ලග්න හතරක පැතුම් ඉටුකරමින් සිකුරු කන්‍යා රැසට

අගෝස්තු 16, 2024

 

වෘෂභ, මිථුන, කන්‍යා, මකර ලග්න හතරට සුවිශේෂී සුබපල අත්කර දෙමින් ග්‍රහලොව සුකුමාලිය වශයෙන් සලකන සිකුරු ග්‍රහයා 2024 අගෝස්තු මස 25 වැනි දා උදේ 01.16ට කන්‍යා රාශියට පැමිණ සැප්තැම්බර් මස 18 වැනි දින දක්වා එම රාශියේ හැසිරෙයි.

වෘෂභයට පෙර පින් පළ දෙන අතර, මිථුනයට අපේක්ෂා මල්පල ගැන්වේ. කන්‍යා ලග්න හිමියන්ට ඉහළ ශුභපල ලැබෙන අතර මකර ලග්න හිමියන්ට කුසලාදී කුසල යෝගයත් ක්ෂේත්‍ර සිංහ යෝගයත් උදා වීමෙන් උසස් ප්‍රතිපල අත් වේ. සිකුරු තම නීච භවන වන කන්‍යා රාශියට පැමිණියද එම සිකුරු භාව වශයෙන් යහපත්ව පැමිණීම නිසා කන්‍යා රාශිගත ප්‍රතිපලය අහෝසි වී භාව වශයෙන් ලැබෙන සුබ ප්‍රතිපල වඩාත් ක්‍රියාත්මක කරන බව කිව හැකිය. මෙසේ සැලකීමේ දී ඉහත සඳහන් ලග්න හතර හැර අනෙක් ලග්න අටට මිශ්‍රපල අත්කර දෙනු ඇත.

මේ ග්‍රහ ගමන ලංකා කේන්ද්‍රයට සාපේක්ෂව සැලකීමේ දී සිකුරු පැමිණෙනුයේ 8 වැන්නට ය. එම සිකුරුගේ රාශි ගමන යහපත් කරුණක් යැයි සෘජුවම පැවැසිය නොහැකිය. තමාගේ නීච භවනයට සිකුරු සම්ප්‍රාප්ත වන හෙයින් ද එම සිකුරු සැප්තැම්බර් 5 වැනි දා වන විට කේතු සිටින අංශකයේදීම කේතුට සංයෝගවීමෙන් සිකුරුගේ බලය යම් ඌණතාවයකට පත්වනු ඇත. එහි දුර්විපාකය ලෙස මෙරටෙහි ප්‍රසිද්ධතම, පිළිගත් උසස් මට්ටමේ කාන්තාවකට අපල ගෙන දෙන කාරණයක් වනු ඇත. නැතහොත් වියෝගයක් ගෙන දෙන කරුණක් වනු ඇත. එසේ වන්නේ 9 අධිපති සිකුරු 8 වැන්නෙහි පීඩාවට පත්වන බැවිනි.

මේෂ ලග්නය

මේෂ ලග්න හිමියන්ට සිකුරුගේ කන්‍යා රාශිගතවීම සුබ අසුබ මිශ්‍රඵල ගෙන දීමට සමත් වෙයි. යම් යම් ගෘහමය කටයුතු පිළිබඳ සැලකිලිමත්ව බුද්ධිමත්ව තීරණ ගත යුතු වන්නේ ගැටලුසහගත තත්ත්වයන් මතුවිය හැකි බැවිනි. සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව ද වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු ය.

වෘෂභ ලග්නය

සිකුරුගේ කන්‍යා රාශි ගත වීම වෘෂභ ලග්න හිමියන්ට පෙර පින පලදෙන කාලසීමාවකි. සිකුරු ලග්නාධිපති වශයෙන් පූර්ව පුණ්‍යස්ථානය වන 5 වැන්නට පැමිණීම එයට හේතුවයි.

සියලු කටයුතු සාර්ථක කර ගැනීමට අවකාශ සැලසෙනු ඇත.

