ලග්න හයකට සුබපල දෙමින් රවි සිංහයේ රජ වෙයි

අගෝස්තු 2, 2024

 

සුබ පල වැඩි කරගන්න ඉඹුල් ගසක් වවන්න

මිථුන, කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මීන ලග්න හිමියන්ට සුබපල ද අනෙක් සියලු ලග්න හිමියන්ට මිශ්‍ර පල ද උදා කරමින් අගෝස්තු මස 16 වැනි සිකුරාදා රාත්‍රී 7.44ට සිංහ රාශිගත වන රවි ග්‍රහයා සැප්තැම්බර් මස 16 වැනි සඳුදා රාත්‍රී 7.42 දක්වා එම රැසෙහි රැඳී සිටින්නේය. මෙලෙස සිංහ රාශියෙහි ස්වක්ෂේත්‍ර සහ මුල ත්‍රිකෝණ බලය ලබමින් රවි ග්‍රහයා බලවත්ව ගෝචරය වුවත් රවි අඟහරු ගේ කේන්ද්‍ර දෘෂ්ටියටත්, සෙනසුරුගේ සප්තම දෘෂ්ටියට ලක්ව රාහු, කේතු යන ඡායා ග්‍රහයන්ගෙන් පාප කර්තරී යෝගයකට මැදිව ගමන් ගැනීම එතරම් ශුභ ඵල ගෙන දෙන ග්‍රහ ගෝචරයක් නොවන බව කියා සිටින්නේ මහජනයාට ඒ පිළිබඳව දැනුම්වත් වී සිදු විය හැකි අපල උපද්‍රව වලින් වැළකී සිටීමටය.

ඒ අනුව ලංකා කුම්භ ලග්න කේන්දරයේ 7 වැන්න වූ සිංහ රාශියේ ජන්ම අඟහරු මතින් ඒරාෂ්ටක ශනිට සප්තම රවි ග්‍රහයා පාප පීඩිතව ගමන් ගැනීම රට තුළ ආර්ථික, සමාජ, දේශපාලන වශයෙන් විසමතා ඇති කරන කාලයක් වන්නේය. එමෙන්ම වෙනදාට වඩා ගිනි ගැනීම්, පිපිරීම්, හදිසි අනතුරු, පාරිසරික විපත් බහුලව සිදුවන කාලසීමාවකි.

උත්පත්තියේදී රවි අපලය ඇති ජන්මීන්ගේ එකී අපල තත්ත්වය මෙකී රවිගේ සිංහ රාශි ගෝචරයත් සමඟ සක්‍රීය වන හෙයින් දැනට රවි මහා දශා අතුරු දශා ලබා ඇති, ඒරාෂ්ටක අපල ඇති ජන්මීන් මෙකී රවි සිංහ රාශියේ ගෝචරවන කාලසීමාව තුළදී තද අව්වේ ගමන් කිරීම සහ වැඩ කිරීමෙන් ද, දේශපාලන කටයුතුවල යෙදීමෙන් ද, සමිති සමාගම්වලට නායකත්වය දීමෙන් ද, රිය පැදවීමෙන් සහ විදුලි වැඩ කිරීමෙන් ද උෂ්ණ සහ වියළි කලාපවල වාසය කිරීමෙන් ද කටුක ආහාරපාන ගැනීමෙන් ද වැළකී සිටිය යුතු ය. පිත් රොග, උෂ්ණ රෝග, ඇස් රෝග, හෘද රෝග, උණ රෝග, මොළයේ රෝග ඇති ජන්මීන්ගේ රෝගී තත්ත්වය මෙකී රවි ගේ අශුභ ගෝචර ගමනේදී උත්සන්න විය හැකි හෙයින් වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍ය ගැන අවධානයෙන් සිටිය යුතුය.

