බලවත් උපේන්ද්‍ර යෝගය 16 වැනිදා

අගෝස්තු 16, 2024

ලග්න පහකට ධන බලය

ලග්න හතරකට ප්‍රබල මංගල යෝග

ශූර වීර දරුපල ලැබෙන කාලයක්

අගෝස්තු මාසයේ 16 වැනිදා සිකුරාදා එනම් අද දින රාත්‍රී 7.44ට රවි ග්‍රහයා සිංහ රාශි ගත වීමත් සමඟ උපේන්ද්‍ර සුබ යෝගය උදා වෙයි. සැප්තැම්බර් 16 දින රාත්‍රි 7.43 දක්වා සිංහ රාශිය තුළ රවි ග්‍රහයා බලවත්වීම රටට ශුභ කාලයක් මෙන්ම එඩිතර ශූර වීර ගුණවත් අයට ඉතාම යහපත් වෙයි.

මේ උපේන්ද්‍ර නම් රවි ග්‍රහයා බලවත් වන ශුභ යෝගය නියම අයුරින් බලවත්ව පිහිටා උපත ලබන ජන්මීන් හට ශූර බුද්ධිය තැනට සුදුසු නුවණ හා ශරීර ශක්තිය, නීරෝගී බව ලබා දෙයි. පාලනයේ දක්ෂකම ඇතිවෙයි. බොහෝ ඇසූ පිරූ තැන්වල ප්‍රධාන තැනගෙන කටයුතු කිරීමට ලැබෙයි. තමා මූලිකව හැමදේම පාලනය කිරීමට සුදුසු යැයි තෝරාගැනීම සිදුවේ. සැප සම්පත් ලබයි. තමාට ලැබෙන කාර්යය හරියට කිරීමට දක්ෂ වේ. සුපිරි ක්‍රීඩකයන්, සූරවීර බලවතුන් බිහිවෙයි. හරි දේ හරියට දැකීම, සත්‍යය ගරු කිරීම, සාධාරණබව අගය කිරීමට හේතු වෙයි. බොහෝ පිළිගැනීමට, ගරු බුහුමන් ලැබීමට හේතු වෙයි.

දහවල් උපන් අයට රවි ග්‍රහයා පියා ලෙස ඡ්‍යොතිෂය තුළ ගෞරවයෙන් හඳුන්වයි. සිංහ රාශියේ මූලාංශක 20 තුළ රවි ග්‍රහයා මූල ත්‍රිකෝණභාවය ලබයි. රාශියේ අන්තිම අංශක 10 තුළදී ස්වක්ෂේත්‍ර බලය ලබයි.

මේ රවි ග්‍රහයා සිංහ රාශි ගතවීම අනුව ඔබට යම් අගුණ තත්ත්වයක් උදා වන්නේ නම් බෝධි පූජාව දින 7ක් තබා නිතරම ඊශ්වර දෙවියන්ට සුදු නෙලුම් මල් 7ක් පූජා කරන්න. තල තෙල් පහනක් දල්වා පින් දෙන්න. පිපාසයෙන් සිටින ගවයන්ට වතුර බීමට දෙන්න. අන්ධ අයට කෑම දෙන්න. බෙහෙත් රැගෙන දෙන්න. විෂ්ණු දෙවියන්ට නිල්මල් පූජා කර එළඟි තෙල් පහනක් දල්වා සෙත ඉල්ලන්න. ඊශ්වර දෙවියන්ට මී කිරි, පැණි සමඟ පූජා කරන්න. සෙත ලබා ගන්න.

මේෂ ලග්නය: ඔබට මෙම ග්‍රහ මාරුව ශුභ වේ. ඉගෙනුම ලබන්නන්ට ශුභයි. ධනය ලැබීමට හා තනතුරුවල උසස්වීම්වලට උනන්දු අයට යහපත් කාලයක් වේ. වියදම් තත්ත්වය තරමක් ඉහළ යන අතර ලැබීම ඇති වේ. ප්‍රබල විදේශගතවීම්ද ඇත. රවි හා සඳුගේ දශා ඇති අයට ශුභයි. රෝග ලෙස උදර රෝග මතු වෙයි.