මිථුන ලග්නය

මිථුන ලග්න හිමියන්ට සිකුරු යෝග කාරකයා ලෙස දිග්බල වේ. මිථුන ලග්න හිමියන්ගේ අපේක්ෂාවන් අරමුණු මල්පල ගන්වන හිතකර පරිසරයක් උදා වේ.

කටක ලග්නය

කටක ලග්න හිමියන්ට සුබාසුබ මිශ්‍ර ප්‍රතිපල සහිත වේ. එනිසා කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීම ගෘහ ජීවිතය හා ආර්ථිකය සැලසුම් කර ගැනීමට ඉවහල් වනු ඇත.

සිංහ ලග්නය

සිංහයට ද සිකුරුගේ කන්‍යා රාශිගත වීම මිශ්‍රඵල උදාකරනු ඇත. ගෘහ දිවියේ පීඩාකාරී තත්ත්වයන් ඇති වුවත් මුදල්මය අතින් ශක්තිමත් වීමට හේතු වාසනාව ඇත.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නයට සිකුරු පතිත වී නීච වුවත් එම නීචයෙහි දුර්විපාක අහෝසි වී යෝග කාරකයා ලෙස ලග්නයට පතිතවීමෙන් ශුභපල ඉතාමත් ඉහළ මට්ටමෙන් ලබාදේ.

තුලා ලග්නය

තුලා ලග්න හිමියන්ට ද සිකුරුගේ කන්‍යා රාශි ගත වීම ඔස්සේ ගෙන එන්නේ සුබ අසුබ මිශ්‍ර පලයකි. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතු ය. රෝගාබාධ පිළිබඳවද සැලකිලිමත් විය යුතු ය. වියදම ඉතා අධික විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු ය.

වෘශ්චික ලග්නය

මධ්‍යස්ථ ප්‍රතිපල මධ්‍යයේ වුවද කටයුතු කරමින් තම අරමුණු අපේක්ෂා මල්පල ගන්වා ගැනීමට වෘශ්චික ලග්න හිමියන්ට හැකිවේ. විශේෂයෙන්ම මංගල යෝග උදාකරන කාලසීමාවකි.

ධනු ලග්නය

ධනුවට සිකුරුගේ කන්‍යා රාශිගතවීම මිශ්‍රඵල අත්කර දෙනු ඇත. තම ආර්ථිකය ගෘහ ජීවිතය මෙන්ම සෞඛ්‍යය පිළිබඳවද කල්පනාකාරීව කටයුතු කළ යුතු ය.

මකර ලග්නය

සිකුරුගේ කන්‍යා රාශි ගත වීමට මකර ලග්න හිමියන්ට වඩා සුවිශේෂී ප්‍රතිඵල ලබාදීමට හේතුවක් වේ. කුසලාදී කුසල යෝගය හා ක්ෂේත්‍ර සිංහාසන යෝගය නිසා මකර ලග්න හිමියන්ට තම තත්ත්වයෙහි ඉහළට යාම අනපේක්ෂිත ලෙස උසස් ප්‍රතිපල හා වරප්‍රසාද හිමිවීමට හේතු වනු ඇත.

කුම්භ ලග්නය

යම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් ගෙන දුන්න ද දැඩි අධිෂ්ඨානය හා අභියෝග මැඩගෙන ඉදිරියට යාමට හැකි වනු ඇත. කල්පනාකාරීව කටයුතු කිරීම අනාගත සැලසුම් යහපත් කරනු ඇත.

මීන ලග්නය

මීන ලග්න හිමියන්ට ද මිශ්‍රපල අත්වනු ඇත. ඒ අනුව ගෘහජීවිතය, සෞඛ්‍ය තත්ත්වය ගැන කල්පනාකාරීව කටයුතු කළ යුතුය. අභියෝග හමුවේ නොසැලී කටයුතු කිරීමට ඔබට වාසනාව අත් වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.