ඒ අනුව රවි අපලය ඇති ජන්මීන් සතියේ සෑම දිනකම රවි හෝරාවෙන් ශුභ වැඩ කටයුතුවල යෙදීමෙන් වැළකී සිටිය යුතු අතර ඉරිදා කිසිදු සුබ වැඩකටයුත්තකට ආරම්භය නොදිය යුතුය. මෙකී රවි අපලය ඇති ජන්මීන් රතු නෙළුම් මල්, සූර්යකාන්ත මල් අංක 1,10, 100 යනාදි ලෙස එකතු කළවිට අංක 1 ලැබෙන සංඛ්‍යාවක් යොදාගෙන බුද්ධ පූජා, බෝධි පූජා තැබීම සුදුසු අතර ඒ සඳහා රවි හෝරාව යොදා ගත යුතුයි. එමෙන්ම රවි අපලය ඇති ජන්මීන් දෑස් අන්ධ අයට උපකාර කිරීම, සතුන්ට ආහාර, වතුර දීම, පිපාසයෙන් පෙළෙන අයට සිසිල් බීම, තැඹිලි ආදිය දීම, මව්පියන් උපස්ථාන කිරීම වැනි පුණ්‍ය කර්ම සිදු කිරීමෙන් අපල දුරු කරගත හැකි වනු ඇත. එමෙන්ම නිවෙසේ නැඟෙනහිර පැත්තේ ඉඹුල් වෘක්ෂයක් රෝපණය කර සාත්තු සප්පායම් කිරීමද රවි අපලය සඳහා කළ හැකි තවත් මහඟු ශාන්ති කර්මයක් වන්නේය.

මෙකී පාප පීඩිත රවිගෙන් දැඩි අශුභ ලැබෙන්නේ ගෝචරයෙන් එන රවි උත්පත්ති සඳුගෙන් 1, 2, 4, 5, 8, 9,12 යන අනුපචය භාවයකට වැටුනොහොත් පමණි. මෙකී ගෝචර රවි උත්පත්ති සඳුගෙන් නැති නම් ජන්ම සඳුගෙන් 3,6,10,11 යන භාවයකට වැටෙයි නම් එවැනි ග්‍රහ පිහිටීමක් ඇති ජන්මීන්ට ලැබෙන්නේ මිශ්‍ර පලයකි.

 

 

මේෂ ලග්නය

මේෂ ලග්නයට අර්ධ යෝගකාරක ග්‍රහයා වන රවි පාප පීඩිතව 5 වැන්න වූ සිංහ රැසෙහි ගෝචරය වීම අශුභ නමුත් ජන්ම සඳුගෙන් උපචය භාවයකට මෙකී ගෝචර රවි වැටේ නම් එවන් ග්‍රහ ගමනක් ඇති මේෂ ලග්න ජන්මීන්ට අනාගත ලාභ බලාපොරොත්තුවෙන් ආරම්භ කරන ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබෙන්නේ කලක් ගතවීමෙන් පසුවය. එමෙන්ම නීතිය සම්බන්ධ කටයුතුවල යෙදෙන නීතිඥයන්ට විභාග ක්‍රීඩා තරග ආදි කටයුතුවලට ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එකී කටයුතුවලින් සාමාන්‍ය ජයක් මිස උසස් ජය හිමිවන්නේ නැත. එනේම ගර්භණි මව්වරුන්ට මෙකී කාල සීමාවේදී දරු ප්‍රසූතියේදී තරමක් දුරට අපහසුතා ඇති වන්නේය. මීට ප්‍රතිවිරුද්ධ ලෙස එනම් රවි ග්‍රහයා ජන්ම සඳුගෙන් අනුපචය භාවයක ගෝචරය වන්නේ නම් ඉහත සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ පල ලැබෙන්නේය.

