සියලු සුබ වැඩවලට යෝග්‍ය අති ප්‍රබල අමෘත යෝගයක්

අගෝස්තු 23, 2024

ඡ්‍යොතිෂවේදී, කේ.එච්. ධනපාල

ඡ්‍යොතිෂවේදී, සෝමපාල විජේසූරිය

ආනන්දාදී අටවිසි මහා යෝග ගණයට අයත් අමෘත යෝගය අගෝස්තු මස 28 වැනිදා උදා වේ. ඒ අනුව ඕනෑම සුබ කටයුත්තක් සඳහා එදින පස්වරු 1.20 දක්වා දින ශුද්ධිය යෙදී ඇති බැවින් අකුරු කියවීමට, විවාහ කටයුතු සඳහා, නිවාස ඉදි කිරීම්, භවභෝග රෝපණය, දේව පූජා ආදිය, ව්‍යාපාර ඇරැඹීම ආදී සියලු කටයුතුවලට සුදුසු දිනයක් ලෙස ගැනේ.

ඒ අනුව එදින පෙරවරු 9.06ට නැඟෙනහිර බලා වෙළෙඳ ව්‍යාපාර ඇරැඹීම සුදුසුය. පුවපල්, පුවසල, සුවණ, අද, සියාවස, පුනාවස, පුවපුටුප නැකැත්වලින් ජන්මලාභය ලැබූවන්ට මේ මුහුර්තය ඉතා සුබපල ගෙනෙ දේ.

මෙදින වණිජ කරණය සහ අමෘත යෝගය ද උදා වී පවතී. මෙවන් දිනයක විශේෂිත බලයක් උදාවන බව ජ්‍යෝතිෂයේ සඳහන් වේ.

එවන් සුබ මුහුර්තයක් යෙදෙන 28 වැනිදා උතුම් නිවාස නැකැතක් ද යෙදෙන බැවින් නිවාස ඉදි කිරීම සඳහා පාද බෙදීම පෙරවරු 6.18ට දකුණ බලා සිදු කිරීම යහපත් වේ. නව නිවෙසේ අත්තිවාරම් කැපීම සඳහා උදේ 7.44 ට පවතින සුබ මුහුර්තය ඉතා යෝග්‍යය. නව නිවෙසේ මුල්ගල තැබීම උදේ 10.01ට යෙදෙන සුබ මුහුර්තයෙන් දකුණ බලා සිදු කිරීමෙන් යහපත් ප්‍රතිපල උදාකරගත හැකිය.

එදින උදාවන සිංහ තත්කාල ලග්න කේන්දරයට අනුව මේ නිවාස නැකැත් බුධට, ගුරුට, සිකුරුට අයත් නැකැත්වලින් ජන්ම ලාභය ලැබූවනට හැර අනෙක් නැකැත් හිමියන්ට ඉතා සුබපල ගෙන දේ. එලෙසම මකර ලග්න හිමියන් හැර අනෙක් සියලු ලග්න හිමියන්ට මේ නැකැතින් වැඩ ඇරැඹීමෙන් යහපත උදා වේ.

ඒ අතරින් මේෂ, කටක, සිංහ, තුලා ලග්න හිමියන්ට සුබ පල වැඩි වශයෙන් උදා වනවා ඇත. රාහුගේ පිහිටීම අනුව බලසම්පන්න යෝග වාසනාව වෘෂභ, සිංහ, තුලා හිමියන්ට උදාවේ. විදේශීය ගමන් බිමන්, විදෙස් ධනය, හවුල් ව්‍යාපාර කටයුතු ඇරැඹීමට ද මේ නැකැත සුබය. තත්කාල කේන්දරයට අනුව සෙනසුරු කුම්භ රාශියේ සස යෝගය උදා කරමින් හා දිග්බලව සිටීමෙන් ඉතා ප්‍රබල ධන යෝගයක් ගෙන දීමටද මේ මුහුර්තය සමත් වෙයි.

ඉහත ලග්න හිමියන්ට තම ධන වාසනාව උරගා බැලීමට ද මේ මුහුර්තය යෝග්‍ය වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.