවෙයි. දැඩි කේන්ති ගති මතු වෙයි. ඉවසීම නැති වෙයි. කඩිසරව වැඩ කරන්නට බලයි. ඉගෙන ගන්නා අයට මධ්‍යස්ථයි. හදිසි විපත් අනතුරුද ඇති විය හැකිය. ප්‍රවේසම් වන්න. රවි හා බුධ දශා ඇති අයට අපලයි. හදිසි කරදර මතු කරයි. දෙපාවල රිදීම්, මුත්‍රාවල දෝෂ හා තුනටියේ රිදීම් මතු වීමට ඉඩ ඇත.

අපල දුරැලීමට-ඊශ්වර දෙවියන්ට හා විෂ්ණු දෙවියන්ට මල් පහන් පූජා කර පින් දෙන්න.

කුම්භ ලග්නය -

කුම්භ ලග්න ඔබ නිතරම නිදහසේ පාඩුවේ ඉන්නට බලයි. පවුලේ ප්‍රශ්න මතුවීමට ඇත. සමගියට බාධා වීම් ඇතිවීමට ඇත. ඉවසීම මඟින් යහපත උදා කර ගැනීමට බලයි. වියදම් තත්ත්වයද ඉහළ යයි. කතාවේ දෝෂ මතුවෙයි. හවල් කටයුතුවලට බාධා මතුවෙයි. සිත වියවුල් බවක් දැනේ. ඉගෙන ගන්නා අයට යහපත් වේ. රාහු හා කේතු දශාව ඇති අයට අගුණකාරියි. බුධගේ දශා ඇති අයට මධ්‍යස්ථයි. වරින්වර බාධා මතුවෙයි. තුනටියේ රිදීම් හා ඇස්වල අමාරු, ඔළුවේ කැක්කුමද මතුවීමට ඇත.

අපල දුරැලීමට-සූනියම් දෙවියන්ට හා කතරගම දෙවියන්ට නිතරම මල් පහන් පූජා කර සෙත ලබා ගන්න.

මීන ලග්නය -

මීන ලග්න ඔබට නිතරම හිත් පීඩා ගෙන දෙයි. කල්පනා කරයි. වෙළෙඳාම්වල දියුණුව ඇතිවෙයි. ඉගෙන ගන්නා අයට ද ශුභයි. රහස් සතුරු කරදර පීඩා හා සොරසතුරු උවදුරුවලින් ආරක්ෂා වන්න. දුරබැහැර ගමන් යෙදේ. මදුරු විෂවලින් ආරක්ෂා වන්න. ලිස්සා වැටීම් අනතුරු ද ඇත. ප්‍රවේසම් වන්න. රාහු හා කේතු දශා ඇති අයට බාධා කරදර වැඩිවෙයි. මුදල් නාස්තිවීම්ද ඇත. ඔළුවේ බර ගතිය හා ඔළුවේ කරකැවිල්ල මතු වනු ඇත. උදරගත උෂ්ණ රෝග මතු වේ.

අපල දුරැලීමට-සූනියන් දෙවියන්ට, පත්තිනි මෑණියන්ට හා කතරගම දෙවියන්ට පිරිසුදු තල තෙල් පහන් දල්වා සුදු හා රතු නෙලුම් මල් පුජා කර සෙත ලබා ගන්න.

මේ බුධ ග්‍රහයා සිංහ රාශිගතවීම අනුව ඔබට යම් අගුණ අපල තත්ත්වයක් උදා වන්නේ නම් බෝධි පූජාව දින 7 ක් තබන්න. විෂ්ණු දෙවියන්ට නිල් මල් වට්ටි 3ක් පූජා කර, එළඟිතෙල් පහනක් දල්වා පින්දීම ශුභයි.

ඇළ දොළ, ගංගාවල මාළුන්ට බත් හා පොරි කෑමට දීම යහපත් වෙයි. ඉගෙන ගන්නා දුප්පත් ළමයින්ට පොත්, පෑන්, බෑග් ලබා දීම යහපත් වෙයි. විෂ්ණු දෙවියන්ට නිල් මානෙල් මල් 7 ක් පූජා කිරීමත් ශුභවෙයි. විෂ්ණු දෙවියන්ට එළඟිතෙල් පහන් 3 හෝ 7 ක් දල්වා සෙත් ලබා ගන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.