 

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයට සම ග්‍රහයෙක් වන රවි ස්වකීය ස්වක්ෂේත්‍ර සහ මූල ත්‍රිකෝණ භාවය වන සිංහ රැසෙහි පාප පීඩිතව ගෝචරය වීමෙන් ශුභ අශුභ මිශ්‍ර පලයක් ලැබෙන්නේ රවි ගෝචරය වන සිංහ රැස ජන්ම සඳුගෙන් උපචය භාවයකට වැටුණහොත් පමණි. ඒ අනුව එවැනි ග්‍රහ ගෝචරයක් ඇති වෘෂභ ලග්න ජන්මීන්ට ඉඩකඩම් දේපළ යනාදී භූමිය මුල් කරගෙන කෙරෙන කටයුතුවලින් සැලකිය යුතු ලාභයක් හිමි වන අතර, මව කලකට ඉහතදී රෝගාතුරව සිටියේ නම් ඇගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් යහපත් අතට හැරෙන්නේය. එහෙත් මෙකී ගෝචර රවි ජන්ම සඳුගෙන් අනුපචය භාවයකට වැටෙන්න නම් එවැනි ග්‍රහ ගෝචර හිමි වෘෂභ ලග්න හිමියන්ට ඉහත කී කරුණු සම්බන්ධයෙන් ඇති වන්නේ ප්‍රතිවිරුද්ධ පලය.

 

මිථුන ලග්නය

මිථුන ලග්නයට සම ග්‍රහයකු වන රවි තම ස්වක්ෂේත්‍ර මෙන් මුල ත්‍රිකෝණ භාවය 3 වැන්න වූ සිංහ රැසෙහි ගෝචරය වීම ශුභ වන්නේ ඉහත සඳහන් කළ පරිදි මෙකි ගෝචර රවි උප්පත්ති සඳුගෙන් උපචය භාවයක ගෝචරය වන්නේ නම් පමණි. ඒ අනුව එවන් ග්‍රහ ගෝචරයක් ඇති මිථුන ලග්න ජංගම වෙළෙඳුන්ට, ලේඛක, ලේඛිකාවන්ට, විදුලි කාර්මිකයන්ට බාල සහෝදර සහෝදරියන්ට , වෙනදාට වඩා තරමක් දුරට යහපත් කාලයක් වන අතර, තමාට වෙනදාට වඩා දෛනික කටයුතු කරගෙන යෑමට උද්යෝගයක්, උනන්දුවක්, චිත්ත ධෛර්යයක් ලැබෙන කාලසීමාවක් වන්නේය. ඒ නමුත් ගෝචර රවි ජන්ම සඳුගෙන් අනුපචය භාවයකට වැටේ නම් ඉහත කී කටයුතු සම්බන්ධයෙන් ඇති වන්නේ අශුභඵල විපාකයන්ය.

 

කටක ලග්නය

කටක ලග්නය හිමියාගේ දෙවැන්නාධිපති වන රවි ලග්නාධිපති සඳුට මිතුරු ග්‍රහයෙකි. එලෙස මිත්‍ර රවි 2 වැන්නවූ සිංහ රැසෙහි පාප පීඩිතව ගෝචරය වීම ශුභ වන්නේ උප්පත්ති සඳුගෙන් උපචය භාවයක රවි ග්‍රහයා ගෝචරය වනවානම් පමණි. එවන් යුග ගෝචරයක් ඇති කටක ලග්න හිමි විදුලි, උපකරණ අලෙවි කරන, බෙහෙත් ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳුන්ට වෙනදාට වඩා අතමිට සරුවන කාලයක් වන අතර, පවුලේ සාමාජිකයන් අතර වෙනදාට වඩා විශ්වාසයක් බැඳීමක් ඇති වන කාලයක් වෙයි. කරදර මධ්‍යයේ වුවද යම්කිසි මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වන කාලසීමාවක් වන්නේය. මීට ප්‍රතිවිරුද්ධ ලෙස එනම් ජන්ම සඳු ගෙන් අනුපචය භාවයක රවි ගෝචරය වන්නේ නම් යට කී කාරණය සම්බන්ධයෙන් විරුද්ධ පල ඇති කරන්නේය.

