කෝණ මාසය උදා කරමින් රවි කන්‍යාවට සංක්‍රමණය වෙයි

සැප්තැම්බර් 6, 2024

 

ලග්න තුනකට සුබපල අත් කර දෙමින් සහ ලග්න නවයකට මිශ්‍ර පල දෙමින් සැප්තැම්බර් 16 සඳු දින රාත්‍රී 07.43 සිට ඔක්තෝබර් 17 වැනිදා දක්වා රවි ග්‍රහයා බුධ හිමි කන්‍යාවේ ගත කරන්නේ කෝණ මාසයක් උදා කරමිනි. කෝණ මාසවලදී නිවාස ඉදි කිරීම්, විවාහ මංගල කටයුතු ආදි උත්සව නොයෙදීම ඡ්‍යොතිෂ නියමයයි.

මිථුන, වෘශ්චික, මීන යන ලග්නවලට මේ ග්‍රහ ගෝචරයෙන් අනෙකුත් ලග්නවලට වඩා සුබපල අත් කර දෙන අතර ඉතිරි ලග්න නවයට මිශ්‍ර පල ලබා දෙනු ඇත.

පාරිසරික සහ සමාජීය වශයෙන් ව්‍යාකූල තත්ත්වයන් නිර්මාණය විය හැකිය. රංගන, වාදන, ගායක පිරිස්වලට මෙන්ම මාධ්‍ය ආයතන ආශි‍්‍රතවද, ප්‍රකට ලේඛක ලේඛිකාවන් කෙරෙහි ද බාධක අවහිර විද්‍යමාන විය හැකිය.

කන්‍යා රවියෙහි උදාරාශි අධිබලය රාජ්‍ය කාරක රවි ග්‍රහයා සතුව පවතී. ලංකා කේන්දරය සැලකූ විට 07 වැන්න උදා රාශිගතව ප්‍රබලව යෙදුණත් සිංහ රාශි ජනරජ කේන්දර සටහනෙහි ජන්ම ඒරාෂ්ටක බලපෑමක් විශේෂයෙන් යෙදී ඇති බවක් ද නිරූපණය වෙයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහන ආදි ක්ෂේත්‍රයන්හි අවුල් සහගත සිදුවීම් නිර්මාණය විය හැකි ග්‍රහ පිහිටීමකි. පුරාතන රාජාවලිය ආශි‍්‍රත පොත පතෙන් පවා තුන් සිංහලයෙහි බිහිසුණුම පසුබිම් නිර්මාණය වී ඇත්තේ මෙකී රවි දෙවැන්නේ යෙදෙන ඔක්තෝබරයට අයත් කාල පරාසයන්වලදීය.

මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් මාර්ග අනතුරු කෙරෙහි මෙන්ම, සතුරු බලවේග මර්දනය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ආනයන අපනයනය කෘෂි භෝගී රටාව විධිමත් කොට කෘෂිකාර්මික ජනතාව පෝෂණය ද කාලීනව වැදගත් වෙන්නෙකි. සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාසයන්හිදී සියලු දෙනා ආගමානුකූලව කටයුතු කිරීම ආශිර්වාදාත්මක වනු ඇත. දූර දර්ශීව බුද්ධිමත්ව හදිසි තීරණ තීන්දුවලින් දුරස්ථව සිටීම ද සුබවාදී වනු ඇත.

 

මේෂ රාශිය

06 වැන්න වූ කන්‍යාවෙහි සිකුරු නීචව කේතු මුඪවද රවි පාප කර්තරීව සමව ද යෙදේ. රෝග සතුරු බියද ඇති විය හැකිය. රැකියා ආදායම් මාර්ග කෙරෙහි යම් දුර්වලතා යෙදිය හැකිය. 03, 07, 12 කාම කෝණයද දුර්වලව ඇත. හිතෛෂීන් වෙනස් වෙයි.

වෘෂභ රාශිය

උත්සාහය, උනන්දුව, දැනුම අවබෝධය ආශි‍්‍රතව ශුභවාදී බවක් ගනු ලබයි. දැනුම අවබෝධය දැන උගත්කම් අතරින් උසස් ජීවිතයකට වාසනාව යෙදෙයි. එහෙත් දූ දරු සබඳතා මෙන්ම පෙම්වතුන් දුරස්වීම්, මානසික අසහනකාරී බවට පාත්‍ර කරවන බවක් දෘශ්‍යමාන වෙයි.