වෘෂභ ලග්නය: ගෙදර වැඩකටයුතු සාර්ථක කර ගැනීමට ලැබේ. අතමිට සරු වේ. දියුණුව ලැබේ. වහා කේන්ති යාම මතු වේ. ඉගෙනුම ලබන්නන්ට ශුභයි. ඉඩම් වාහන මිළදී ගැනීමට යහපත් කාලයක් වෙයි. සිතේ සවිය ඇතිවේ. රවි-බුධ-රාහු දශා ගත කරන අයට යපහත් වේ. රෝග ලෙස හිසේ කැක්කුම හා තුනටියේ රිදිම් මතුවීමට ඉඩ ඇත.

මිථුන ලග්නය: ඉගෙනුම ලබන්නන්ට ඉතාම ශුභයි. කාර්මික, විද්්‍යුත්, ඉංජිනේරු හා තාක්ෂණික විෂයන් හදාරන්නන්ට ශුභ වේ. ප්‍රබල මංගල යෝගද උදාවේ. රැකියාවේ යම් යම් බාධා මතු වීමට ඇත. හිත් කලකිරීම් මතු වේ. දුර බැහැර ගමන් යෙදේ. කේතු හා රාහු දශා ඇති අයට අගුණයි. රෝග ලෙස දෙපාවල හා තුනටියේ රිදිම් මතු වීමට ඉඩ ඇත.

කටක ලග්නය: ධනය බලය හිමිවෙයි. එහෙත් වියදම් අධික වෙයි. මුදල් නාස්ති වීම් ඇත. ඉතාම ප්‍රවේශම්ව ගණුදෙණු කිරීම මැනවි. කතාවේ බලය ඉස්මතු වේ. විදේශ ගතවීම් ඇති වෙයි. එහෙත් වරින් වරම සිත් රිදීම් ඇති වේ. සෙනසුරු හා කේතු දශා ඇති අයට අගුණයි. රවි හා බ්‍රහස්පති දශා ඇති අයට දියුණුව ඇති වෙයි. රෝග ලෙස මුත්‍රා දෝෂ මතු වීමට ඉඩ ඇත.

 

සිංහ ලග්නය

ප්‍රබල මංගල යෝග උදාවේ. හිතවත් අය උදව් කරයි. කලාකාමී අදහස් පහළ වෙයි. වෙළෙදාම් ව්‍යාපාර කරන අයට ශුභයි. නිතරම හිත සතුටින් සිටියි. රජයේ හෝ හෙද රැකියා ලාභ ඇති අයට ශුභ වෙයි. විනෝද ගමන් යාටම කරුණු උදාවෙයි. බුධ, රවි, සිකුරු දශා ඇති අයට යහපත් වෙයි.

කන්‍යා ලග්නය

සිතට සහනය අඩු වෙයි. එහෙත් මනුෂ්‍යකම හා දේව භක්තිය ඇති බැවින් තරමක් සහනය උදා වෙයි. වියදම් තත්ත්වය ඉහළ යයි. අධ්‍යාපනය ලබන්නන්ට ශුභ වෙයි. විදේශගත වීමට අදහස් කරන අයට ශුභයි. හවුලේ වැඩ කරන විට බාධා මතු විය හැකිය. රාහු- කේතු හා අඟහරුගේ දශා ඇති අයට අගුණයි. සිකුරු දශා ඇති අයට මංගල යෝග උදා වේ. රෝග ලක්ෂණ ලෙස ඔළුවේ කැක්කුම හා උදර රෝග මතු වීමට ඇත.