 

සිංහ ලග්නය

සිංහ ලග්නයේ ලග්නාධිපති වන රවි ලග්නයේම ගෝචරය වීම ශුභ වන්නේ අන්‍ය ලග්නවලට සඳහන් කළ පරිදි ගෝචර රවි ජන්ම සඳුගෙන් උපචය භාවයක වැටුණ හොත් පමණි. ඒ අනුව එවන් ග්‍රහ ගෝචරයක් ඇති සිංහ ලග්න හිමියන්ට යම් කිසි රෝගිතත්වයකින් කලක් පීඩා විඳිමින් සිටියේ නම් එකී රෝගි තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් යහපත් අතට හැරීමට පටන් ගන්නේය. උසස් රැකියාවල යෙදෙන සිංහ ලග්න හිමියන්ට තම වෘත්තියේ උසස්වීම නිලතල බලතල බාධක මාධ්‍යයේ ප්‍රමාදවී ලැබෙන්නේය. මෙකී ලග්නයේ ගෝචරය වන රවි ජන්ම සඳුගෙන් අනුපචය භාවයක ගෝචරය වන්නේ නම් ඉහත සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් අයහපත් ප්‍රතිඵල ඇති විය හැකිය.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයට 12 වැන්නාධිපති වන රවිගේ ගෝචරය ශුභ වන්නේ 12 වැන්නේ ගෝචරය වන රවි ජන්ම සඳුගෙන් උපචය භාවයකට වැටුණ හොත් පමණි. ඒ අනුව එවන් ග්‍රහ ගෝචරයක් ඇති කන්‍යා ලග්න හිමියන් යම් කිසි රෝගි තත්වයක් නිසා රෝහල්ගතව සිටියේ නම් රෝගී තත්ත්වය යහපත් අතට හැරීම නිසා ගෙදර යාමට හැකි වන්නේය. වැයපස වෙනදාට වඩා අඩුවන අතර විදේශ සංචාරයෙන් දුර ගමන් බිමන්වලින් තරමක් දුරට ලැබීම් ඇති වන්නේය. එමෙන්ම උත්පත්තියේදි රවි ග්‍රහයා 6,8,12 යන භාවයක පතිතව ඇත්නම් උප්පත්තියේදී යෙදුණු විමල නම් විපරීත රාජ යෝගය ගෝචරයෙන් සක්‍රිය වීම නිසා එවන් ග්‍රහ පිහිටීමක් ඇති කන්‍යා ලග්න හිමියන්ට අනපේක්ෂිත පදවි ලාභ හිමි වන්නේය. දේශපාලන ආරවුල් මත සිරගතවී සිටින දේශපාලන සිරකරුවන්ට නිදහස ලැබීමට මෙකි රවි ගේ ග්‍රහ ගෝචරය හේතුවන අතර ඒ නමුත් රවි ගෝචරය වන 12 වැන්න වූ සිංහ රාශිය උප්පත්ති සඳුගෙන් අනුපචය භාවයක වැටේ නම් යටකී කරුණු සම්බන්ධයෙන් අයහපත් ප්‍රතිවිපාක ඇති කරන්නේය.