මිථුන රාශිය

රැකියා ව්‍යාපාර, අධ්‍යාපනික ක්ෂේත්‍රයන්ගෙන් විජයග්‍රහණය අත්පත් කෙරෙයි. ස්වකීය දැනුම අවබෝධය මත සහ ප්‍රායෝගික කාර්යයන් සතුටුදායක වෙයි. උසස් ප්‍රභූ ජනයාව ඇසුරට ලැබෙනු ඇත. ජය අත්පත් කර දෙයි.

කටක රාශිය

පදිංචිය පිළිබඳ ආරාවුල් මතභේද මතු කෙරෙයි. රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රතව මානසික අසහනකාරී බවක් ගෙනදෙනු ලබයි. උත්සාහය උනන්දුව දියුණුවට බලපානු ඇත. වෙහෙස මහන්සියතරමට ප්‍රතිපල අත් නොවන සුළුවෙයි. සිංහ රාශිය

යටිබඩ, වකුගඩු, මුත්‍රාශය, කොන්ද, තුනටිය, දණහිස් පාද මුහුණ ආශි‍්‍රත රෝගාබාධ ඇති වය හැකිය. රැකියා ආදායම් මාර්ග ලැබීම් අංශයට බාධක අවහිරඇතිවිය හැකියි. සොර සතුරු කරදර මෙන්ම ඇස්වහ කටවහ දෝෂ ද බලපායි.

කන්‍යා රාශිය

පොත්පත් ලිපි ලේඛන ආශි‍්‍රතව ගැටලු මතුවෙයි. බුද්ධිමත්ව දූරදර්ශීව කටයුතු කිරීම වැදගත් වෙයි. ව්‍යාපාරික කටයුතු වර්ධනය කරගත හැකිය. දැනුම අවබෝධය මත ජීවිතයෙහි වැදගත් අවස්ථා හමුවෙන බවක් ද පෙන්නුම් කෙරෙනු ඇත.

තුලා රාශිය

මානුෂික සිතැඟියාවන් ක්‍රියාත්මක කොටගෙන කටයුත් කිරීමෙන්ම උසස් ජනජීවිතයකට ධෛර්යයක් ද ලැබෙනු පෙනී යන්නේය. ජීවිතය ආශි‍්‍රතව වඩාත්ම වැඩදායක, ගුණාත්මක සිදුවීම් සිදුවනු ඇත.

වෘශ්චික රාශිය

රැකියා ආදායම් මාර්ග දියුණුවක් උදා කෙරෙනු ලබයි. බොහෝ දුරට උත්සාහය උනන්දුව වර්ධනය වෙයි. ව්‍යාපාර කොන්ත්‍රාත් ආශි‍්‍රතව ප්‍රතිලාභ බහුල කෙරෙයි. සරුසාර බවක් විමර්ශනය කෙරෙයි. සමාරම්භක කටයුතු උසස් බවකට යොමු කෙරෙයි.

ධනු රාශිය

රැකියා ආදායම් මාර්ග කෙරෙහි වෙහෙසීමට කටයුතු යෙදෙනු ඇත. මිත්‍රාදීන්ගෙන් දුරස්ථවීමට කටයුතු සිදු විය හැකිය. හදිසි තීරණ තීන්දු මඟහැරීම ශුභවෙයි.

මකර රාශිය

සුබවාදී ගමන්මඟකට කරුණු සැලැසෙයි.රුවන් දොරටුව විවෘත කරගත්තත් කළමනාකරණය ද හදිසි තීන්දු තීරණ කෙරෙහි ද විමසිලිමත් විය යුතුය.

කුම්භ රාශිය

සෙනසුරු ලග්න ඒරාෂ්ටක බලපෑම සමඟ ශනි, චන්ද්‍ර, ජන්ම ඒරාෂ්ටක බලය ජන්මියා හකුලා තබයි. නොසිතන, නොසිතපු කාර්යය භාරයන් තුළ අවහිර බාධක දුෂ්කරතා මතු කෙරෙන ලකුණු උදාවන බව පෙනේ.

මීන රාශිය

මානසික සුව සහනය වරින්වර ළඟා කෙරෙයි. අප්‍රතිහත ධෛර්යයෙන්, ජීවනබර කෙරෙහි මුහුණ දෙමින් අස්ථාවර, සිරවීම්, සිදුවීම් රැසකට මුහුණ දීමටද සිදුවෙයි. මේ අනුව හදිසි තීරණ තීන්දු, කෝපය, ද්වේෂය, අනිසි ක්‍රියාකාරකම්වලින් දුරස්ථ වියයුතුව ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.