තුලා ලග්නය

ධනයට බලයට ශුභ වේ. ප්‍රබල මංගල යෝග ද උදා වෙයි. ප්‍රේම සම්බන්ධතා ඇති වීමට බලයි. රැකියා ලාභ හිමිවීමට ඇත. හිතවත් අයට උදව් කරයි. කලා කටයුතු හා ඇඟලුම් කටයුතුවල නිරත අයට ශුභයි. විදේශගත වීම් පවා ඇත. අගහරු හා බ්‍රහස්පති දශා ඇති අයට අගුණයි. කරදර මතු වෙයි. රෝග ලෙස පපුවේ සෙම් ගතිය මුත්‍ර දෝෂ මතුවීමට ඉඩ ඇත.

වෘශ්චික ලග්නය

හිතවත් අය තමාට උදව් කරන කාලයක් වෙයි. ප්‍රබල මංගල යෝගද උදා වෙයි. ධන බලය හිමි වෙයි. උත්සාහවන්ත බව ඇති වෙයි. රැකියාවේ දියුණුව ඇත. අධ්‍යාපනයට ශුභ වෙයි. බාධා මැඩගෙන තම කටයුතු සපල කර ගනියි. සෙනසුරු හා රවි දශා ඇති අයට ශුභයි. සිකුරු දශා ඇති අයට මංගල යෝග උදාවේ.

උගුරේ සෙම් ගතිය හා උදර රෝග ඇති විය හැකිය.

ධනු ලග්නය

ඉතා ශුභ කාලයක් උදා වෙයි. පෙර පින් බලය ඉස්මතු වෙයි. එහෙත් වරින් වර සිතේ කලකිරීම් ඇති වෙයි. ස්ථානගත දෝෂ මතු විය හැකිය. ප්‍රබල මංගල යෝග උදා වේ. අධ්‍යාපනය ලබන්නන්ට ශුභයි. රැකියා බලාපොරොත්තු අයට යහපත් කාලයක් උදා වෙයි. රවි හා බුධ සෙනසුරු දශා ඇති අයට යහපත් වෙයි. හිසේ බර ගතිය හා පපුවේ රෝග මතුවීමට ඉඩ ඇත.

මකර ලග්නය

වියදම් තරමක් අධික වෙයි. ඔබට යම් සහනයක් ලැබීම අගෝස්තු මාසයේ 25 වැනි දින සිට උදා වෙයි. මංගල යෝග උදාවේ. අධ්‍යාපනයට ශුභයි. විදේශගත වීමට අදහස් කරන අයටත් මාසයේ අග සිට ශුභ වෙයි. රවි හා අඟහරු දශා ඇති අයට අපල ගෙන දෙයි. සිකුරු හා රාහු දශා ඇති අයට යම් සහනයක් උදා වෙයි. රෝග ලෙස මුත්‍රාවල ආසාදන මතුවීමට ඉඩ ඇත.

කුම්භ ලග්නය

ප්‍රබල මංගල යෝග උදාවේ. ධනය ලැබීමටද ශුභයි. අධ්‍යාපනයට ශුභයි. ගෙදර දියුණුවට කටයුතු කරයි. ලැබීම් ඇතත් වියදම් තත්ත්වයද ඇතිවෙයි. හිතවත් අයගේ උදව් ලැබේ. රාහු හා කේතු දශා ඇති අයට අගුණයි. රෝග ලෙස ඇස්වල දෝෂ, හිසේ කැක්කුම හා තුනටියේ රිදිම් ඇතිවෙයි.

මීන ලග්නය

නව රැකියා බලා පොරොත්තු අයට අදහස් ඉටුවෙන බව පෙනේ. අධ්‍යාපනයට ශුභයි. මංගල යෝග ද උදාවෙයි. සතුරු කරදර ඉවත් වන කාලයක් උදා වෙයි. කලබලකාරී බවින් දුකට පත් වෙයි. පාඩු අලාභ සිදු වෙයි. රාහු හා කේතු දශා ඇති අයට අගුණයි. රෝග ලෙස හිසේ බර ගතිය උදරයේ උෂ්ණ රෝග මතු වීමට ඉඩ ඇත .

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.