තුලා ලග්නය

තුලා ලග්න හිමියාගේ 11 වැන්නාධිපති රවි ලග්නාධිපති සිකුරුට සතුරු ග්‍රහයෙකි. එමෙන්ම බාධක ග්‍රහයාද වන්නේය. එහෙයින් 11 වැන්නාධිපති රවි 11 වැන්නෙහි මහා බාධක ග්‍රහයා බවට පත් පාප පීඩිතව ගෝචරය වීම තුලා ලග්න හිමියන්ට අන්‍ය ලග්න හිමියන්ට වඩා දැඩි අශුභ ඵල ගෙන දෙන ග්‍රහ ගෝචරයක් වන්නේය. ඒ අනුව තුලා ලග්න දේශපාලනඥයන්ට නිලතල බලතල පිළිබඳ ප්‍රශ්න ගැටලු මතු කරයි. ඒ අතර සමහර තුලා ලග්න ජන්මීන්ට ආර්ථික ප්‍රශ්නද ශාරීරික වශයෙන් හෘදයාබාධ, පිත් උෂ්ණ රෝග, ආමාශ සම්බන්ධ රෝග ඇතිවීමට මෙකී තුලා ලග්නයට බාධක ග්‍රහයා වන රවි මහා බාධකව 11 වැන්නේ ගෝචරය වීම හේතු වෙයි. එහෙත් මෙකී රවි ගෝචරය වන සිංහ රැස ජන්ම සඳුගෙන් උපචය භාවයකට වැටේ නම් එවන් ග්‍රහ ගෝචරයක් ඇති තුලා ලග්න හිමියන්ට තද බල අපල විපත් ඇති නොකරන අතර, ශුභඅශුභ සමඵලයක් ඇති කරන්නේය.

 

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයට 10 වැන්නාධිපති රවි යෝගකාරක ග්‍රහයෙකි. මෙකී යෝගකාරක රවි 10 වැන්න වූ සිංහ රැසෙහි ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ බලය ලබා ගනිමින් පාප පීඩිතව ගමන් ගැනීම ශුභ වන්නේ වෘශ්චික ලග්න හිමියන්ගේ ලග්න කේන්දරයේ 10 වැන්නේ ගෝචරය වන රවි ජන්ම සඳුගෙන් උපචය භාවයක වැටුණහොත් පමණි. ඒ අනුව එවන් ග්‍රහ ගෝචරයක් ඇති වෘශ්චික ලග්න හිමියන්ට රැකියා කටයුතුවල දියුණුවක් පෙන්නුම් කෙරෙන අතර, ස්ථාන සමාගම්වල ව්‍යාපාරවල දේශපාලන කණ්ඩායම්වල විවිධ තනතුරු දරන අයට උසස්වීම ලැබෙන කාල සීමාවක් වන්නේය. එහෙත් ගෝචර රවි ජන්ම සඳුගෙන් අනුපචය භාවයකට වැටේ නම් එහි කරුණු සම්බන්ධයෙන් සුබ පල නොලැබෙන්නේය.

 

ධනු ලග්නය

ධනු ලග්න කේන්දරයට ප්‍රබල යෝගකාරක ග්‍රහයා වන රවි භාග්‍යස්ථානාධිපතිව පාපපීඩිතව භාග්‍ය ස්ථානයෙහිම ගමන් ගැනීම ධනු ලග්න හිමියන්ට පියා, උසස් අධ්‍යාපනය, විදේශ ගමන්, පැවිදි පක්ෂය, භාග්‍ය සම්බන්ධය සුබ පල ඇති කිරීම කල් යවන මුත් මෙකි ගෝචර රවි උප්පත්ති සඳුගෙන් උපචය භාවයක ගෝචරය වන්නේ නම් ඉහත කී කාරණා සම්බන්ධයේ මිශ්‍ර පලයක් ඇති කරන්නේය. මෙකි රවි ජන්ම සඳුගෙන් අනුපචය භාවයක ගෝචරය වන්නේ නම් යටකී කරුණු සම්බන්ධයෙන් සුබ පල ඇති නොකිරීමට පුළුවන.

මකර ලග්නය

මකර ලග්නයට 8 වැන්නාධිපති රවි පාප පීඩිතව එහිම ගමන් ගැනීම, ශාරීරික වශයෙන් පිත් රෝග, හෘද රෝග, ඇස් රෝග විදුලි සර වැදීමෙන් , ගිනි අවිවලින් රසායනික බෙහෙත් වර්ග ඇඟට වැටීමෙන් තුවාල සිදුවීම බෙහෙත් වර්ග එන්නත් විෂ වීමෙන් විවිධ රෝගයන්ට ගොදුරු වීම වාහනවලින් ගමන් කිරීමේදී හදිසි අනතුරු සිදුවීම, ගැටුම් නිසා විවිධ ප්‍රශ්න ඇති වීම වැනි අශුභ ඵල විපාක ඇති වන නමුත් උප්පත්ති සඳුගෙන් උපචය භාවයක මෙකි රවි ගෝචරය වන්නේ නම් සුළු සුළු බාධක අවහිරතා ඇති වුවද ඉහත සඳහන් කළ පරිදි තදබල අපල විපත් ඇති නොවන්නේය. එමෙන්ම මකර ලග්න හිමියන්ගේ උප්පත්ති කේන්දරයේ රවි ග්‍රහයා 6,8,12 යන භාවයක යෙදී ඇත්නම් මෙකි රවිගේ ගෝචර ගමනේදී උප්පත්ති යෙදී තිබුණූ සරලා නම් විපරීත රාජ යෝගය ගෝචරයෙන් සක්‍රියවීමෙන් කෙනෙකු ගේ මරණයෙන් ඉඩකඩම් දේපළ, මූල්‍ය ලාභ නිලතල බලතල ලැබී අනපේක්ෂිත දුර්වල ලාභ, පදවි ලාභ, ධන ලාභ වැනි ලාභයන් හිමිවන්නේය.

 

කුම්භ ලග්නය

කුම්භ ලග්න කේන්දර හිමියන්ගේ 7 වැන්නාධිපති වන රවි 7 වැන්නේ ම පාප පීඩිතව ගමන් ගැනීම විවාහය, හවුල් ව්‍යාපාර, ප්‍රසිද්ධ සතුරන් සමඟ ගැටුම්, සමලිංගික සම්බන්ධවලට යොමුවීම වැනි අනිසි පල විපාකයන් ඇති කරවන මුත් එසේ වන්නේ මෙකී ගෝචර රවි ජන්ම සඳුගෙන් අනුපචය භාවයක ගෝචරය වනවා නම් පමණි. මෙකි රවි ජන්ම සඳුගෙන් උපචය භාවයක ගෝචරය වන්නේ නම් එවන් ග්‍රහ ගෝචරයක් ඇති කුම්භ ලග්න කාරයත්වයට විග්‍රහ කළ පරිදි තදබල අපල විපත් ඇති නොවන අතර සම පලදායක කාලයක් වන්නේය.

 

මීන ලග්නය

මීන ලග්නයට 6 වැන්නාධිපති රවි පාප පීඩිතව සිංහ රැසෙහි ගෝචරය වීම ශුභ වන්නේ රවි ගෝචරය වන 6 වැන්න වූ සිංහ රැස ජන්ම සඳුගෙන් උපචය භාවයකට වැටුණහොත් පමණි. ඒ අනුව එවන් ග්‍රහ ගෝචරයක් ඇති මීන ලග්න ජන්මීන්ට නඩුහබ සතුරු ප්‍රශ්නවලින් ජය අත්වන අතර කලක් පීඩා වින්ද රෝගවලින් තරමක් දුරට සුවය ලැබෙන කාලයක් වන්නේය. එමෙන්ම උප්පත්ති කේන්දරයේ රවි ග්‍රහයා, 6,8,12 යන භාවයක යෙදීමෙන් පැන නැඟුණු හර්ෂා නම් විපරීත රාජයෝගය යෙදි ඇති දේශපාලනඥයින්ට, සමිති සමාගම්වල නායකයන්ට තම ප්‍රතිවාදීන් පරාජය කර බලය තහවුරු කර ගැනීමට ශක්තියක් ලැබෙන කාලයක් වන්නේය. එහෙත් මෙකී ගෝචර රවි උප්පත්ති සඳුගෙන් අනුපචය භාවයකට එන්නේ නම් එවන් ග්‍රහ ගෝචරය හිමි මීන ලග්න හිමියට ඉහත සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් සුබපල අඩුවිය හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.